පනින රිල­වුන්ට ඉනිමං බැඳීම | Page 2 | සිළුමිණ

පනින රිල­වුන්ට ඉනිමං බැඳීම

“අධිකරණයේ ස්වාධිනභාවය ස්ථාපිත කරනවා. කිසිම අවස්ථාවකදී අපි අධිකරණයට බලපෑම් කරන්නේ නැහැ. රාජපක්ෂවරුන් වගේ අපි අධිකරණයට බලපෑම් කරන්නේ නැහැ.” යනුවෙන් පසුගිය ජනාධිපතිවරණයේ සහ පාර්ලිමේන්තු මහ මැතිවරණවලදී කෑ මොර දුන්නේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා ඇතුළු සමගි ජනබලවේගයේ පිරිස් ය. අධිකරණයට කිසිදු බලපෑමක් නොකරන බවට ප්‍රකාශ කරමින් ශාන්ත දාන්ත තීන්දු කූඩු වගේ සිටි සජිත් ඇතුළු සමගි ජනබලවේගය පසුගිය දිනවල හැසිරුණේ කෙසේද?

නීතියේ කන්‍යාවියගේ ප්‍රතිමාව කළුපාට රෙදි කඩවලින් ඔතා පෙරළා බිම දිගේ ඇදගෙන යෑමට පසුගිය දිනවල ක්‍රියා කළේ කවුද? අධිකරණයට බරපතළ ආකාරයෙන් ප්‍රසිද්ධියේ අපහාස කිරීම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට සිවු වසරක සිර දඬුවමක් හිමිවී තිබේ.

එසේ සිර දඬුවමට ලක්වූ රන්ජන් රාමනායක නිදහස් කර ගත යුතු බවත් ඔහුට පාර්ලිමේන්තුවට පැමිණීමට අවස්ථාව ලබාදිය යුතු බවත් සජිත්, හරීන් ඇතුළු සමගි ජන බලවේගය ප්‍රකාශ කරන්නේ රෙදි ඇඳගෙනද? යන සාධාරණ ප්‍රශ්නය මතු වේ.

රන්ජන් අධිකරණයට අපහාස සිදු කළ බවට තීරණය කළේ කවුද? ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සභාපති සිසිර ද ආබෲ, විනිසුරු විජිත් මලල්ගොඩ, විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඒකමතිකව මෙම සිර දඬුවම නියම කරන ලදී.

මෙම නඩුකරයට අදාළව අධිකරණය හමුවේ සාක්ෂි දුන් වගඋත්තරකාර රන්ජන් රාමනායක ප්‍රශ්නගත ප්‍රකාශය තුළ තමන් “විනිසුරු” යන වචනය සඳහන් වූයේ වැරදීමකින් යැයි සඳහන් කර තිබූ අතර ඔහුගේ පශ්චාත් ක්‍රියාකලාපය පිරික්සීමේදී එම විත්තිවාචකය බිඳ වැටෙන බව ද සිසිර ද ආබෲ විනිසුරු විවෘත අධිකරණයේ සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙම නඩුකරය ආරම්භවීමෙන් පසුව නඩුව කැඳවන දිනවල එය අවසන් වීමෙන් පසුව වගඋත්තරකාර රන්ජන් රාමනායක ජනමාධ්‍යවලට විවිධ ප්‍රකාශ සිදුකර තිබෙන බවද එම ප්‍රකාශ තුළින් විනිසුරුවරුන් දූෂිතයන් බවට තමන් විසින් මුලින් සිදු කළ ප්‍රකාශය ඉල්ලා අස්කර නොගන්නා බව අවධාරණය කර තිබූ බවද එසේම තමන් විසින් සිදුකළ ප්‍රකාශය ඉල්ලා අස්කර නොගන්නා බවටත් තමන් ඒ වෙනුවෙන් සිරදඬුවම් විඳීමට පවා සූදානම් බවටත් උපරිමාධිකරණ සංකීර්ණ භූමියේ වගඋත්තරකරු විසින් සඳහන් කර තිබූ බව අධිකරණයට අනාවරණය වී තිබෙන බවද විනිසුරුවරයා විසින් පෙන්වා දෙන ලදී.

