ලෝකයේ දකින්න කැමැතිම ගැහැනිය මගේ අම්මා | සිළුමිණ

ලෝකයේ දකින්න කැමැතිම ගැහැනිය මගේ අම්මා

වයස අවුරුදු 15න් පහළ, 17න් පහළ හා 19න් පහළ යන කාණ්ඩ ත්‍රිත්වයෙන්ම ජාතික කණ්ඩායම නියෝජනය කර ඇති සුජාන් අද වන විට ජාතික කණ්ඩායමේ නිත්‍ය දැල් රකින්නා ලෙස කටයුතු කරයි.

කළුතර ක්ලබ් ඊගල්ස් පාපන්දු ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කරමින් ජාතික තලයට ඇතුළත් වු ඔහු වසර කිහිපයක් මාලදිවයින් ලිග් තරගාවලිය නියෝජනය කර අත්දැකිම් සමුදායකින් පෝෂණය වු ක්‍රීඩකයෙකී. 2016 වසරේ දක්ෂතම දැල් පන්දු රකින්නා ලෙස මාලදිවයින් ලිග් තරගාවලියේදී දක්ෂතා ප්‍රදර්ශණය කළ සුජාන් පෙරේරාගේ පෞද්ගලික ජීවිතය අළලා සිදුකරන කෙටි පිළිතුරු ඇතුළත් විශේෂාංගයයි මේ.

පිටියෙන් පිටතදී අපි සුජාන්ව හඳුනාගත යුත්තේ මොන විධිහටද?

ක්‍රීඩාවට ලැදි, සාමකාමී පුද්ගලයෙක් වශයෙන් තමයි.

ඔබ ඉපැදුණේ?

1992 ජූලි 18 වැනිදා.

ඉපැදුණේ කොහේද?

අලුත්ගම.

පවුල ගැන විස්තරයක් දැනගන්න කැමතියි?

මම විවාහකයි. ඉතින් දැන් මගේ පවුලේ ඉන්නේ මමයි, මගේ බිරිය මලීෂායි මගේ දුව එලීෂායි.

පවුලේ සමාජිකයන් ගැන කතාකළොත්?

අයියයි, අක්කයි, අම්මයි, තාත්තායි මට ඉන්නවා.

මොනවද ඔවුන් කරන්නෙ?

මගේ පියා මූර්ති හා කැටයම් ශිල්පියෙක් වශයෙනුයි කටයුතු කරන්නෙ.

පාපන්දු ක්‍රීඩාව නැතිව ඔබ කැමැති මොනවගේ දේවල්වල නිරත වන්නද?

මම පිහිනන්න කැමතියි. ඒ් වගේම ශාරීරික ව්‍යායාම්වල නිරත වෙන්න, කුමන හෝ ක්‍රීඩා අභ්‍යාසයක් කරන්න මම හුඟාක් කැමතියි.

කැමති දේවල් වගේම අකමැති දේවලුත් ඇතිනෙ?

විශේෂයෙන් අකමැතියි කියලා හිතාගෙන ඉන්න දේවල් නම් නෑ. නමුත් මගේ පුද්ගල නිදහසට බාධාවන අයුරින් කටයුතු කරන අයට අකමැතියි.

රූපවාහිනිය බලනවා ද?

රාත්‍රියට විවේක ගන්නෙ රූපවාහිනිය එක්ක තමයි.

හැමදේම බලනවද නැත්නම් තෝරා බේරාගෙන රූපවාහිනිය නරඹනව ද?

මම නම් ටෙලිනාට්‍ය බලන්නේ නෑ. නමුත් ලෝක ප්‍රිමිය ලිග් පාපන්දු තරග නරඹනවා.

කැමැතිම පොතක් ගැනවත් මතක නැද්ද ?

එහෙමත් නෑ.

සිනමාවට තිබෙන ආකර්ශනය කොහොමද ?

වැඩියි.

මොනවගේ සිනමා පටවලට ද ඔබ වඩාත් කැමති?

හොලිවුඩ් සිනමාවට සම්බන්ධ චිත්‍රපට බලනවා.

සංගීතය සම්බන්ධයෙන් කැමැත්ත ගැන කතාකළහොත්?

විශේෂ කැමැත්තක් නම් නෑ.

ඒ කියන්නේ විශේෂයෙන් තෝරාගෙන අහන සිංදු එහෙමත් නැතිව ඇති ?

ඔව්. ඇහෙන දෙයක් අහනවා මිසක් පන්නාගෙන ගිහින් ගීත අහන්නෙ නෑ.

ඔබේ ජීවිතයේ පරමාදර්ශී චරිත තියෙනවාද ?

සෝන්ඩර්ස් පාපන්දු ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළ අසංඛ විරාජ් තමයි මගේ පරමාදර්ශී චරිතය වුණේ.

ඇයි ඒ?

ඹහු පාපන්දු ක්‍රීඩා කරනවා දැකලා තමයි මට පාපන්දු ක්‍රීඩාවට විශේෂ ඇල්මක් ඇති වුණේ.

ඔබ විදේශගතවන කෙනෙක්. ඒ වගේ සංචාරවලදී විවිධ රට රටවල දැකපු හිතේ තදින් රැඳුණු හොඳ දේවල් මොනවාද?

