වොෂිං­ට­නය අවු­ළුවා ඉති­හා­සයේ කුණු­ගො­ඩට වැටුණු ට්‍රම්ප් | සිළුමිණ

වොෂිං­ට­නය අවු­ළුවා ඉති­හා­සයේ කුණු­ගො­ඩට වැටුණු ට්‍රම්ප්

පසුගිය සතියේ ලෝකය වැඩියෙන්ම කතාබහ කළේ ඇමරිකාවේ වොෂිංටන් නගරයේ පැතිර ගිය කළහකාරී උද්ඝෝෂණ සම්බන්ධවය. ඒ සම්බන්ධව ලොව පුරා විවිධ මත පළ වූ අතර ඒ අතරින් විවේචනවලට වැඩි ඉඩක් වෙන් විය.

කෙසේ වුවද ලබන 19වැනිදා වන විට ස්වකීය ධූරයෙන් සමු ගත යුතු ජනාධිපති ට්‍රම්ප් ඒ සම්බන්ධව මේ දක්වා කිසිදු උනන්දුවක් දක්වා නැත. ඔහු දිගින් දිගටම අදහස් දක්වන්නේ තමන් ජනාධිපතිවරණයෙන් පරාජය නොලත් බව දක්වමිනි.

එහෙත් මේ වන විට ඇමරිකානු කොංග්‍රසය මැතිවරණයේ පැහැදිලි ජයග්‍රහණය ජෝ බයිඩ්න් විසින් අත්පත් කරගත් බව දක්වා අවසන්ය.

ඇමරිකානු ව්‍යවස්ථාවට අනුව නොවැම්බර් මාසයේ පැවැති ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය ලැබූ පුද්ගලයා ධූරයේ වැඩ බාරගැනීමට නියමිතව ඇත්තේ ඊළඟ වසරේ ජනවාරි 20 වැනිදාය. ඒ දක්වා ධූරයේ රැඳී සිටීමට පරාජිත ජනාධිපතිවරයාට හැකියාව ලැබේ. එහෙත් මේ දක්වාම ජනාධිපති ට්‍රම්ප් තමා පරාජය නොවූ බව ප්‍රකාශ කරන බැවින් ඔහු නියමිත දිනයට ස්වකීය ධූරයෙන් සමුගෙන යනු ඇතැයි අපේක්ෂා කිරීමට ගැටලුවක්වී තිබේ.

මේ අනුව ධූරයෙන් සමු ගැනීම ප්‍රතික්ෂේප කරන ජනාධිපතිවරයකු ධූරයෙන් ඉවත් කිරීමට ඇති ඉඩකඩ සම්බන්ධයෙන්ද මේ වන විට අවධානය යොමු වෙමින් පවතින අතර, ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23වැනි සංශෝධනයට අනුව එවැනි පුද්ගලයකු ධූරයෙන් නෙරපීමට හැකියාව තිබෙන බව ප්‍රකාශ වී තිබේ.

ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23වැනි සංශෝධනය ක්‍රියාත්මක වූයේ 1967 වසරේදීය. එම සංශෝධනයට අනුව උප ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලයේ බහුතරය ධූරය දැරීමට ජනාධිපතිවරයා නුසුදුසු බව තීරණය කරයි නම් ඔහුව ක්ෂණයකින් ධූරයෙන් නෙරපීමට හැකියාව තිබේ.

ඒ වෙනුවෙන් ඔවුන් කළ යුතු වන්නේ කොංග්‍රසයට ලිපියකින් තම අභිප්‍රාය දැන්වීම පමණි. මෙහිදී කැබිනට් මණ්ඩලයේ බහුතරය යනුවෙන් අදහස් කරන්නේ ප්‍රධාන ලේකම්වරුන් 15 දෙනාගෙන් බහුතරය මෙන්ම 1985 නියෝගයට අනුව නීති දෙපාර්තමේන්තුවේ කැමැත්ත හිමිවීමය.

