මෝස්තර ලෝකය කැලඹූ පීටර් නිගාර්ඩ්ගේ වැඩ අවසන් | සිළුමිණ

මෝස්තර ලෝකය කැලඹූ පීටර් නිගාර්ඩ්ගේ වැඩ අවසන්

 කාන්තාවන් එක් අයකු හෝ දෙදෙනකු පමණක් නොව මේ වන විට කාන්තාවන් 53 දෙනකු ඔහුට විරුද්ධව සාක්ෂි ලබා දීමට පෙළ ගැසී සිටින්නෝය. පීටර් නිගාර්ඩ්ගේ ඉතිහාසය විමසන විට පෙනී යන්නේ මේ චෝදනා ඔහුට එතරම් ‘විශාල දේවල්’ නොවනු ඇති බවයි.

මන්ද යත් ඔහු සිදුකර ඇති විෂමාචාර ප්‍රමාණය අනුව ඔහුට චෝදනා හමුවේ සසල වන සිතක් ඇතැයි විශ්වාස කිරීම අපහසු බැවිනි.

 

ඔහු ආකර්ෂණීය චරිතයකි. ඔහු තම දක්ෂතාව මඟින් කාන්තා ලාලිත්‍යය, සුන්දරත්වය වඩාත් ඉස්මතුකොට පෙන්වීමට කටයුතු කළේය. එපමණක්ද නොව එමඟින් ඔහු ඉපයූ මුදල් සම්භාරයද අති විශාලය. එහෙත් සැබවින්ම ඔහු කනගාටුදායක චරිතයක් බව මේ වන විට ලොව හමුවේ හෙළිදරවු වෙමින් තිබේ. ඒ හුදකලා සිදුවීමක් සමඟ නොව කාන්තාවන් සිය ගණනකගේ කඳුළු කතාවන් රැසක්ද සමඟය.

ලෝක ප්‍රසිද්ධ මෝස්තර නිර්මාණ ශිල්පියකු වන පීටර් නිගාර්ඩ් සියල්ල අවසන අත්අඩංගුවේ පසුවන්නේය. ඔහු මෙතෙක් සිදු කළ සියල්ල වෙනුවෙන් අප්‍රසාදයම තිළිණ ලැබීමට ඔහුට සිදුවනු ඇත. ඒ ඔහුගේම නොහික්මුණු ක්‍රියා හේතුවෙන්මය.

පෙක්කා ජුහානි නිගාර්ඩ් හෙවත් පීටර් නිගාර්ඩ් උපත ලැබූවේ 1941 වසරේ ෆින්ලන්තයේදීය.

පසුව කැනඩාවට සංක්‍රමණය වූ ඔහු මෝස්තර නිර්මාණ ශිල්පයේ හිණිපෙත්තට නගින්නේ අති විශාල ආදායමක්ද සමඟිනි. අධ්‍යාපනය අතින් බැලූවද ඔහු සම්පූර්ණ වන්නේ ඇමරිකාවේ උතුරු ඩකෝටාහි විශ්වවිද්‍යාලයෙන් ලත් උපාධියත් සමඟිනි. ව්‍යාපාරිකයකු ලෙසින්ද ඔහුට මුහුණු රැසකි. මෝස්තර නිර්මාණ ශිල්පය පමණක් නොව ඇඟලුම් නිපදවීමේ කර්මාන්තයේද ඔහු හසළයෙකි. ඔහුගේ අවකල් ක්‍රියා හෙළිදරව් වී සිරගත වූ 2020 වසර වන විට ඔහු කැනඩාවේ ධනවතුන් අතර 70 වැනි ස්ථානයද හිමිකර ගෙන සිටියේය.

ඒ සියල්ල අවසන්ව දැන් ඔහු සිරගතව සිටින්නේය. කාන්තාවන් එක් අයෙකු හෝ දෙදෙනෙකු පමණක් නොව මේ වන විට කාන්තාවන් 53 දෙනෙකු ඔහුට විරුද්ධව සාක්ෂි ලබා දීමට පෙළ ගැසී සිටින්නෝය. පීටර් නිගාර්ඩ්ගේ ඉතිහාසය විමසන විට පෙනී යන්නේ මේ චෝදනා ඔහුට එතරම් ‘විශාල දේවල්’ නොවනු ඇති බවයි. මන්ද යත් ඔහු සිදුකර ඇති විෂමාචාර ප්‍රමාණය අනුව ඔහුට චෝදනා හමුවේ සසල වන සිතක් ඇතැයි විශ්වාස කිරීම අපහසු බැවිනි.

මෝස්තර නිර්මාණ ශිල්පියකු යනු සැබවින්ම පරිකල්පනයෙන් පොහොසත් පුද්ගලයෙකි. විකල්ප චින්තනයකින් තොරව මෝස්තර නිර්මාණයේ සාර්ථකත්වය අත්පත් කර ගත නොහැකිය. ඒ අනුව පීටර් නිගාර්ඩ් යනු අති විශිෂ්ට පරිකල්පනයෙන් යුක්ත පුද්ගලයෙකි. එහෙත් ඔහුගේ සැඟවුණු චරිතයට අනුව ඔහු සාතන්ගෙන් වරම් ලබා ගත්තෙකි.

