පොර කෑම සහ හොරා කෑම | සිළුමිණ

පොර කෑම සහ හොරා කෑම

අපේ රටේ ලොකු අවධානයක් නොලැබුණ ක්‍රීඩා අතරට ලිහාගන්න බැරිව ගැට පටලවාගන්න කරන ක්‍රීඩාව අයත් වෙනවා. ක්‍රීඩාව පැත්තෙන් බලද්දී අවධානය නොමැතිවීම පාඩුවක් වුණාට සමරහක් හිටපු නිලධාරීන්ට නම් එය ලොකු වාසියක් වුණා කියල කතා බහක් තිබෙනවා කියන්නෙ.

මොකද අවධානය නැති නිසා හොඳ ප්‍රචාරණයක් නැති වුණහම වංචා දූෂණ වලට වුණත් කිසිකෙනෙක් ගෙ අවධානය යොමුවන්නේ නෑලු. ඒ නිසා ක්‍රීඩකයෝ පොරකන අතරේ නිලධාරීන්ගෙන් ඇතමෙක් සද්ද බද්ද නැතිව හොරා කන්න පටන් අරගත්තලු.

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට පාවහන් ගන්න ක්‍රීඩා අමාත්‍යංශය ලැබුණු මුදල් වලින් තුනෙන් එකක් වියදම් කරලා බාල සපත්තු ගත්තාය කියලත් කියැවෙනවා. සාමාන්‍යනේ රුපියල් පහළොස්දහසක සපත්තු යුවලක් වෙනුවෙන් මුදල් වෙන්වුණාට සම්මේලනයේ නිලධාරියෝ රුපියල් පන්දහස ගාන් සපත්තු ජෝඩු 21ක් අරගෙන අමාත්‍යංශයට හොරෙන් කනෙන් රිංගලා කියල කතාවක් තියෙනවා.

ඒ විතරක් නම් මදෑ 2017,18,19 වසරවල අයවැය විගණනය කරලා කලට වේලාවට මහ සභාවට දාලා අනුමත කරගෙනත් නැහැලු. 2019 අයවැය වාර්තාවට අත්සන් කරලා තියෙන්නේ 2020 පත්කරගත්ත තාවකාලික නිලධාරී මණ්ඩලයේ සහාපති හා ලේකම් කියලත් ආරංචියි. එහෙම කරලා තියෙන්නේ නොදන්න කමටද, නැත්නම් නැණ පමණ අනුවද කියන්න නම් දන්නේ නෑ.

විදුලි උපකරණ අලෙවි ආයතනයකින් මිලදී ගත්ත විදුලි උපකරණ කීපයක් එක්තරා නිලධාරියෙක් පෞද්ගලික ලිපිනයට එයාගේ නමින් මිලදී අරගෙන තියෙන්නේ සම්මේලනයේ සල්ලි වලින්ලු. අනේ මන්දා? සාමාන්‍යයෙන් රාජ්‍ය ප්‍රතිපාදනවලින් යම් මිලදී ගැනීමක් කරද්දී ගතයුතු නිශ්චිත ක්‍රියාපටිපාටියක් තිබෙනවානෙ. මිල ගණන් කැඳවලා, කළමනාකරණ සභාවෙන් අනුමැතියක් අරගෙන එහෙම ඒ කටයුත්ත සිද්ධ වෙන්න එපායැ. ඒත් මේ නිලධාරීන් ඒ කිසිදෙයක් දන්නෙ නෑ කියන්නෙ. පව් අප්පා.

ඒ විතරක්ද සම්මේලනයේ නමට නැති බඩු සම්මේලනයේ තියාගන්න ඕනැ නෑ කියලා හරි ගෙදර ඉඳන් වැඩකරනවා කියලා හරි හිතලා ඒ බඩු භාණ්ඩ ටික ගෙවල්වල ගබඩා කරගෙන කියලත් කියැවෙනවා. අන්තිමට පවත්වන්න හිටපු නිලවරණයටත් බාල්දියක් වැටිලා වැඩේ කල් දමලා. ඒ බාල්දිය දාලා තියෙන්නේ අගනුවරිනුයි, මහනුවරනුයිලු.

වැඩේ තියෙන්නේ ඒ විධිහට නිලවරණ අත්හිටුවලා විතරක් මේවා නවත්වන්න බෑ. මේ කියන චෝදනාවල ඇත්ත නැත්ත සොයලා, පරීක්ෂණයක් එහෙම පවත්වලා වැරදි කරුවෝ ඉන්නවා නම් දඬුවම් දෙන්න ඕනෑ. එහෙම නැත්නම් මේ චෝදනා අසත්‍ය ඒවා නම් තැන්තැන්වල ගස් බෙණවලට මේ වගේ බොරු කිය කිය යන කට්ටියට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගන්න ඕනෑ.

කොහොම හරි මේ චෝදනා පරීක්ෂා කරන්න කියලා අමාත්‍යංශය පත්කළ ත්‍රිපුද්ගල කමිටුවක් දබර ඇඟිල්ල දිගුකරලා තිබුණේ නම් හිටපු පරිපාලනයටමයි කියලයි ආරංචියි. අපි තවම හරියටම ඇත්ත නැත්ත දන්නෙ නෑ ඕං. ඒ හරි වැරැද්ද හරියටම කියලා වැරදි තැන්වලට දඬුවම් දෙන එක ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ වැඩක්ය කියලා තමයි හැමෝම කියන්නේ. එහෙම නැත්නං ඉතිං සොරි තමයි ඈ.

 

Comments