ඕස්ට්‍රේලියාවට පැමිණීමට ජූලියන් අසාන්ජ්ට අවසර | සිළුමිණ

ඕස්ට්‍රේලියාවට පැමිණීමට ජූලියන් අසාන්ජ්ට අවසර

දූෂණය සහ වංචාව යනු අද ලෝකයේ සෑම රටකම ඉතා සුලබ දෙයකි. කනගාටුව වන්නේ බොහෝ රටවල බලයේ සිටින ආණ්ඩු විසින්ම මහජන මුදල් සහ දේපළ කොල්ල කනු ලැබීමය. බලවත් රටවල් විසින් නොයෙක් උපාය උපක්‍රම යොදමින් දුප්පත් රටවල් මුල්‍යමය ආක්‍රමණයකට නතු කර ගනු ලැබීමය.

එමෙන්ම අමතක කළ යුතු නොවන අනෙක් කරුණ වන්නේ ලොව පුරා වංචාව සහ දූෂණය හෙළා දකින එයට එරෙහිව සටන් වදින ජනතාවද සිටින බවය. ඔවුන්ට බොහෝ විට දේශපාලනික අරමුණු වෙනත් යම් අරමුණු නොමැති බවය. හුදෙක් වංචාව සහ දූෂණය හෙළා දැකීම සහ රජයන් සහ තවත් සංවිධානගත පුද්ගලයන් විසින් සිදුකරන මෙවැනි ජඩ වැඩ වැළැක්වීම අරමුණු කර ගනිමින් තම ජිවිත පවා අනතුරේ හෙළීමට ඉදිරිපත් වන පුද්ගලයන් සිටින බවය. මෙවැනි පුද්ගලයන්ට ලොව පුරා සාධාරණයට පක්ෂ ජනතාවගෙන් ලැබෙන්නේ විශාල ධෛර්යයකි. එවැනි පුද්ගලයන් ඇසීමට ප්‍රිය කරන වදන් කිහිපයක් පසුගියදා ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් පවසා සිටියේය. ඒ ජූලියන් අසාන්ජ් නම් වූ දුර්ලභ මිනිසා සම්බන්ධයෙනි.

පසුගියදා පැවති සම්මුඛ සාකච්ඡාවට සහභාගී වෙමින් ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් පවසා සිටියේ තමන් කැමති ඔනෑම අවස්ථාවක ඕස්ට්‍රේලියාවට පැමිණීමට ජූලියන් අසාන්ජ්ට අවසර තිබෙන බවයි. එමෙන්ම ඔස්ට්‍රේලියාව ජූලියන් අසාන්ජ් සාදරයෙන් පිළිගන්නා බවද ඔහු පවසා සිටියේය.

අගමැති මොරිසන්ගේ මේ වචන ලොව පුරා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට ගරු කරන බොහෝ මිනිසුන්ගේ සිත් ප්‍රීතියෙන් පුරවනු නිසැකය. මන්දයත් ජූලියන් අසාන්ජ් යනු සමස්ත මිනිසුන් වෙනුවෙන් සත්‍ය හෙළි කිරීමේ ඉතා අභීත පියවරක් ගත් නිර්භීත මිනිසකු වන බැවිනි.

මේ වන විට අසාන්ජ් බ්‍රිතාන්‍යයේ සිගරතව සිටිමින් නඩු විභාගයකට මුහුණ දෙන අතර මෙවර එම නඩුවේ විනිසුරු අසාන්ජ්ට ඇප ලබා දීම සම්බන්ධව කිසියම් අවධානයක් දක්වා තිබේ. ‘තමන් නිසි මානසික තත්ත්වයක නොසිටින බව’ අසාන්ජ් විසින් අධිකරණය ඉදිරියේ කරුණු ගෙන එන ලදුව විනිසුරුවරයා එයට තම අවධානය යොමු කර තිබේ. ඒ අනුව ඔහුට ඉදිරියේදී ඇප ලැබේයැයි විශ්වාසයක් ඔහුට සහාය දෙන ජනතාව තුළ ඇති වී තිබේ.