පසුගිය සතියේ වොෂිංටන් නුවර ප්‍රචණ්ඩ ක්‍රියා එක්වරම ඇතිවූ ලෙස දක්නට ලැබුණද එම විරෝධතා මනාව සංවිධානය කරන ලද බව පසුව තහවුරු විය.

එම විරෝධතා සංවිධානය කිරීම සඳහා ඇලෙක්ස් ජෝන්ස් නම් වන ව්‍යාපාරිකයා ඩොලර් ලක්ෂ පහක මුදලක් මේ විරෝධතා සංවිධානය කිරීම වෙනුවෙන් ලබා දුන් බව පිළිගෙන තිබේ.

ජනතාව පාලනය කිරීමට සිදු කළ වෙඩි තැබීම්වලින් විරෝධතාකරුවන් හතර දෙනෙකු සහ එක් පොලිස් නිලධාරීයකු මියගිය අතර කැපිටල් ගොඩනැගිල්ල විරෝධතාකරුවන්ගෙන් ආරක්ෂා කර ගැනීමට දැඩි ආයාසයක් දැරීමට පොලීසියට සිදුවිය. මේ වන විට මේ සියල්ල සිදුවී ඇත්තේ ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ පෙලඹවීම සහ අනුබලදීම මත බව තහවුරු වී තිබේ.

පසුගිය ජනවාරි 6වැනිදා විරෝධතා ආරම්භ වූ අතර, හදිසියේම ජනතාව වීථි බැසීම සිදුවී ඇත්තේ පෙර සූදානම් කරනලද වැඩපිළිවෙළකට අනුව බව මේ වන විට විදෙස් මාධ්‍යවල වාර්තා වෙමින් තිබේ.

ජනවාරි 6වැනිදා උදෑසන 8.30 පමණ ජනතා උද්ඝෝෂණ ඇරඹි අතර දහවල් 12 වන විට ධවල මන්දිරයේ ඉදිරිපස රැළියක් පවත්වමින් ජනාධිපති ට්‍රම්ප් පවසා සිටියේ ඔවුන්ව කිසිසේත් පිළිගත යුතු නැති බවයි.

දහවල් එක වන විට විරෝධතාකරුවෝ කැපිටල් ගොඩනැගිල්ලට ඇතුළුවීමට උත්සාහ දැරීම ඇරඹූහ. එයට ප්‍රතිචාර ලෙස පොලීසිය විසින් විරෝධතාකරුවන් පාලනයට අවම බලය යොදන ලද අතර වෙඩි තැබීමටද කටයුතු කළහ.

එහි ප්‍රතිඵල ලෙස එක් කාන්තාවක් මිය ගිය අතර ඇය ඍජුවම පොලිස් වෙඩි පහරින් මියගිය බව තහවුරු විය. අනෙක් පුද්ගලයන් තිදෙනා මේ සිදුවීම් මාලාවේදී තෙරපීම වැනි විවිධ හේතුමත මියගොස් ඇති බව තහවුරු විය.

එසේ වුවද සවස 3.25ට ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති ට්‍රම්ප් පවසා සිටියේ ‘සාමකාමීව හැසිරෙන්න ඔවුන්ට කියන්න, එහෙත් විසිරී නොයන්න‘ යනුවෙනි.

ඒ අනුව ජනතාව කුපිත කිරීමට ජනාධිපතිවරයාගේ ඍජු බලපෑම තහවුරු විය.

ඒ සමඟම මේ විරෝධතාකරුවන් ‘ජාතික වීරයන්‘ වශයෙන් නම් කරමින් ට්වීටර් පණිවිඩ නිකුත් කිරීමට ඉවන්කා ට්‍රම්ප්ද කටයුතු කළාය.