අපචාර සම්බන්ධව ඔහුට ප්‍රථමයෙන්ම චෝදනා එල්ල වී ඇත්තේ 1980 තරම් ඈත කාලයේදීය.

කැනඩාවේ ෆ්‍රී ප්‍රෙස් නම් පුවත්පත හෙළිදරවු කර සිටියේ නිගාර්ඩ් 18 හැවිරිදි තරුණියක් අතවරයට පත් කර ඇති බවයි. ඒ සම්බන්ධව විනිපෙග්හි නඩු කටයුත්තක්ද පැවරුණු නමුත් නිගාර්ඩ් එයින් ගැලවීමට සමත්වූයේය. ඒ මුදල් විසි කිරීමෙනි. ඔහු අතවර චෝදනා එල්ල කළ තරුණියට මුදල් ලබා දීමෙන් එම චෝදනා තහවුරු කිරීමට පෙනී සිටීමෙන් වළකාලීමට සමත් වූයේය.

යළිත් 1990දී ඔහුට අතවර චෝදනා එල්ල වන්නේය. එවර කාන්තාවන් තුන් දෙනෙකු චෝදනා එල්ල කිරීමට එක්ව සිටි අතර එම චෝදනා වැඩි ප්‍රසිද්ධියකින් තොරව යට ගැසීමට නිගාර්ඩ් සමත් වූයේය.

ඔහු සතුව මුදල් බලය සහ කීර්තිය ඇති තරම් තිබිණි. අනික් අතට මෝස්තර නිරූපණයට එක්වන කාන්තාවන් සම්බන්ධයෙන් ලෝකය නිතරම බැලුවේ වපරැසිනි. විශේෂයෙන් අදින් වසර තිහ හතළිහකට පමණ පෙරදී එසේම විය.

ඒ අනුව නිගාර්ඩ් යළිත් වරක් වෙට්ටු දැමීමට සමත් වූයේය. ඔහු එලෙස චෝදනා එල්ල කරන්නන්ගේ කටවල් වසා දැමුවද ඔහුගේ පුරුදු අත්හැර දැමුවේ හෝ පාලනය කර ගත්තේ නැත. එබැවින් දිනෙන් දින ඔහුගෙන් පීඩාවට පත්වන කාන්තාවන් සංඛ්‍යාවෙන් වැඩි වන්නට විය.

මෙලෙස තරුණියන්, කාන්තාවන් අතවරයට පත් කිරීම සම්බන්ධව පමණක් නොව ඔවුන් තම මිතුරන්ට ලබා දීම, ව්‍යාපාරිකයන්ට ද තරුණියන් ලබා දීම සම්බන්ධව නිගාර්ඩ්ට චෝදනා එල්ල විය.

1999දී නිගාර්ඩ්ට විරුද්ධව සංගීතවේදිනියක් ඉදිරිපත් වූවාය. ඇය ලින්ඩා ලැම්පෙනිස් නම් වූ අතර, ඇය නිගාර්ඩ් කාන්තාවන් සමූහ වශයෙන් ගෙන නිරුවත් උත්සව පවත්වන බවට චෝදනා එල්ල කර සිටියාය.

ඇය නිගාර්ඩ්ගෙන් පීඩාවට පත් වූ කාන්තාවන් වෙනුවෙන් වසර දෙකක් පුරා තම නඩුව පවත්වාගෙන යෑමට සමත් වුවද ප්‍රතිපාදන නොමැති වීමෙන් නඩුව අත්හැර දැමීමට ඇයට සිදුවිය. යළිත් ජයග්‍රහණය නිගාර්ඩ්ගේ පැත්තේ විය.

2003 වසරේදී නිගාර්ඩ් ඇමරිකාවේ ෆ්ලොරිඩාහි උසාවියට කැඳවනු ලැබුවේ ඇමරිකානු යුවළක් විසිනි. ඔවුන් චෝදනා කර සිටියේ රැකියා ලබා දෙන බවට නිගාර්ඩ් විසින් තමන්ට වංචා කළ බවයි. මේ නඩුව 2007 වසරේදී සමතයකට පත් කිරීමට නිගාර්ඩ්ට හැකිවිය.

යළිත් 2005 වසරේදී ෆින්ලන්ත පුවත්පතක් නිගාර්ඩ්ගේ නිරුවත් උත්සව අවස්ථා සම්බන්ධව ලිපියක් පළ කර සිටියේ ජනප්‍රිය හොලිවුඩ් නිළි ජෙසිකා ඇල්බාගේ සම්මුඛ සාකච්ඡාවක්ද සමඟිනි. එහිදී ජෙසිකා ඇල්බා පවසා ඇත්තේ තමන් නිගාර්ඩ්ගේ මන්දිරයේ රූ ගත කිරීමක නිරත වී සිටියද එහිදී දක්නට ලැබුණු නොහික්මුණු ක්‍රියා හේතුවෙන් තමන් එම ස්ථානයෙන් පිටවී පැමිණි බවයි.