මේ සම්බන්ධව අසාන්ජ්ගේ බිරිය සහ පුතුන් දෙදෙනා පවසා ඇත්තේ මේ පියවර තම සිත් ප්‍රීතියෙන් පුරවාලීමට සමත් නමුත් ඔහුට ඇප ලැබෙන තෙක් තම සතුට සම්පූර්ණ නොවන බවයි.

ඉක්වදෝර ආණ්ඩුව පෙරළීමෙන් පසු ඇමරිකාවට හිතවාදී ජනාධිපතිවරයකු තේරී පත්වූ බැවින් බ්‍රිතාන්‍යයේ ඉක්වදෝර තාතානපති කාර්යාලයේ ආරක්ෂාව ලබමින් සිටි අසාන්ජ්ට තවදුරටත් එම ආරක්ෂාව හිමි නොවන බව ප්‍රකාශ විය.

ඒ සමඟම බ්‍රිතාන්‍ය පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගන්නා ලද්දේ පසුගිය 2019 අප්‍රේල් මාසයේදීය.

එතැන් සිට මේ දක්වා ඔහු පසුවන්නේ බ්‍රිතාන්‍ය අත්අඩංගුවේය. ඔහුට මේ වන විට එල්ල වී ඇත්තේ කාන්තා අපචාර චෝදනාවකි.

එහෙත් සත්‍ය නම් ඇමරිකාවේ රහස් රැසක් සහ වංචා, දූෂණ රාශියක් තම විකිලීක්ස් වෙබ් අඩවිය ඔස්සේ හෙළි කිරීම හේතුවෙන් ඇමරිකාවට අසාන්ජ් ගෙන් පිරිමසා ගැනීමට විශාල වෛරයක් ඇති බවයි. ඔහු අත්අඩංගුවට ගෙන තමන් වෙත බාර දෙන ලෙස ඇමරිකාව ඉල්ලා සිටියද බ්‍රිතාන්‍ය කාන්තා අපචාර චෝදනා නඩුව මේ වන තෙක් බ්‍රිතාන්‍යයේදීම පසිඳමින් තිබේ.

ඕස්ට්‍රේලියා අගමැති ස්කොට් මොරිසන් අසාන්ජ් ඕස්ට්‍රේලියාවට සාදරයෙන් පිළිගන්නා බව පවසන්නේ මෙවන් වාතාවරණයක් යටතේය. ජූලියන් අසාන්ජ් උපතින් ඕස්ට්‍රේලියානු ජාතිකයකු වේ. ඒ අනුව සෑම ඕස්ට්‍රේලියානු ජාතිකයකුටම උපතින් තම මවු රටට හිමි අයිතිය ඔහුටද හිමි වන බව අගමැතිවරයා මෙසේ ප්‍රකාශ කර තිබේ.

මේ වන විට අසාන්ජ් ගේ හෙළිදරවු යල් පැනගොස් ඇති බැවින් මෙවන් වූ සුමට ප්‍රතිචාර ඔහුවෙත ලැබෙමින් පවතින බවට සිතිය හැකි වන්නේ මීට පෙර ඇමරිකාවේ දැඩි වෛරයට ඔහු පාත්‍ර වී සිටින අවස්ථාවේදී මේ කිසිඳු රටක් ඔහු බාර ගැනීමට ඉදිරිපත් නොවූ බැවිනි.

කෙසේ වුවද පසුගියදා අගමැති ස්කොට් මොරිසන් පවසා සිටියේ ලන්ඩන්හි පැවැත්වෙන නඩු විභාගයෙන් පසු අසාන්ජ්ට සිය රටට පැමිණීමට අවශ්‍ය නම් ඒ සඳහා ඔහුට කිසිඳු බාධාවක් නොමැති බවයි.

Comments