දේශීය පොර කුකුළු උණෙන් සුද්දෝත් පවුම් උපයති | සිළුමිණ

දේශීය පොර කුකුළු උණෙන් සුද්දෝත් පවුම් උපයති

පොර කුකුළු ක්‍රීඩාව කොතෙක් ජනප්‍රිය ක්‍රීඩාවක් වුණාද කියනවා නම් 1768 තරම් ඈත කාලයේ දී මෙරට මුහුදු බඩ පළාත් පාලනය කරපු ලන්දේසීන් කොළඹ කුකුළු පොර කෙළි වෙනුවෙන්ම විශේෂ බලපත්‍ර නිකුත් කළා. ඒත් උත්සව කාල තියෙද්දී ඕනෑම කෙනෙකුට විශේෂ බලපත්‍ර නැතුව ඕනෑඹ කෙනෙකුට මේ කටයුත්ත සිදු කළ හැකිව තිබුණා. මේ බව ලංකාවේ ඕලන්ද බලය නැගීම කියන කෘතිය ලියන පී.ඊ. පීරිස් මහත්තයා ලියා තිබෙනවා.

ඒ බර්ට්ලොඩ්ගේ ලංකාව හැඳින්වීම කියන පොතේ කියන්නේ සුද්දෝ වාර්ෂිකව රික්ස් ඩොලර් කියන මුදල් ඒකක දසදහසක් කුකුල් පොරකොටු බදු වශයෙන් එකතු කරගත් බවයි. රැවෙන්බජර්ගේ වාර්තාවට අනුව 1833 වසරේදී ඉංග්‍රීසින්ට මේ පොර කොටු බලපත්‍ර අලෙවිකරණ වැඩෙන් පවුම් 344 සිලිම් 10ක ආදායමක් සොයාගැනීමට හැකිවී ඇතැයිද කියෙනවා. ඒ විතරක් නම් මදැයි 1847 අවුරුද්දේ පියර්ස් ඊගන් කියන ලේඛකයා ලියූ ක්‍රීඩා නමැති පොතෙන් ලංකාව ඇතුළේ කුකුල් පොර කෙටවීම සීඝ්‍රව සිදුවූ බවත් සඳහන් කෙරෙනවා.

හැබැයි අතීත ගැමියා තමන්ගේ පොර කුකුළා තමන්ම පුහුණු කරගත්තා. උන්ට කදිරා, රසම්බා, හීන්, පොඩියා, වල්ලියා වගේ නම් තැබූ බවයි කියැවෙන්නෙ. ඒ විතරක් නොවෙයි පොර කුකුළු බිත්තර පොර කිකිළියක ලවා රක්කවන්නේ සිවලකුගේ හමක් උඩ තබලා ලු. එහෙම රැක්කෙවුවාම ප්‍රතිවාදියාට බියගෙන දෙන්නේ සිවලා වගෙයි.

කුකුල් නාම්බා ගොළු හඬලන්නට පටන් ගත් පසුව රංචුවෙන් වෙන් කරලා තනිකරනවා. උගේ කකුල්වල වගේම බෙල්ලෙ තියෙන පිහාටු ගලවලා බත් පිඟාන සෝදලා ගන්න ඉඳුල් වතුරෙන් නාවනවා. ඒ වගේම මස් පිඬු තලලා ශක්තිමත් කරනවා කියලා ‘සිංහල පොර කුකුළා ග්‍රන්ථය ලියපු පී.ඒ.පී. දැරණියගල මහතා කියා තිබෙනවා. එහෙම කරලා නිකං ඉන්නෙ නෑ. ඌට වී, කඩල, කුරක්කන්, සූරියකාන්ත මල් ඇට, මුරුංගා වගේම ඉරිඟු වගේ ධාන්‍ය ආහාර ලබාදෙනවා. බෙහෙත් කොළ වර්ගත් අතරින් පතර මේ විදිහට දෙන ආහාර වේලට එකතු කරන්න අමතක කරන්නෙ නෑ. ඒ විතරක් නොවෙයි අමු බිත්තර, අමු ඉස්සෝ, තලගොයි මාලු වගේම තල තෙලේ බැදපු රෝ, අමු මස් පවා කවන්නේ පොර කුකුළාගේ කායික, මානසික ශක්තිය ඇති කරන්නයි. මේ දේවල් අපට කියවන්න හැකියාව ඇත්තේ අර මම ඉස්සෙල්ලා කියපු පොර කුකුළු ග්‍රන්ථය පරිශීලනය කරලයි.

පොර කුකුලාගේ පොරකටු වැඩෙන්න පටන්ගත්තාට පස්සේ උගේ පිහාටු ගලවනවා. ගෙල පිටිපස්සෙ පිහාටු ඉතිරි කරලා බෙල්ල මුල පියාපත්, පපුව, ගාත් වගේ තැන්වල තිබෙන පියාපත් මුළුමණින්ම ගලවනවා. ඊට පසුව තමයි නියම පොර පුහුණුව ලබාදෙන්නෙ. වෙනත් කුකුල්ලු එක්ක පොරවදින්න දීලා, පිනුම් ගස්සවලා, පිහිනන්න දමලා හුරු කරලා ඇඹුල් හොඬරවාලු ගෙඩි දෙකක් දමලා, පොල් හකුරු, රතු ලූණු මිශ්‍රකළ තනාගත් විරේකයක් ඉඳහිට දෙනවා. අර උදුරලා දාපු පිහාටු වැඩුණට පස්සේ තමයි තවත් පොර කුකුළෙක් හා සටනට යොදවන්නේ. ඒකට කියන්නේ නලවනවා කියලයි. සටනින් පස්සේ කුකුළාගේ උගුරේ හිරවුණු සෙම තිබෙනවා නම් ඒවා ඉවත් කරන්නෙ හොට ඇතුළට වතුර දාලා එසැණින් හිස පොළොව දෙසට හරවා ගෙල පිටිපස්සට හෙමින් තට්ටු කිරීමෙනුයි. ඒ වගේම සටනේදී වූ තුවාල උණු අළුවලින් තවලා, දිවිකදුරු කිරි දමනවා.

සටනට ඉස්සෙල්ලා දිනයේ එළු ඇල දිවක් කෑමට දෙනවා. සටනට ඉස්සෙල්ලා ලැබෙන අන්තිම ආහාර වේල වන්නේ පිට්ටු, බිත්තරයක්, අරක්කු ටිකක්. හැබැයි වතුර දෙන්නේ අඩුවෙන්. මේ විධිහට සටනට යන පොර කුකුළා පහරෙන් දෙකෙන් සිය ප්‍රතිවාදියාව මරා දමන අවස්ථා තිබෙනවා. එහෙම නැත්නම් පැයක්, දෙකක් සටන ඇදෙන අවස්ථාත් නැතිවා නොවෙයි. ප්‍රතිවාදියාගේ ඇ ඟට පැනලා ඒහෙම නැත්නම් ඉහළ අසට පීනලා, ප්‍රතිවාදියා ම ඟ හැරලා සටන් කරන බවයි කියැවෙන්නෙ.

ලබන සතියට ඇ ඟ පොර අල්ලමු

 

 

Comments