ඔය කාගෙ කාගෙත් නිරුවත අපි දැකලා තියෙනවා | Page 2 | සිළුමිණ

ඔය කාගෙ කාගෙත් නිරුවත අපි දැකලා තියෙනවා

Dr.SEEVAL Ijayawickreme

 

පී.සී.ආර්.වලට වැඩිය අපේ වැඩ ගණං

අලුත් තැනකට එන්න වසර දහ තුනක් බලා සිටියා

රුපියල් මිලියන හත්සියයකට වැඩි මුදලක් පිටරටට දීලා තියෙනවා

උත්තේජන පරීක්ෂණවලින් විදේශයට විනිමය ගලනය වීම නවත්වන්න අපට කවදාවත් බෑ

 

ක්‍රීඩක, ක්‍රීඩිකාවෝ පිටියේ දුවති, පනිති. දසකයකට ආසන්න කාලයක් තිස්සේ වෛද්‍ය සීවලී ජයවික්‍රම මහතා සහ ඔහුගේ කණ්ඩායම එසේ දුවන පනින ක්‍රීඩක, ක්‍රීඩිකාවන් පසුපස දුවති. පසුගියදා ‘ක්‍රීඩා’ ඔහු පිටුපස පැමිණියේ ඔවුන්ගේ ක්‍රීඩක ලුහුබැඳීමේ ක්‍රියාවලිය හා එහි අනාගතය ගැන සාකච්ඡා කිරීමටය.

උත්තේජක මර්දන නියෝජිතායතනය කියන්නේ මොකක් ද කියන තැනින් අපි සාකච්ඡාව ආරම්භ කරමු?

අපි තමයි දේශීය ක්‍රීඩාව තහනම් උත්තේජක වලින් තොර ස්ථානයක් බවට පත්කරන්න පෙනී සිටින ආයතනය. ක්‍රීඩකයන්ගේ තහනම් උත්තේජක පරීක්ෂා සිදුකරන්නෙ, එවැනි උත්තේජක ගත්බවට සනාථවූ ක්‍රීඩකයන්ට විනය ක්‍රියාමාර්ග ගන්නෙ, ඒවා භාවිත කිරීමේ අනිටු ප්‍රතිවිපාක ගැන සමාජය දැනුවත් කරන්නේ අපියි.

කොයි කාලෙ ඉඳලද මේ ආයතනය අපේ රට ඇතුළේ වැඩ ආරම්භ කළේ ?

2013 පනතක් මගින් තමයි අපි මේ ආයතනය පටන් ගත්තේ.

මේ අලුත් ගොඩනැගිල්ලට ආවෙ?

2019 වසරේදී. එතකං හිටියේ ක්‍රීඩා වෛද්‍ය ආයතනය තුළ.

දැන් ඔබේ ආයතනය පටන් අරගෙන වසර හතක්. මේ කාලය තුළ කොයිතරම් උත්තේජක පරීක්ෂණ ප්‍රමාණයක් කරලා තිබෙනවා ද?

1300 කට ආසන්න ප්‍රමාණයක් සිදුකරලා තිබෙනවා.

ඒවා පරීක්ෂා කරන්නෙ කොහොම ද?

තරග ඉසව්වක් අවසන්වූ සැණින් එහෙමත් නැත්නම් අහඹු ලෙස තෝරාගත් ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවකගේ මුත්‍රා සාම්පල් ලබාගැනීමෙන් තමයි ඒ දේ කරන්නෙ.

ලබාගන්න මුත්‍රා සාම්පල් පරීක්ෂා කරන්නෙ?

අපි ඒකට කටාර් රාජ්‍යයේ තහනම් උත්තේජක පරීක්ෂණාගාරයකට මුත්‍රා සාම්පල් යවනවා.

එතකොට මේ වැඩේට සෑහෙන්න වියපැහැදම් වෙනවා ඇති නේද?

ඔව්. සාමාන්‍යයෙන් එක පරීක්ෂණයකට ශ්‍රී ලංකා මුදලින් රුපියල් පනස් දහසක් විතර වැය වෙනවා.

ඒ කියන්නේ මුත්‍රා කටාර් පටවලා රුපියල් මිලියන හය හත්සීයක් වියදම් වෙලා තිබෙනවා?