මෙවන් වූ අවකල් ක්‍රියා අතරට බදු පැහැර හැරීම සම්බන්ධ චෝදනාද නිගාර්ඩ්ට එල්ල විය.

ත්‍රස්ත කණ්ඩායම්වලට සහයෝගය දීමේ චෝදනා සමඟ මිනී මැරීමේ චෝදනාද එක පිට එක පැමිණියේ නමුත් ඒ සියල්ලෙන් මිදීමට නිගාර්ඩ් කෙසේ හෝ සමත් විය.

පසුකාලීනව ඔහුට පරපීඩා කාමයේ හැසිරීමේ චෝදනා එල්ල වන්නට වූ අතර 2008 වසරේදී ඔහුගේ පෙම්වතිය ලෙස තමා හඳුන්වා දුන් කාන්තාවක් තම අත හසුවන සේ ඔහු දොර වසා දැමුවේ යැයි චෝදනා කරමින් උසාවියට පැමිණියාය. නිගාර්ඩ් වහාම එම නඩුව සමතයකට පත් කර ගැනීමට කටයුතු කළේය.

එහෙත් 2015 වසරේ සිට ඔහුට ගැලවීමට නොහැකි තරම් චෝදනා එල්ල වන්නට වූ අතර ඇමරිකාවේ එෆ්බීඅයි බුද්ධි අංශය ඔහු දෙස ඇස ගසා සිටීම ආරම්භ කළේය. 2019 නොවැම්බර් මස 24 වැනි දින බහමාස් රාජ්‍යයේදී නිගාර්ඩ් 16 වියැති තරුණියන් කිහිප දෙනෙක් අතවරයට ලක් කළ බවට නිශ්චිත තොරතුරු තහවුරු කර ගැනීමට සමත් වූයේ තවදුරටත් ඔහුට ගැලවී යෑමට නොහැකි වන අන්දමිනි.

එතැන් සිට නිගාර්ඩ්ගේ අවකල් ක්‍රියා හෙළිදරවු වීම ආරම්භ වු අතර එහි අවසන් ප්‍රතිඵලය වූයේ පසුගිය 15වැනිදා ඔහු අත්අඩංගුවට පත්වීමය.

විශේෂයෙන්ම මේ වසරේ පෙබරවාරි මස ඔහුට එරෙහිව සාක්ෂි ලබා ගැනීම ආරම්භ වූ අතර කාන්තාවන් දිගින් දිගටම ඉදිරිපත් වෙමින් අතීතයේදී තමන්ට නිගාර්ඩ් හේතුවෙන් විඳින්නට සිදුවූ අතවර සහ අපහසුතා පිළිබඳ චෝදනා එල්ල කරන්නට වූහ.

එම චෝදනාවල බරපතළ බව හේතුවෙන් තම සමාගමේ සභාපතීත්වයෙන් ඉල්ලා අස්වීමට නිගාර්ඩ් සිදුවිය. ඒ පසුගිය පෙබරවාරි 22වැනිදාය.

කාන්තාවන් අතවරයට පත් කිරීම පමණක් නොව කාන්තාවන් මුදලට විකිණීම සම්බන්ධයෙන්ද නිගාර්ඩ්ට චෝදනා එල්ල විය. පසුගිය අප්‍රේල් 22 වැනිදා කාන්තාවන් 36 දෙනෙක් එකවර නිගාර්ඩ්ට චෝදනා එල්ල කළ අතර ඔවුන් සියලු දෙනා ඔහුට එරෙහි සාක්ෂිකරුවෝ බවට පත්වූහ.

මේ සියලු සාක්ෂි විමසීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගැනීමේ අවසර ලැබුණු අතර කැනඩාවේ විනිපෙග්හිදී පීටර් නිගාර්ඩ් අත්අඩංගුවට පත්විය. ඉදිරියේදී ඔහු ඇමරිකාවට බාර දීමට නියමිතය.

මෝස්තර ලෝකය කලඹමින් ඒ කීර්තියේ රැස් වළල්ලෙන් තම සල්ලාකම වසාගත් අවකල් ක්‍රියා රජෙක් එසේ වේදිකාවෙන් බැස ගියේය.

එහෙත් මුදල්, කීර්තිය සහ ජනප්‍රියත්වය බලාපොරොත්තුවෙන් මේ ලියන මෙහොත වන විටත් ලොව කිනම් හෝ තැනක කාන්තාවක් පීඩාවන් දරා ගනිමින් සිටිනවාට සැක නැත.

 

Comments