රන්ජන් පස් වතාවක්ම දින කිහිපයකදී ම පුන පුනා ප්‍රකාශ කර තිබෙන්නේ අධිකරණය දූෂිත බව තමන් කලින් කළ ප්‍රකාශය නිවැරදි බවත් එය ඉල්ලා අස්කර නොගන්නා බවත් ය.

මේ ආකාරයෙන් අධිකරණයට පස් වතාවක් ප්‍රසිද්ධියේ හිතාමතාම අපහාස කළ රන්ජන් රාමනායක වෙනුවෙන් කළුපටි පළදිමින් හරින් ප්‍රනාන්දු නාඩගමක් පාර්ලිමේන්තුවේදී රඟ දැක්වූයේ සජිත් ඇතුළු සමගි ජන බලවේගයේ ආශිර්වාද මධ්‍යයේ ය. 2017 වසරේ අගෝස්තු මස 21වැනිදා එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡා කර අරලියගහ මන්දිරයෙන් පිටතට පැමිණ මාධ්‍ය අමතමින් රන්ජන් අධිකරණයට මුලින්ම අපහාස කිරීම ප්‍රසිද්ධියේ සිදුකර තිබුණි.

“ලංකාවේ බහුතරයක් ඉන්නේ දූෂිත නඩුකාරවරු හා දූෂිත නීතිඥවරුන්. ඔවුන් 95% ක්ම සල්ලිවලට වැඩ කරන්නේ. ඔවුන් හැමදාම මිනීමරුවන්ව, දූෂිතයින්ව ආරක්ෂා කළා.”යනුවෙන් රන්ජන් ප්‍රකාශ කර තිබුණි.

මේ අනුව විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියකු වන සුනිල් පෙරේරා ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ පැමිණිල්ලකට අනුව නීතිපතිවරයා විසින් වගඋත්තරකාර රන්ජන් රාමනායකට එරෙහිව චෝදනා ගොනු කර තිබුණි.

රන්ජන් රාමනායක විසින් සිදුකරන ලද ප්‍රකාශය තුළින් ඔහු මෙරට අධිකරණ පද්ධතිය කෙරෙහි මහජනතාව තබා තිබෙන විශ්වාසය පළුදු කිරීමට ක්‍රියාකර ඇති බවත් ඒ තුළින් ඔහු අධිකරණයට අපහාස සිදුකර ඇති බවත් එම පැමිණිල්ලේ සඳහන් කර තිබුණි.

ඒ අනුව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු විභාගයක් පවත්වා සුදුසු දඬුවම් නියම කරන ලෙසද එම පැමිණිල්ල විසින් වැඩිදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සිය පෙත්සම මඟින් ඉල්ලා තිබිණි. මෙම නඩු විභාගය පැවැත්වෙන අතරතුර රන්ජන් රාමනායක විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ සිව් වතාවක් පමණ තමා එම ප්‍රකාශයේ වරදක් නොමැති බව අනුමත කරන බව තහවුරු කරන බවට ප්‍රකාශකර තිබිණි.

රන්ජන් මේ ආකාරයෙන් අධිකරණයට යොමු කෙරුණේ පසුගිය යහපාලන කාලයේදීමය.

රන්ජන් අධිකරණයට අපහාස කිරීමේ නඩුව යම් දීර්ඝ කාලයක් විභාග වූයේ රන්ජන් සිදු කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහුට සාක්ෂි සහිතව ඔප්පු කිරීම සඳහා යම් සාධාරණ කාලයක් ලබාදීමටය.