ඒක මුත්‍රා රට පැටවීමක් නොවෙයි. අපේ ක්‍රීඩාව පිරිසිදු, උත්තේජක භාවිතයෙන් තොර ක්‍රීඩාවක් බවට පත්කරගන්න උත්තේජක පරීක්ෂණවලට යොමුකරවීමක්. ඔව්. මේ වෙද්දී අපි රුපියල් මිලියන හත්සියයකට වැඩිය මුදල් වියදම් කරලා තිබෙනවා.

දැන් ඔය සල්ලි රට ඇතුළේ නවත්වා ගන්න බැරිද? උදාහරණයකට තහනම් උත්තේජක පරීක්ෂණාගාරයක් ලංකාවේ ස්ථාපනය කරන්න හැකියාවක් නැද්ද?

බැහැනෙ. මේ වැඩේ ඉන්දියාවත් කරන්න ගිහිල්ලා අන්තිමට අතහැරියා. ඒකට දියුණු තාක්ෂණ ක්‍රමවේද භාවිත කරන්න, පර්යේෂණ කටයුතු වෙනුවෙන් විද්‍යාඥයෝ ඉන්න ඕනෑ. ඒ පර්යේෂකයන්ට හොඳට ගෙවන්න ඕනෑ. ඒ වගේම අලුත් වෙන තහනම් සංඝටක අල්ලා ගන්න පුළුවන් අලුත් අලුත් තාක්ෂණය යොදාගන්න නිරන්තරයෙන් නවීකරණය විය යුතුයි. ඒ වැඩේ කරන්න අපි ධනවත් මදි.

දැන් ක්‍රීඩකයන්ගෙන් මුත්‍රා සාම්පල් ගන්නෙ කොහොම ද?

ක්‍රීඩකයා ඉසව්ව අවසන් වුණු සැණින් ඔහු පිටුපසම ඉන්න අපේ නිලධාරියෙක් ඔහුගෙන් හෝ ඇගෙන් මුත්‍රා සාම්පල් දෙකක් ලබාගෙන ඔහුගේ හෝ ඇගේ අත්අකුරින්ම සියලු තොරතුරු ඇතුළත් පත්‍රිකාවක් පුරවා ගන්නවා. ඊට පස්සේ සාමාන්‍ය තත්ත්ව යටතේ විවෘත කළ නොහැකි ඒ බෝතල් මූඩි තදකරන්නෙත් ක්‍රීඩකයොමයි.

ඔය විධිහට ගන්න මුත්‍රා සාම්පල ඕනෑනම් අතර මගදි මාරු කරනවා කියන සැකය මතුවෙන්නේ නැද්ද?

කොහෙත්ම නෑ. අපි මුත්‍රා ගන්න විශේෂ බෝතල් කට්ටලය එන්නේ ස්විස්ටර්ලන්තයෙන්. සීල් කරපු බෝතල් දෙකක් තියෙන මේ පෙට්ටියේ සීල් කඩන්නෙත්, තෝරාගන්නෙත් ක්‍රීඩකයාමයි. ඒ නිසා ඒක කාටවත් චේතනාන්විතව සැලසුම්කරලා මාරු කරන්න බෑ.

ඒත් එහෙම කරපු අවස්ථා ඇති නේද?

රාජ්‍ය බලය භාවිත කරලා රුසියාව වගේ රටවල් ඔය වගේ අර්බූද වලට ලක්වුණා.

දැන් ක්‍රීඩකයන්ගෙ මුත්‍රා සාම්පල් එක ගන්න යද්දී වෙන බෝතලයක හංගාගෙන ඉඳලා ඔය දෙන බෝතලයට මුත්‍රා දාන්න පුළුවන්නෙ?