එහෙමත් නෑ. මොකද මට රට රට වල සංචාරය කිරිමට අවස්ථාව හිමි වුණේ ක්‍රීඩාව නිසයි. ඒ නිසා රට වල සංචාරය කළත් අපට ඒ ඒ රට වල වැඩිය ඇවිදින්න ලැබුණේ නෑ. ඒ් නිසා ලොකු දෙයක් ඔළුවේ රැඳුණෙත් නෑ

ආදරය ගැන මොනවද හිතෙන්නේ?

ආදරය හොඳයි. එය අවංක විය යුතුයි.

විවාහය ගැන?

මම නම් ආදරයෙන් තමයි විවාහය ගොඩනගා ගත්තේ.

බිරිය ගැන කතාකරන්න කැමතිද?

ඇය හොඳින් මාව තේරුම් ගත් කෙනෙක්, ඒ වගේම යහපත් සහකාරියක්.

අද විවාහ වන වේගයටම ඒ්වා ලිහෙනවා. ඒ ගැන මොකද හිතන්නේ ?

ඔව්. ඒ එකිනෙකා ගැන නිසි අවබෝධයක් නොමැති නිසා ඇතිවන තත්ත්වයක් කියලයි මගේ හැඟීම.

ඹයා අද සිටින තත්ත්වය ගැන සතුටු ද?

ඇත්තෙන්ම සතුටුයි.

ඒ්ත් ඔබේ වයසේ ඉන්න හැමෝටම සුජාන් වගේ ඉදිරියට එන්න බැරිවෙනවා නේද?

මගෙත් එක්ක සිටි මගේ යහළුවන් හැමෝම ඔවුන්ගේ මාර්ග සොයා ගත්තා. ඒ නිසා මට නම් හිතෙන්නේ අපි අතර ලොකු වෙනසක් නැහැයි කියලයි.

උත්සාහය-උනන්දුව තියෙන අයට අවස්ථාව තියෙනවා කියල ද ඔබ කියන්න හදන්නේ ?

උත්සහය - උනන්දුව පමණක් තිබිලා මදි. පුද්ගලයකු වශයෙන් ජීවිතය පුරාම හොඳ කැපවීමක් අවශ්‍යයි. එතකොට තමයි සාර්ථක වෙන්න හැකිවෙන්නේ.

ඔබ මිත්‍රශීලී පුද්ගලයෙක් ද? ඒ කියන්නේ ඇසුරු කරන යහළු යෙහෙළියෝ ඉන්නවාද?

පාසල් කාලයේ සිටි යහළුවෝ හා යෙහෙළියෝ තවමත් මා සමග සිටිනවා.

ඔය පරණ යහළු යෙහෙළියෝ හම්බ වෙනවා ද?

මා සමග සිටි ගමේ යහළුවන් මට නිතර හමුවෙනවා. ඒ වගේම අනෙත් යහළුවන්ද හැකි හැම අවස්ථාවකම මුණ ගැහෙනවා.

ඔවුන්ට ඔබ ගැන තියෙන්නේ මොනවගේ හැඟීමක් ද?

ඔවුන්ට මා ගැන සතුටක් තියෙනවා. ඒ් වගේම ඉදිරියට යන්න ඔවුන් නිරතුරුව මාව දිරිමත් කරනවා.

ඉගෙන ගත් පාසල?

කළුතර සිරිකුරුස විද්‍යාලය,

ඉස්කෝලේ යන කලේ අමතක නොවනම විෂය වුණේ?

ගණිතය විෂයට තමයි මම වැඩිය කැමති.

ඒ කියන්නේ උසස් පෙළ කළේ ගණිත විෂය ධාරවෙන් ද?

ගණිතය විෂයෙන් ඉදිරියට යන්න බැරි වුණා, නමුත් මම වාණිජ්‍ය අංශයෙන් තමයි ඉදිරියට ගියේ. එම විෂය ධාරාවටත් ගණිතය පිටිවහලක් වුණා.

ඔබ කොළඹ දකින්නේ කොහොමද?

හොඳ නගරයක්, දියුණු විමට අවස්ථාව හිමි නගරයක්.

අපේ රටේ දරුපරපුර ගැන හිතන්නේ කොයි විධිහටද?

ඔවුන් දක්ෂයි, ඒ වගේම අද ළමයින්ට විවිධ අවස්ථාවන් ලැබී තිබෙනවා. ඔවුන්ට පාසල් අධ්‍යාපනය, පොතේ පතේ අධ්‍යාපනය පමණක් නොවෙයි. විවිධ වෘත්තීය අධ්‍යාපනික අවස්ථාවන් ලබාගන්න හැකියාව ලැබී තිබෙනවා.

සුජාන් ජීවිතයේ වැඩිපුර යන්න කැමති තැනක් තියෙනවද ?

ඹව්, මී මූරේට යන්න මම කැමැතියි.

ලෝකයේ එහෙම තැන් තියෙනවාද?

ප්‍රංශයට යන්න කැමැත්තක් තියෙනවා.

ඔබ විශේෂයෙන් කැමති ගැහැනු හෝ පිරිමි චරිතයක් ඉන්නවාද?

මගේ අම්මා. ඇය තමයි මම ලොකේ වඩාත්ම දකින්න කැමැති ගැහැනිය.

ඔබගේ ජීවීතයටත් සිහින අපේක්ෂා ඇති ?

සත්තකින්ම.

එහෙම දකින ලොකුම හීනෙ මොකක් ද ?

මගේ හීනය කවදා හරි දවසක ආසියානු මට්ටමෙන් හරි පාපන්දු ලීග් තරගාවලියකට තරග කරන්නයි.

 

Comments