නමුත් එම කාලය තුළද මේ රටේ අධිකරණ විනිසුරුවරුගෙන් හා නීතිඥවරුන්ගෙන් බහුතරයක් දූෂිත බව ඔප්පු කිරීමට ඔහුට නොහැකි විය. එසේ තිබියදී රන්ජන් කිහිපවරක්ම අධිකරණයට අපහාස කරමින් සිදුකරන ලද ප්‍රකාශය නැවත නැවත තහවුරු වන ආකාරයෙන් ද ප්‍රකාශ සිදුකර තිබුණි. මෙවැනි තත්වයක් තුළ ශේෂ්ඨාධිකරණය නිසි ක්‍රියාමාර්ගයක් නොගත්තේ නම් අදටත් රන්ජන් අධිකරණයට අපහාස සිදු කරමින් කළ ප්‍රකාශය සත්‍ය වශයෙන් පිළිගැනීමට සමාජය තුළ අවස්ථාවක් ඇතිවනු ඇත. එය වැළකුණේ රන්ජන්ට එරෙහිව අධිකරණය ලබාදුන් තීන්දුව නිසාය. එසේ නම් රන්ජන්ගේ ප්‍රකාශයද ඩමීමා කරගෙන මේ රටේ අධිකරණයට අපහාස කිරීම දිගට ම සිදුවනු ඇත.

මෙවැනි කරුණු කාරණා තිබියදී සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජන බලවේගය හැසිරෙන්නේ වගකිවයුතු විපක්ෂයක් ලෙස ද යන සැකය මතු වීම සාධාරණය. මේ ආකාරයට නීතියේ කන්‍යාවිය කෙලෙසූ රන්ජන් රාමනායක වහාම නිදහස් කළ යුතු බව සජිත් කියයි.

රන්ජන් නිදහස් කරනතුරු තමා පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ කළු පැහැති සාටකයක් පැළඳගෙන බව හරීන් ප්‍රනාන්දු පසුගිය 20 වැනි දා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

එසේ ප්‍රකාශ කළ හරීන් පාර්ලිමේන්තුවේ දී තම කතාව අතරතුරම කළු පැහැති සාටකයක් තම ගෙලේ පැළඳ ගත්තේය.

“මේ ආණ්ඩුවට එරෙහිව පාර්ලිමේන්තුවේ හඬක් නැඟූ රන්ජන් රාමනායක අද හිරගෙදර යවලා. මේ ආණ්ඩුව දේශපාලන පළිගැනීම් සිදු කරනවා. පාස්කු ප්‍රහාරයේ චූදිතයන්ට දඬුවම් දෙනවා කිව්වා. මහ බැංකුව කඩපු උන්ට දඬුවම් දෙනවා කිව්වා. ඒත් මේගොල්ලො හිරේ දාලා තියෙන්නේ රන්ජන් රාමනායකවයි.” යනුවෙන් හරීන් ප්‍රකාශ කරන්නේ රන්ජන් සිරගත කිරීම සම්බන්ධයෙන් වැරදි මතයක් සමාජ ගත කිරීමට බව අමුතුවෙන් කිව යුතු නැත.

රන්ජන් ප්‍රසිද්ධියේ අධිකරණයට කරන ලද අපහාස කිරීමක් නිසා මෙම දඬුවම ඔහුට හිමි වූ බව රටම දන්නා කාරණයකි.

එය එසේ තිබියදී හරීන් පෙන්වා දීමට උත්සාහ කරන්නේ රන්ජන් සිරගත කළේ ආණ්ඩුවේ වුවමනාවට බවයි. එතනදී හරීන් ප්‍රකාශ කිරීමට උත්සාහ ගන්නේ මෙම ආණ්ඩුව අධිකරණයට බලපෑම් කොට රන්ජන් සිරගත කර තිබෙන බවයි. ඒ අනුව හරීනුත් රන්ජන් අනුව යමින් සිදුකරනු ලබන්නේ අධිකරණයට අපහාස කිරීමක් නොවේද?

හරින් ප්‍රනාන්දු කළුපාට සාටක පළදන්නේ අධිකරණයට අපහාස කිරීමට නොවේද?

විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස කියන්නේ කුමක් ද?