ඉස්සර එහෙමත් කළා. සමහර ක්‍රීඩකයෝ මුත්‍රා පරීක්ෂණයෙන් ගැබ් අරගෙන උන්නා. ඒකට හේතුව නෝනගෙ මුත්‍රා සාම්පල් ගෙනැල්ලා බෝතලයට දාලා. අන්තිමට වැසිකිළියේ දොර ඇරගෙන ඒ දේ කරන්න කිව්වා. එහෙම කරලත් මුත්‍රා සාම්පල් මාරු කළ ක්‍රීඩකයෝ හිටියා. ඊළඟට ලෝක තහනම් උත්තේජක ආයතනය ක්‍රීඩකයන්ගෙ මුත්‍රා සාම්පල් ගනිද්දී වැසිකිළියේ වීදුරුවක් ගැහැව්වා. ඒක දිහා බලාගෙන ඉන්න නිසා ක්‍රීඩකයාට මුත්‍රා මාරුකරන්න බැරිවෙයි කියලයි හිතුවෙ. ඒත් ඒකෙදිත් සමහර ක්‍රීඩකයෝ හොර කළා. අන්තිමට තීරණය කළේ හැම ක්‍රීඩකයෙක්ම උත්තේජක පරීක්ෂණ සිදුකරන නියෝජිතයා ඉදිරියේ සාම්පලය ලබාදිය යුතුයි කියලයි. දැන් අනුගමනය කරන්නේ ඒක.

ඒ කියන්නේ ක්‍රීඩිකාවක් වුණත් උත්තේජක පරීක්ෂක ඉදිරියේ නිරුවත් වෙන්න ඕනෑ කියලද?

ඔව්. හැබැයි ක්‍රීඩිකාවෝ පරීක්ෂා කරන්නේ පරීක්ෂිකාවෝ. ක්‍රීඩකයෝ පරීක්ෂා කරන්නේ පරීක්ෂකයෝ. ක්‍රීඩකයෙක් වුණත්, ක්‍රීඩිකාවක් වුණත් ඇඳගෙන ඉන්න ඇඳුම පපුවේ මට්ටමට ඔසවලා තමයි මුත්‍රා සාම්පලය ලබාදෙන්න ඕනෑ, ඉතින් ඔය හැම ක්‍රීඩකයකුගේම නිරුවත අපේ නියෝජිතයෝ දැකලා තියෙනවා. සමහරවිට ඉදිරියේදී නිරුවතින්ම ඉඳලා මුත්‍රා සාම්පල් දෙන්න වුණොත් පුදුමයක් නොවෙයි.

ජාතික ශූරතාවයේ කීයකගෙ මුත්‍රා පරීක්ෂා කළාද?

43කගේ මුත්‍රා ගත්තා.

මීටර් 400 ධාවකයා වන කාලිංග කුමාරගේ මුත්‍රා ගත්තේ නෑ කියලා ආන්දෝලනයක් ගියා නේද?

අපි ගත්තා. අනෙක කාගෙ මුත්‍රා සාම්පල්ද ගන්නෙ, කාගෙද නොගන්නේ කියලා තීරණය කරන්නේ අපි.

එතකොට රිටි පැනීමේ ජාතික ශූරියගේ ගත්තේ නැද්ද?

නෑ.

ඇයි ඒ?

ඒක ජාතික වාර්තාවක්. නමුත් අන්තර්ජාතික තලයේ තරගකාරී දක්ෂතාවයක් නොවන නිසයි ඒ.

කොවිඩ් නිසා මේ දවස්වල ක්‍රීඩකයන්ට යම් බුරුලකුත් ලැබිලා වගේ?‍

මෙතැනදි අපි කාටවත් බුරුලක් දෙන්නේ නෑ. ඒ වැඩේට කොවිඩ් තිබුණද නැද්ද කියලා අදාළත් නෑ. නමුත් ක්‍රීඩා නොකරන අවස්ථාවල දී උත්තේජන පරීක්ෂණ සිදුකරද්දී නම් යම් යම් සීමාවන් පවත්වා ගන්න අපට සිද්ධ වුණා.

ඒ මොකද ඒ ?

අහඹු ලෙස සිදුකරන පරීක්ෂණ ප්‍රමාණය යම් සීමාවකට ලක් කළේ ක්‍රීඩකයන්ගේ හා නිලධාරීන්ගේ ආරක්ෂාව ගැන සිතලයි.

ජාතික ශූරතාවේ පරීක්ෂණ සීමාවක් දාන්න සිදු වුණේ ඇයි?

