අතීතය විනිවිදුම-6
අතීතයේ ජීවත් වුණු ස්වදේශීය ජනයා තමන්ගේ ජීවිතයේ දීර්ඝ විවේක කාලය ගත කරන්න උපයෝගී කරගත්තේ ජන ක්‍රීඩාව තමයි. පුවත්පතක්, ගුවන්විදුලියක් එහෙමත් නැත්නම් රූපවාහිනියක් නොතිබුණු ගැමි සමාජයේ සන්සුන්භාවය එකාකාරිත්වයෙන් මුදාගන්න යොදාගත්ත ප්‍රධාන සමාජ මෙවලමක් විධිහට ජන ක්‍රීඩාව හැඳින්විය හැකියි. එමගින් ස්වදේශීය ජන සමාජය අතර සරල විනෝදාස්වාදයක් බෙදාදීම තමයි එකල සමාජයේ සෘජු අපේක්ෂාව වුණේ.
මේ අතර විවිධ අවස්ථාවන්හි දී විදේශීය පරසතුරු ආක්‍රමණයන්ට නතුවුණු ස්වදේශිකයන්ට තමන්ගේ සංස්කෘතිය ආරක්ෂාකර ගැනීමේ සුවිශාල අර්බූද පැන නැගුනා. එහෙම පැන නැගුනු අර්බූද වලින් මිදෙන්න නම් ඔවුන්ට ස්වදේශීය පාලනය යටපත් කළ විදේශීය පරසතුරු ආක්‍රමණවලට එරෙහිව සටන් කරන්නටත් සිදුවුණා. මේ වෙනුවෙන් ස්වදේශීය ජනයා තුළ සටන්කාමීත්වය ආරක්ෂා කරගැනීම තවත් අභියෝගයක් බව වැටහෙන විට ඔවුන් කළේ විවිධ ජන ක්‍රීඩා උපයෝගී කරගනිමින් මේ කියන සටන්කාමීත්වය තම ජනතාව තුළ රඳවා ගැනීමට කටයුතු කිරීමයි.
විදේශීය ආක්‍රමණ නිසා ඔවුන් අතර රණකාමිත්වය ආරක්ෂාවන ක්‍රීඩා සංවිධානය කිරීමට අපහසු වන බව ඔවුන් කල් යත්ම තේරුම් ගත්තා. විදේශීකයන් කිසිවිටකත් ඒ සඳහා ස්වදේශිකයන් දිරිගැන්වූයේ නෑ. ඒ ස්වදේශීකයන්ගේ දේශානුරාගය ගොඩනැංවෙන ජන ක්‍රීඩා මගින් තමන්ගේ පැවැත්මට අභියෝගයක් ඇතිවෙනවා කියලා ඔවුන් ඉතාම හොඳින් දැනගෙන සිටි නිසයි. කොහොම නමුත් අතීත වැඩවසම් සමාජය ඇතුළේ රණ ක්‍රීඩා විධිහට පිළිගත්ත ක්‍රීඩාවලට රහසිගත පැවැත්මක් නිර්මාණය වන්නේ අන්න ඒ කියන විදේශීය ආක්‍රමණ එක්කයි. ඒ කාලයේ රණ ක්‍රීඩා විනාශවී නොයන්න වෙනම ක්‍රමවේදයක් සකස් කරලා තිබුණා. එහි ප්‍රධානත්වය දැරුවේ ගජනායක නිළමේ විසිනුයි. ඔහුගේ යටතේ තමයි මුහන්දිරම්ලා, මොහොට්ටාලලා හිටියේ. වෙඩික්කාර, බොන්ඩිකුලා, කොඩිතුවක්කු, සුදලියේ හා මරුවල්ලියේ දුනුකාරයෝ, ඇත්පන්ති, අස්පන්ති හා ගව පට්ටියේ සුදුහරක් පට්ටිය, දඩ මීඩගොං පට්ටිය, ඔටු පන්තිය, කුක්කන් මඩුව, කුරුල්ලන් මඩුව හා රන් ආයුධ මඩුවේ ලේකම් හිටියේ ඉහත දක්වපු නිලධාරීන් යටතේයි.
මේ අතර සුදලියේ හා මරුවල්ලියේ යුද ආයතන දෙක ගැන බ්‍රිතාන්‍ය පාලන සමයේ සිටි සිවිල් නිලධාරියෙක් වුණු ජෝන් ඩේවි මෙසේ සඳහන් කරලා තිබෙනවා. “රටේ මුළු යුද සෙබළුන්ම මෙම දෙපාර්ශ්වයට බෙදලා තිබුණේ. එක කණ්ඩායමක ශූර සෙබළු අනෙක් කණ්ඩායමේ ශූරයින්ට සැමවිටම එරෙහිව සිටියා. අතින් පයින් එහෙමත් නැත්නම් කඩු පලිස් සහිතව හරි මුගුරු එක්ක හෝ ඔවුන් එකිනෙකා හා ද්වන්ද සටන්වල නිරත වුණා. ඇඟේ ලේ සෙලවෙන තුරු ඔවුන් රාජ සභාවලදී සටන් දස්කම් දැක්වූවා. ලේ වැගිරෙන විධිහට කළ සටන්, මිනිසුන් අතර කල් පවතින කල කෝලාහල ඇතිකිරීමක් වූ හෙයින් ඒවගේ අවි ගැටුම් පසුකාලීනව අතහැර දමන්න තීරණය කළා. සෑම කඩු හරඹ කණ්ඩායමකම හරඹාචාරීන් දස දෙනා බැගින් සිටියා. ශිල්පය ඉගෙන ගන්න කැමති ඕනෑම අයකුට ඔවුන් ශිල්පය ඉගැන්වූවා. '' කියායි.
රණ හරඹ ගැන තවදුරටත්...
කුසුමා අබේසිරිගුණවර්ධන