කෙසේ වුවද ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ටීවීටර් පණිවිඩ ඉවත් කිරීමටත්, ඔහුගේ ට්වීටර් ගිණුම පැය 48කට තහනම් කිරීමටත් ට්වීටර් සමාගම කටයුතු යෙදීය. පසුව ඉවන්කා ට්‍රම්ප් තම ගිණුමෙන්ද අදාළ ට්වීටර් පණිවිඩ ඉවත් කර ගැනීමට කටයුතු යොදා තිබිණි.

සවස 4.40 වන විට ජනාධිපති ට්‍රම්ප් විරෝධතාකරුවන්ට විසිර යන ලෙස පැවසූ අතර කෙසේ වුවද මැතිවරණය ‘ප්‍රෝඩාකාරී‘ බවද පවසා සිටියේය. පොලීසියට පවසා තිබුණේ විරෝධතාකරුවන් විසිරවා යැවූ පසු භූමියේ තැනතැන දමා ගොස් තිබූ පයිප්ප බෝම්බ දෙකක් සහ ශක්තිජනක පාන බෝතල් කිහිපයක්ද හමුවූ බවයි.

කෙසේ වුවද මේ සියල්ල ජනාධිපති ට්‍රම්ප් වෙත ජනතා ආකර්ෂණය වෙනුවට ජනතා විරෝධය ඇති කිරීමට නම් හේතුපාදක වූ බව පැවසිය යුතුය.

ජනප්‍රිය නළු ජෝර්ජ් ක්ලූනි මේ සම්බන්ධව අදහස් දක්වමින් පවසා ඇත්තේ මේ විරෝධතාව මගින් ජනාධිපති ට්‍රම්ප් ‘ඉතිහාසයේ කුණු බක්කියට වැටුණු ‘ බවයි.

එමෙන්ම කලෙක ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි හිතවතෙකු වූ කැනඩා අගමැති ජස්ටින් ටෘෘඩෝද වොෂිංටනයේ සිදුවූ මේ විරෝධතා හෙළා දකිමින් ට්‍රම්ප් විවේචනය කිරීමට කටයුතු කළේය. ෆේස්බුක් සමාජ ජාලයෙන් ට්‍රම්ප්ගේ ගිණුම අත්හිටවූ අතර, බලය අත් නොහැරීම සම්බන්ධව ට්‍රම්ප්ට විවේචන එල්ලවන්නට විය.

මේ අතර ලබන 20වැනිදාට නව ජනාධිපති ජෝ බයිඩ්න්ගේ දිවුරුම් දීමේ උත්සවය සංවිධානය කෙරෙමින් පවතින අතර, උද්ගත වූ මේ විරෝධතා හේතුවෙන් ආරක්ෂක විධිවිධාන වැඩි කිරීමට එහි සංවිධායකවරුන්ට සිදුවිය.

ඇමරිකානු ජනාධිපතිවරයකුගේ දිවුරුම් දීමේ උත්සවයට හිටපු ජනාධිපතිවරුන් සියලුමදෙනාට ආරාධනා කිරීම සාමාන්‍ය සිරිතකි.

මෙවරද ඔබාමා සහ ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් ඇතුළු හිටපු ජනාධිපතිවරුන් කිහිප දෙනෙක්ම පැමිණෙන බව තහවුරු කර තිබේ.

එහෙත් ගෞරවනීය ලෙස ධූරයෙන් සමුගෙන යා යුතු ජනාධිපති ට්‍රම්ප් තවමත් ඇමරිකාවට ගිනි අවුළුවමින් සිටින බව පෙනේ.

මේ නාටකීය ජවනිකා තවත් ඉදිරියට දිග් ගැස්සෙන බව පෙනෙන අතර බයිඩ්න් ජනාධිපතිධූරයේ වැඩ බාරගත් පසු ඔහුට ආසන්න පිළියම් සෙවීමට ගැටලු රැසක් නම් ට්‍රම්ප් විසින් ඉතිරි කර යනු ඇති බව පැහැදිව පැවසිය හැකිය.

 
 

Comments