අපිට ප්‍රමාණවත් තරම් සේවකයෝ නෑ. ඉන්න නිලධාරීන් කීප දෙනා තමයි මේ වැඩේ පස්සෙන් දුවන්න ඉන්නෙ.

දැන් ඔය තහනම් උත්තේජන පරීක්ෂණ වලට ක්‍රීඩකයන්ව තෝරාගන්නේ කොහොම ද?

ඔවුන්ගේ දක්ෂතාවන්වල වැඩිවීම සම්බන්ධයෙන් සලකලා තමයි. කෙටි කාලයකින් යම් ක්‍රීඩකයකුගේ දක්ෂතා වැඩිදියුණු වෙද්දී වගේම යම් ක්‍රීඩකයෙකු ගැන සැක කටයුතු තොරතුරක් ලැබිලා තිබෙනවා නම් ඒ ගැන සොයනවා.

ඒ කියන්නේ තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය සමඟ උපාය දූතයනුත් ඉන්නවා?

ඔව්. අපි සැම මොහොතකම ක්‍රීඩකයන් ගැන තොරතුරු විවිධාකාර ක්‍රමවේද භාවිතයෙන් සොයාගන්නවා. ඒ වගේම තොරතුරු ලැබුණු ආකාරය රහසිගතව පවත්වා ගන්නවා. නව වසරේ සිට මේ තොරතුරු ලබාගැනීම වෙනුවෙන් අධ්‍යක්ෂ ධුරයක් පවා ක්‍රියාත්මක කරන්න යන්නෙ. මේ හැමදෙයක්ම අපි කරන්නේ උත්තේජක භාවිතයෙන් තොර සුපිරිසිදු ක්‍රීඩාවක් පවත්වාගෙන යාමටයි.

උත්තේජන වැළැක්වීමේ කාර්ය භාරයේ සඵලතාවය ගැන මොකද හිතන්නේ?

අපිට තිබෙන්නේ සීමිත සම්පත් ප්‍රමාණයක්. නමුත් ඒ සීමිත සම්පත් මගින් අපි අසීමිත සේවයක් කිරීමට තමයි සැමවිටම උත්සාහ ගන්නෙ. උදාහරණයකට ජාත්‍යන්තර තරගයක ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් උත්තේජන ගැටලුවකට මැදි වුණේ මීට වසර දහයකට පෙරදියි. එතැන් සිට උත්තේජක ගැටලු ඇතිනොවන ආකාරයට අපේ ක්‍රීඩකයන් බලා ගන්න හැකිවෙලා තිබෙනවා. ඒක අපට ධෛර්යයක්.

ඒත් තරගාවලියක් අවසාන වනවිට වැසිකිළි, කැසිකිළිවල සිරින්ජර ඇතුළු උත්තේජක ලබාගත් බවට සාක්ෂි විශාල ප්‍රමාණයක් සොයාගන්න ලැබෙන බව කියැවෙනවා?

අපි ඒවා දැකලා නෑ. ඒ නිසා නිල වශයෙන් කිසිවක් කියන්න බෑ. නිල ප්‍රකාශයක් කරන්න පුලුවන් වෙන්නේ අපි සිදුකරන උත්තේජන පරීක්ෂණවල ප්‍රතිඵලය අනුවයි. එහෙම නැතිව වැසිකිළියක් ගානේ ගිහිල්ලා පරීක්ෂා කරන්න තරම් සේවකයෝ පිරිසක් අපේ ආයතනය සතුව නෑ.

දැන් ඔබේ ආයතනයේ ඉන්න සේවකයන් සංඛ්‍යාව කොපමණ ද?

27ක් ඉන්නවා. ඒත් විවිධ අංශවල සේවය කරන අය.

ගෙවුණු වසර තුළ වැඩිපුර අවධානය යොමුකළේ කොයි වගේ ක්‍රීඩාවල උත්තේජන පරීක්ෂණයටද?

ජාතික සංචිත තමයි පරීක්ෂාවට ලක් කළේ.

දැන් ස්වභාවික ආහාර මගින් ක්‍රීඩකයකුට තහනම් උත්තේජක ශරීරගත වෙන්න පුළුවන් කමක් තිබෙනව ද?

කිසිසේත්ම නෑ.