ඔහු ද ප්‍රකාශ කරන්නේ රන්ජන්ගේ දේශපාලන පළිගැනීම් සිදු කිරීමට ආණ්ඩුව කටයුතු කරන බවයි. රන්ජන් නිදහස් කළ යුතු බවත්, ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය හිමිවිය යුතු බවත් සජිත් පුන පුනා ප්‍රකාශ කරයි. රන්ජන්, ශ්‍රී ලංකාවේ බහුතරයක් අධිකරණ විනිසුරුවරුන්ට, බහුතරයක් නීතිඥවරුන්ට ප්‍රසිද්ධියේ සිදු කරන ලද අපහාසය සමගි ජන බලවේගය මේ ආකාරයටම පිළිගැනීම තුළින් පෙන්නුම් කරනු ලබන්නේ සමගි ජනබලවේගය මේ රටේ නීතියට, අධිකරණයට, නීතිඥවරුන්ට කිසිදු ගරු කිරීමක් සිදු නොකරන බවයි.

මේ රටේ නීතිය සතපහකටවත් ගණන් නොගන්නා බව නායක සජිත් ප්‍රමුඛ සමගි ජන බලවේගයේ නියෝජිතයන් තම ප්‍රකාශවලින්ම ඔප්පු කිරීම ඉතා බරපතළ තත්ත්වයකි.

අධිකරණයට මේ ආකාරයෙන් අපහාස කරන ලද පුද්ගලයකු වෙනුවෙන් මේ ආකාරයෙන් පෙනී සිටීම ද අධිකරණයට කරනු ලබන තවත් බරපතළ අපහාසයකි. වරක් රන්ජන් විසින් කෙළෙසීමට ලක්වූ නීතියේ කන්‍යාවිය හරීන් විසින් දූෂණය කිරීම සාධාරණද? සමගි ජන බලවේගය මේ ආකාරයට කටයුතු කරනවා නම් ඔවුන්ට ආණ්ඩු බලයක් ලැබුණොත් නීතියේ කන්‍යාවියට කුමකින් කුමක් නොකරන්නේද?

සමගි ජනබලවේගය ගාලු මුවදොර පැවති රැස්වීමකදී සජිත් ප්‍රේමදාස විසින් රන්ජන් රාමනායකව තමා ළඟට ගෙන්වා ගත්තේය. “අපේ ආණ්ඩුවක් ආවොත් හොරු අල්ලන ඇමතිකම මං රන්ජන් රාමනායකට බාර දෙනවා.” යනුවෙන් සජිත් වේදිකාවේ දී ප්‍රකාශ කළේය.

රන්ජන් වගේ කෙනකුට හොරු අල්ලන ඇමැතිකම ඒ කියන්නෙ පොලිසියභාර ඇමතිකමක් දුන්නොත් කුමකින් කුමක් වේවිද?

රටේ නීතිය ගැන හැම වෙලාවේ ම බණ දේශනා කරන සජිත් රන්ජන් වෙනුවෙන් කොන්දේසි විරහිතව මේ ආකාරයෙන් පෙනී සිටින්නේ අධිකරණයටද අභියෝග කරමින් නොවේද?

එතකොට සමගි ජන බලවේගය නිතරම කතා කරන නීතියේ ආධිපත්‍යයට සිදු වන්නේ කුමක්ද? රන්ජන් වැනි කෙනෙකු අධිකරණය සම්බන්ධයෙන් දරන ස්ථාවරය නිවැරදි කියා ඒ වෙනුවෙන් පෙනී සිටින පිරිස්වලින් සාධාරණයක් කෙසේවත් බලාපොරොත්තු විය හැකිද?

මෙවැනි අපහාස කිරීමක් සිදු කළ රන්ජන් වෙනුවෙන් සමගි ජන බලවේගය මේ ආකාරයෙන් පෙනී සිටීමද එතරම් පුදුමයට කරුණක් නොවේ. යහපාලන ආණ්ඩුව කාලයේ දී සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර කිසිදු වෙනසක් නොවීය.

එය යහපාලන පොලිස්පති පූජිත ජයසුන්දරගේම වචනවලින් කියනවා නම් පොලිසිය නීතිය නැව්වේ කනේ වැලි ගෑවෙන ගානට ය. අරලියගහ මන්දිරයට පොලීසියේ, රහස් පොලිසියේ, මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ (FCID), නීතිපති දෙපාර්තමේන්තුවේ, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් ගෙන්වාගෙන එවකට අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ මංගල, පාඨලී, සුමන්තිරන්, අනුර කුමාර දිසානායක ඇතුළු විසි දෙදෙනෙක් නීතිය නවා රාජපක්ෂවරුන් ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ පිරිස් කෙසේ හෝ සිරගත කළ යුතු බවට බලපෑම් කළ බව නොරහසකි.

