ලෝකය දකින්න දකින දේ | සිළුමිණ

ලෝකය දකින්න දකින දේ

හෙවිවේට් බොක්සිං ශූර මොහොමඩ් අලි (Muhammad Alli) විසු ඔහුගේ නිවස වෙන්දේසියේ විකිණීමට කටයුතු කොට ඇති බව පසුගිය දිනවල දී අන්තර්ජාතික ප්‍රවෘත්ති මාධ්‍ය සඳහන් කර තිබිණි. එය විය හැකි දෙයකි. එහෙත් ඔහුගේ ජීවිතය තුළ ඇතැම් විට විය නොහැකි දේවල් ද සිදු වී තිබේ. එසේ නොමැති නම් මොහොමඩ් අලිගේ ජීවිතය තුළ ඇතැම් විට සිදුවිය නොහැකි දේ ද සිදු වී නැතුවා ම නොවේ. මේ කතාව ඊට උදාහරණයකි.

ඒ කතාවේ එක් පසෙක සිටින්නේ ලෝක හෙවිවේට් බොක්සිං ශූර කැෂියස් ක්ලේ (ඔහුගේ මුල් නම) ය. අනෙක් පස සිටින්නේ පසුව ලෝක රොක් සංගීත කිරුළට හිමිකම් කී 'බීට්ලස්' සංගීත කණ්ඩායම ය. මේ දෙපාර්ශවය ම එවක වයස විසි ගණන්වල පසු වු තරුණයෝ වුහ. විශේෂයෙන් ම 'කැෂියස් ක්ලේට' මේ සිද්ධිය වන විට වයස අවුරුදු විසි දෙකකි.

ඒ 1964 වර්ෂය යි. සිය සංගීත ප්‍රාසාංගික රූ ගත කිරීම මුල් කොටගත් සංදර්ශනයක් වෙනුවෙන් දින 11 ක සංචාරයක් සඳහා 'බීට්ල්ස්' අමෙරිකාවට පැමිණ සිටියේය. හෙවිවේට් බොක්සිං ශූරතාව වෙනුවෙන් සනී ලීස්ටන් හා තරග වැදීමට කැෂියස් ක්ලේ සුදානම් වෙමින් සිටියේ ය. ඒ අමෙරිකාවේ මියාමි ව්‍යායාම් (ජිම්) ආයතනයේ ය. බීට්ල්ස් හා කැෂියස් ක්ලේ හමුව සුදානම් කොට තිබුණේ ද එහි ම ය. ඒ අනුව තරුණ සංගීතවේදීන් සිව් දෙනා එහි ගිය හ.

එහෙත් ඒ මුල් අවස්ථාව අවාසනාවක් ම වුයේය. බීට්ල්ස්ලාට මුලින් ම හමු වුයේ පුහුණු වීමේ කටයුතුවල යෙදී සිටි ලිස්ටන් ය. මේ සුදු තරුණයන් දකිත් ම ඔහුගේ දෙනෙතින් පළ වුයේ මෘගයෙකුගේ බැල්මකි. ඔහුගේ හැසිරීම ද තිරිසනෙකුගේ මෙන් වු අතර හෙතෙම ඔවුන් අතරට පැන්නේ මෙසේ කෑ ගසමිනි.

“බැළ මෙහෙවරකාර සුදු පාට යුදෙව්වොත් එක්ක එකට ඡායාරූපයකට ඉන්න මට ඕන කමක් නෑ. කළු යුදෙව්වෝ, කළු ක්‍රිස්තියානිකාරයෝ, සුදු යුදෙව්වෝ, සුදු ක්‍රිස්තියානි කාරයෝ මුංව සහමුලින් ම වනසන්න ඕනෙ.' ලිස්ටන් එසේ පවසා නැවතුණේ නැත. ඔහු බීට්ල්ස්ලාව ව්‍යායාම් බිමෙන් එළියට පළවා හැරීමට ද කටයුතු කළේ ය.

තමන් ට මුහුණපාන්නට සිදු වු මෙම තර්ජනය හමුවේ තරුණ සංගීතවේදීන් සතරදෙනා පුදුමයට පත් වුහ. ඔවුහු සිය මිත්‍රශීලි ගමන තුළ එවැනි ප්‍රතිචාරයක් කිසිසේත් ම අපේක්ෂා නොකළහ. නමුත් තත්වය බැරෑරුම් ය. ඔවුහු පසුබසින්නට වුහ. නමුත් 'යන්න එපා' යි කිසිවෙක් හඬ නගනවා ද ඒත් සමගම ඇසුණි. ඒ කැෂියස් ක්ලේගේ හඬ ය.

'මා වෙතට එන්න. මා සමග සිටිනතුරු ඔබ ආරක්ෂිතයි.' පසුව ඔහු මෙසේ ද පැවසී ය. 'ලිස්ටන් එහෙම කියලා තියෙන්නෙ ඔබ බිය ගන්වන්න. ජිම් එකට එන එක නවත්වන්න.'