ඒත් බොහෝ ක්‍රීඩකයෝ අතිරේක ආහාර වර්ග ගන්නවනෙ. උදාහරණයකට සප්ලිමන්ට් කියන පෝෂණීය ආහාර ඔවුන් තමන්ගේ කෑමට එක්කරනවා නේද?

අපි කියලා තියෙන්නේ ඒවා ගන්න එපා කියලා. නමුත් සප්ලිමන්ට් ගන්න ඇතැම් කණ්ඩායම් ක්‍රීඩා තිබෙනවා. ඒත් ඒවාත් තහනම් උත්තේජක අන්තර්ගත නොවෙන ඒවායි ගත යුත්තේ.

දැන් ජාන විවිධාංගීකරණය කරපු ආහාර භාවිත කළ විට උත්තේජක ගත්තා වගේ වෙන්නේ නැද්ද?

වෙනවා. ඒකට කියන්නේ ජීන්ස් ඩෝපින් කියලා. තවම අපේ රටට එතරම් බලපාලා නෑ.

දැන් ඔයවගේ උත්තේජක ගේන්නේ විදේශ රටවලින්නෙ. ඒවා බොහොම පහසුවෙන් මිලදී ගන්නත් පුලුවන්නෙ?

මේවා ලංකාවට ගෙන්වන එක නවත්වන්න අපි නීති ශක්තිමත් කරන්න බලාපොරොත්තු වෙනවා.

බුද්ධිය වැඩිවශයෙන් උපයෝගී කරගනිමින් සිදුකරන ක්‍රීඩාවලදී තහනම් උත්තේජක භාවිත කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ මේ අයුරින්මද සිදුවන්නේ? උදාහරණයකට ‍ෙචස් වගේ ක්‍රීඩාවක දී?

ඔව්. ඒකෙ වෙනසක් නෑ. ස්නායු පද්ධතිය උත්ප්‍රේරණය කරන්න උත්තේජකයක් භාවිත කරනවා නම් ඒ ගැන පරීක්ෂණ පවත්වන්න ගන්නෙත් මේ ක්‍රියාමාර්ගයම තමයි.

මේ ආකාරයෙන් තහනම් උත්තේජක ලබාගැනීමෙන් තමුන්ගේ ක්‍රීඩා ජීවිතය වගේම සාමාන්‍ය ජීවිතය විනාශවන බව ඇතැම් ක්‍රීඩකයෝ නොදැන ඉන්න තරම් ඔවුන් අනවබෝධී වන්නේ ඇයි?

බොහෝ වෙලාවට අපේ ජාතික තලයේ ක්‍රීඩකයෝ නම් තහනම් උත්තේජන ලබාගැනීමේ ආදීනව සහ තහනම් උත්තේජන ලබානොගෙන තම දක්ෂතා වර්ධනය කරගන්නේ කොහොම ද කියලා අවබෝධයෙන් ඉන්නෙ. මෙතැනදී අපේ නිර්දේශය කෘත්‍රිමව අතිරේක පෝෂණයක් විධිහට සප්ලිමන්ට් ගන්න එපා කියන එකයි.

ඔබ එහෙම කිව්වට අතිරේක පෝෂණය ලබාදෙන ආහාර වර්ග ගතයුතු ක්‍රීඩකයොත් ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ ඉන්නවා නේ ද?

වෛද්‍යවරු වශයෙන් අපි ලබාදෙන නිර්දේශය තමයි සප්ලිමන්ට් එපා කියන එක. නමුත් කණ්ඩායම් ක්‍රීඩාවේ නියැලෙද්දී ඇතැම් ක්‍රීඩකයෝ මේ විධිහේ ඒවා ගන්නවා. ඒත් බොහෝදෙනෙක් මේ සප්ලිමන්ට් ගන්නෙම වැරදි විධිහට. උදාහරණයකට බරින් වැඩි ක්‍රීඩකයක්, බරින් අඩු ක්‍රීඩකයත් ගන්න සප්ලිමන්ට් මාත්‍රාව සමානයි. ඒක අහිතකරයි. එහෙම ගන්න ඒවත් උත්තේජක නැති ඒවා විය යුතුමයි.

 

 

ඡායාරූප - ජගත් ඉරෝෂණ

 

Comments