අද ඒ බව දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයාබලන ජනාධිපති කොමිසම් වාර්තාවෙන් ද තහවුරු වී තිබේ. එපමණක් නොවේ අරලියගහ මන්දිරයේ සිට නීතිය නවපු හැටි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ එවකට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ, නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත්, FCID ප්‍රධානී රවී වෛද්‍යාලංකාර විසිනි.

යහපාලනය මෙහෙයවපු නායකයන් විසින් නීතිය නැව්වේ කෙසේද කියා මෙම නිලධාරීන්ගේ ප්‍රකාශවලින් ඉතා හොඳින් ම ගම්‍ය වේ. එසේ නීතිය නැවීමේදී රන්ජන් රාමනායක විසින් ද සිදු කළේ සුළුපටු කාර්යභාරයක් නොවේ. විනිසුරුවරුන්ට දුරකථන ඇමතුම් ලබා දෙමින්, රහස් පොලිසියේ අධ්‍යක්ෂ ශානි අබේසේකරට, දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහට දුරකථන ඇමතුම් ලබාදෙමින් රන්ජන් සිදු කළ බලපෑම ඔහුගේ හඬපටවලින් හොඳින්ම පෙන්නුම් කෙරේ. ඒ ආකාරයට හිරුණිකාලට පමණක් නොව නීතියේ කන්‍යාවියට ද රන්ජන් සිදුකරන ලද බලපෑම් ඔහුගේ ම හඬපටවලින් සියලු දෙනාටම අවබෝධ කරගත හැකි විය.

ඒ නිසා එදා රනිල් සමඟ සිටි රාජිත, චම්පික, රන්ජන්, සුමන්තිරන්, අනුර කුමාර, හකීම්, රිෂාඩ් ඇතුළු සෙට්එක අද සිටින්නේ කොහේද? ඔවුන් සියලු දෙනාම සිටින්නේ සජිත් ප්‍රේමදාස සමඟ ය. අලුත් බෝතලයේ තිබෙන්නේ පරණ වයින්ම ය.

ඒ නීතිය එදා කනේ වැලි ගෑවෙන ගානට නවපු කණ්ඩායම අදත් සිදු කරන්නේ එදා නීතියට කළ දේමය. රාජ්‍ය පාලනයක් තිබුණු නිසා එදා නීතිය නැව්ව අතර අද රාජ්‍ය පාලනයක් නොමැතිව කරන්නේ අධිකරණයට හා නීතියට අපහාස කිරීමයි.

හුඟදෙනෙකුට නොපෙනෙන තවත් දෙයක් මෙම සිදුවීම් තුළ ඇත. දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්, රන්ජන් රාමනායක වෙනුවෙන් නීතිඥවරයෙකු වශයෙන් අධිකරණයේ දී පෙනී සිටියේ ඇයි?

රන්ජන් හා සුමන්තිරන් අතර ඥාති සම්බන්ධතාවයක් හෝ දැඩි මිත්‍රත්වයක් නැත. ඔවුන් කොටි හිතවාදීන්ට, දෙමළ ඩයස්පෝරාවට, බෙදුම්වාදී බලවේගවලට අවශ්‍ය කරන කරුණු රන්ජන් රාමනායක අධිකරණයට කරන ලද අපහාස කිරීමෙන් සන්තෘප්ත වන නිසා සුමන්තිරන් කොන්දේසි විරහිතව රන්ජන් වෙනුවෙන් පෙනී සිටි.

“මෙරට අධිකරණ පද්ධතිය දුෂිතයි” යනුවෙන් ප්‍රධාන දේශපාලන පක්ෂයක නියෝජිතයෙක්, එවකට හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක් කරනු ලබන ප්‍රකාශය ජාත්‍යන්තරයට ගෙනයාමේ කොන්ත්‍රාත්තුව බාර ගෙන සිටින්නේ එම්.ඒ. සුමන්තිරන් ය.