ලොවක් සොළවන්නට සමත් වූ හෙවිවේට් ශූරයාගේ ඒ ආමන්ත්‍රණය නිසා උපන් සැනසිල්ලෙන් යුතු ව තරුණ සංගීතවේදියෝ ද සිය හැගීම් පළ කිරීමට උත්සුක වුහ.

'අපි කැමතියි ඔබ වගේ ම ජනප්‍රිය වෙන්න. ඒ නිසා අපි කැමතියි ඔබත් සමග ඡායාරූපයකට පෙනී සිටින්න.' කැෂියස් ක්ලේ ඊට අකමැති වුයේ නැත.

එය ප්‍රීතිමත් විනෝදශීලි හමුවක් ම වුයේ ය.

සංගීත කණ්ඩායමේ සිටි අලංකාරවත්, කඩවසම් තරුණයා වු පෝල් මැකාත්නි දෙස බැලු කැෂියස් ක්ලේ ඔහු කඩවසම් අලංකාර තරුණයෙකු බව පිළිගත්තේ ය. 'ඒත් මං තරම් ලස්සන නෑ.' යන්න ද ඔහු ඊට එක් කළේ ය. කෙසේ හෝ වේවා විසි දෙහැවිරිදි බොක්සිං ශූරයා පිටුපසින් විසි ගණන්වල ම සිටි සංගීතවේදීන් හතර දෙනා ඇදී ගියේ පාසල් සිසුන් වගේ යැයි මාධ්‍යවේදියකු පවසා තිබේ.

ලෝක බොක්සිං ශූර අලි මෙම හමුවේදී තම මිතුරන් හතර දෙනාට උපදෙසක් දීමට ද අමතක කොට නැත. එය මෙසේ ය.

'ඔබ දකින්න. දකින දේ ගැන ගොළු නොවන්න.' ඇත්ත වශයෙන් ම බීට්ල්ස්ලාගේ ගීත අසා පුරුද ඕනෑම අයකු පිළිගන්නා දෙයක් තිබේ. ඒ ඔවුන්ගේ ගී වල පවත්නා සමාජ විවේචනාත්මක ගුණය යි.

පසුව ඒ සිද්ධිය සම්බන්ධයෙන් පුවත්පත් කලාවේදීන් හමුවේ කැෂියස් ක්ලේ මෙසේ පැවසී ය.

'ලිස්ටන් දැනගත යුතුව තිබුණා බීට්ල්ස්ලා ආවේ මාව හම්බ වෙන්නය කියන කාරණය. ඔහු පිස්සෙක් වගේ හැසිරිලා තියෙනවා. මම ඔහු ව බිමට ම දැම්මා.'

(ඇත්ත වශයෙන් ම හෙවිවේට් බොක්සිං ශූරතා මහා සටනේ දී කැෂියස් ක්ලේ සිය ප්‍රතිවාදියා වු ලිස්ටන් ව සයවන වටයේ දී පරාජය කළේ ය. තෙවැනි වටයේ දී ඔහුව බිම (නොක් අවුට්) දැමී ය.

බීට්ල්ස් සංගීත කණ්ඩායමේ ජෝර්ජ් හැරිසන් ප්‍රකාශ කළේ එම හමුවීමෙන් ඔවුන් මහත් ප්‍රසිද්ධියක් ලැබූ බව ය. මොහොමඩ් අලි මියගිය පුවත ඇසූ බීට්ල්ස්හි පෝල් මැකාත්නි සිය වෙබ් කලාපයෙන් ඔහුට සිය ආචාරය පුද කළේ මෙසේ ය.

'මම ඒ මිනිසාට ආදරය කරමි. මියාමිහී දි වූ ඒ පළමු හමුවේදී ම ඔහු, තමන් විශිෂ්ටයකු බව පළ කළේ ය. ඔහු විශිෂ්ට බොක්සිං ශූරයෙකි. එමෙන් ම උසස් මානව සංවේදිතාවයක් තිබු කදිම මහත්මයෙකි.'

'විශිෂ්ටයා නම් මම වෙමි.' කැෂියස් ක්ලේ එසේ පවසා තිබේ.

'මම ලෝකය සෙලවුයෙමි.' යන්න ද ඔහු ඊට එකතු කොට තිබේ. බීට්ල්ස්හි ඩ්‍රම් වාදක රින්ගෝ ස්ටාර්ර් එය (I am the Greatest) ගීතයක් ලෙසින් ගැයුවේ ය. ගීතය ලියුවේ ජෝන් ලෙනන් ය.

මේ සියල්ලෙන් හකුලා දක්වන්නට හැක්කේ මොහොමඩ් අලී නැතහොත් කැෂියස් ක්ලේ යනු විශිෂ්ට ක්‍රීඩකයකුට වඩා අති විශිෂ්ට දාර්ශනික චින්තාවලියකින් හෙබි අසමසම මිනිසකු බවය.

'සැබැවින්ම ලෝකයට අහිමි වූයේ විශිෂ්ට මිනිසෙකි.'

 

Comments