කොටි හිතවාදීන්ට, දෙමළ ඩයස්පෝරාවට අවශ්‍ය වී ඇත්තේ ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය දූෂිත බවත් ඒ පිළිබඳව ජනතාව තුළ විශ්වාසයක් නැති බවත් ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි ජගත් මානව හිමිකම් කවුන්සිලයට ගෙන යාමටය.

රන්ජන් රාමනායක කියන්නේ මේ රටේ අධිකරණය දුෂිත නිසා අධිකරණ සම්බන්ධයෙන් මෙරට පොදු මහජනතාව විශ්වාසයක් නොමැති බවයි. රන්ජන්ගේ නඩුවලට පෙනී සිටින සුමන්තිරන් ඊට අඩුමකුඩුම සහ අවශ්‍ය තුනපහ එකතු කොට ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය බිඳ වැටී ඇති පණිවිඩය ජාත්‍යන්තරයට ගෙන යයි. ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදු වූ බව කියමින් මෙරට රණවිරුවන්ට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයේ නඩු පැවරීමට අවශ්‍ය බව කොටි හිතවාදීහු නිතරම ප්‍රකාශ කරති.

රන්ජන්ගේ මෙම ප්‍රකාශය ජාත්‍යන්තරයට සුමන්තිරන් ගෙන යයි. මෙම කරුණු සලකා බලා ජිනීවා නුවර දී කොටි හිතවාදීන් ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය බිඳ වැටී ඇති බව ශ්‍රී ලංකාවේම ඇමතිවරුන්, දේශපාලඥයින් ප්‍රකාශ කරන නිසා ඔවුන් ඉල්ලන ජාත්‍යන්තර පරීක්ෂණයක් ලබාදෙන ලෙසයි.

යුද අපරාධ සිදු වූ බවට එල්ල වී තිබෙන චෝදනා ගැන විමර්ශනය කිරීමට ජාත්‍යන්තර අධිකරණයක් හෝ විදෙස් විනිසුරුවරුන් යොදා ගන්නා ලෙස කොටි හිතවාදීහු ඉල්ලීම් කරති. ඔවුහු දැඩි ලෙස බලපෑම් කරති.

මෙවැනි වාතාවරණයක් තුළ රන්ජන්ගේ මෙම ප්‍රකාශය පනින රිලවුන්ට ඉනිමන් තැනීමකි.

ඇමරිකා එක්සත් ජනපදයේ දේශපාලනය වෙනස් වී ඇත. ලෝකයේ සෙසු රටවලට බලපෑම් නොකළ ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනුවට දැන් සිටින්නේ ජෝ බයිඩන් ය. උප ජනාධිපති කමලා හැරිස් ය. ඇයට ඉන්දියානු සම්භවයක් ඇත. මෙම දේශපාලන පෙරළිය ගැන කොටි හිතවාදීන්, දෙමළ ඩයස්පෝරාව, රටට එරෙහිව සංවිධාන වී සිටින්නේ දැඩි සතුටකිනි.

ඇමරිකාවේ නව ජනාධිපති හා පාලන බලය ලවා ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර වශයෙන් යම් යම් බලපෑම් සිදු කිරීමට හැකි වාතාවරණයක් ඇති කර ගැනීමට අවස්ථාවක් තිබෙන නිසා කොටි හිතවාදීන් සිටින්නේ දැඩි සතුටකිනි.

එවැනි තත්ත්වයක් මත ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවට යම් යම් අභියෝග එල්ල කිරීම සඳහා රන්ජන්ගේ මෙම ප්‍රකාශ සුමන්තිරන්ලාගේ අඩුම කුඩුම ඉතා හොඳින් ප්‍රයෝජන ගැනීමට පිරිසක් සූදානම් වී සිටිති. එම පිරිස සතුටු කිරීමට සමගි ජන බලවේගය සූදානම් වීම ගැන අවදියෙන් සිටිය යුතු ය.

දැනටමත් මෙම වසරේ මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිත ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාවට එරෙහිව චෝදනා ගොනු කිරීමට, පැමිණිලි ඉදිරිපත් කිරීමට දත කට මැදගෙන සිටින පිරිස අතර සුමන්තිරන් ඉදිරියෙන්ම සිටී.

ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් චෝදනා එල්ල කිරීමට යන සුමන්තිරන්ගේ බෑගයේ තියෙන ෆයිල්වලින් එකක් වනුයේ රන්ජන් රාමනායක අධිකරණයට අපහාස කිරීම සහ රන්ජන් රාමනායකට එරෙහිව අධිකරණය මඟින් ලබාදුන් නඩු තීන්දුවයි. එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමට සුමන්තිරන් මාන බලමින් සිටි. රන්ජන් සිරගත කළේ ආණ්ඩුවේ දේශපාලන සිරකරුවකු වශයෙන් පෙන්නුම් කිරීමට සුමන්තිරන් උත්සාහ ගන්නා අතර රන්ජන් අධිකරණය සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශ හරහා අධිකරණයේ විශ්වාසනීයභාවය ගැන ජාත්‍යන්තරය තුළ ප්‍රශ්නයක් ඇති කිරීමට ද සුමන්තිරන් උත්සාහය දරමින් සිටි.

සමගි ජන බලවේගය නෑකම් කියන එක්සත් ජාතික පක්ෂයට අධිකරණයට බලපෑම් කිරීම් සම්බන්ධයෙන් ඇත්තේ හොඳ පළපුරුද්දකි. 1977 එක්සත් ජාතික පක්ෂය බලයට පත්වන විට ජේ.ආර්. ජයවර්ධන එවකට හිටපු ජනාධිපතිවරයාගේ නීතිඥයා වූයේ නෙවිල් සමරකෝන් ය.

නෙවිල් සමරකෝන් දක්ෂ නීතිඥයෙකු වන අතර ඔහු කාලයක් ජේ. ආර්.ගේ නීතිඥයා වශයෙන් කටයුතු කළ අතර ජේ. ආර්. හැඳිනගෙන තිබුණේ දීර්ඝ කාලයක සිටය.

නෙවිල් සමරකෝන් අගවිනිසුරුවරයා ලෙස පත්වූ අතර ඔහු අපක්ෂපාතීව තම කටයුතු කරගෙන ගියේ ය. මේ නිසා ඔහු කීර්තිමත් අග විනිසුරුවරයකු වූයේය. ජේ. ආර්. ගේ ආණ්ඩුවට අහිතකර වන නඩු තීන්දු කිහිපයක්ම ලබාදීමට නෙවිල් සමරකෝන් අගවිනිසුරුවරයා ක්‍රියා කළේය.

මේ තත්ත්වය හේතුවෙන් පසු කාලයේ දී නෙවිල් සමරකෝන් අගවිනිසුරුවරයාට එරෙහි ව පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සැලසුම් කළේය.

මේ හේතුව නිසා විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට පෙර නෙවිල් සමරකෝන් අගවිනිසුරු ධූරයෙන් ඉල්ලා අස් විය. විනිසුරන්ගේ නිල නිවෙස්වලට ගල් ගැසීම ද සිදු වුයේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කාලයේ දී ය.එවකට ජනාධිපති වූයේ ජේ. ආර්. ය.

රණසිංහ ප්‍රේමදාස අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන විට මෙම සිද්ධි සිදු වූ බව රහසක් නොවේ.

තම මතයන් ට අනුව අධිකරණ විනිසුරුවරුන් ක්‍රියා නොකරන විට පාතාල කල්ලි සාමාජිකයන් ලවා අධිකරණ විනිසුරුවරුන්ට ගල් ගැසීමට අවශ්‍ය කටයුතු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙන් සම්පාදනය කර තිබුණි.

මේ ගැන පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළ විට එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු දුන්නේ මෙවැනි පිළිතුරකි.

“මේ කොල්ලෝ කුරුට්ටෝ දෙතුන් දෙනෙක් අඹ කඩාගන්න අඹ ගහකට පොලු ගහලා තියෙනවා. ඒ අඹ ගහ ළඟ අධිකරණ විනිසුරුවරයකුගේ නිවසක් තියෙන්න ඇති.”

Comments