
හ්රිස්ටෝ ස්තොයිච්කො (Hristo Stoichkov) යනු බල්ගේරියාව එදා මෙදා තුර බිහි කළ ශූරතම වෘත්තීය පාපන්දු ක්‍රීඩකයා ය. ඔහු හා සම වෙනත් ඉදිරිපෙළ ක්‍රීඩකයෙක් එකල යුරෝපා කලාපයෙන් සොයා ගැනීම නිකිණි සොයනවා හා සම විය. වරෙක ඔහු තවත් පාපන්දු ක්‍රීඩකයෙක් පිළිබඳ මෙලෙස පැවසීය.
'මා ක්‍රීඩා කළ සමයේ ක්‍රීඩා ලෝලීන් පැවසුවේ මා නතර කළ හැක්කේ පිස්තෝලයක් ඇතොත් පමණක් යැයි කියායි, එහෙත් අද කාලයේ පෙරළි කරන මෙසී නතර කරන්නට නම් ඔබට ස්වයංක්‍රීය රයිෆලයක්වත් අතේ තිබිය යුතුය''.
හ්රිස්ටෝ පැවසූ බස සැබෑය. අකුණක වේගයත්, හෝමෝ සේපියන් මානව වර්ගයේ කවර මානවකයකු හෝ සතු උපායශීලිත්වයත් රැගත් මෙසී, පොදුජනයාගේ ක්‍රීඩාවට ගෙන ආ කාන්තිය විශ්මයජනකය. මින් වසර 33 කට පෙර කම්හලක සේවය කළ වානේ කම්කරුවෙකුට හා පිරිසිදු කරන්නියකට දාව ආර්ජන්ටිනාවේ රොසාරියෝහි උපත ලත් මෙසී, කුඩා කල අනෙක් ක්‍රීඩාශීලි දරුවන් සේ නිරෝගීමත්ව සිටි දරුවෙක් නොවේ. වසර 11 දී හෝමෝන වර්ධනයේ ඌනතාවක් නිසා හටගත් රෝගාබාධය දිගුකලක් ඔහුගේ ළමා වියේ සිහින ඔහුගෙන් උදුරා ගත්තද, උපතින් ලත් අසහාය හැකියාව ඉන් කිසිදා නිමා නොවූයේ ය.
ලියොනල් මෙසී ජනකාන්ත තරුවක් ව ජනාදරයට පත්වුව ද ඔහු ආ මඟ, මෘදු විල්ලුද පලස් එලා නොතිබිණි. මෙසීගේ දිවියේ හැරවුම් ලක්ෂ්‍යය ස්පාඤ්ඤයේ බාසිලෝනා පාපන්දු ක්‍රීඩා සමාජය හා එක්වීමයි. තම අසල්වැසි 'රිවර් ප්ලේට්' පාපන්දු සමාජයේ නිත්‍ය සාමාජිකත්වය වෙනුවට ඔහු බාර්සිලෝනා යන්නේ ඔහුගේ අධික වියදම් සහිත ඖෂධ සඳහා බරපැණ දැරීමට එම ක්‍රීඩා සමාජය දැක්වූ අකමැත්ත නිසායි. මේ බව ඇසූ ක්‍රීඩා කලමනාකාර කාල්ස් රෙක්සච් බාර්සිලෝනා යොවුන් ඇකඩමියේ ඔහුට අවස්ථාවක් දීම සඳහා ඉදිරිපත් විය. එකී හදිසි තීරණයේ කැපී පෙණෙන කරුණ වූයේ මෙසීගේ ඖෂධ වියදම දරන බවට කාල්ස් තම එකඟතාව පළකොට තිබූ වගන්තිය ලියා තිබුණේ කඩදාසි නැප්කිනයක වීමයි.
හෝමෝන ඌනතාවෙන් පෙළුණු මෙසී මෙතරම් සාර්ථක වූයේ කෙසේ ද? ඒ අනෙකක් නොව ප්‍රතිවාදී ඉදිරිපෙළ ආරක්ෂකයන්ගේ අසහාය ආක්‍රමණය සාතිශය කුරිරු ලෙස මැඩපවත්වා වේගය හා පන්දුව කෙලෙස හෝ තම සන්තකයේ තබා ගැනීමට තරම් ඔහු සතුව තිබූ විශ්වකර්ම හැකියාවයි. ඔහු නොසිතූ මොහොතේ අසුරු සැණින් ප්‍රතිවාදී ආරක්ෂකයන් වෙත කඩා පැන්නේය. සැබවින්ම 'Flea' නමින් හැඳින්වෙන පියාපත් රහිත තැනින් තැනට පනිමින් විශාලතර සත්වයන්ගේ හා පක්ෂීන්ගේ ලේ උරාබොන කුඩා කෘමියා පළ කරන ඉරියව්වත් එයම ය. මෙකී කුඩා කෘමි ප්‍රහාරය මඟින් ආසාධිත විය හැකි ලෙඩ රෝග ද ඇත්තේය. එනයින් බලන කල මෙසී නම් ආක්‍රමණිකයාගේ ප්‍රහාරය ගෝලයකින් අහවර වූ කල ප්‍රතිවාදී රටක්ම ආසාදනයට ලක්වීම පුදුමයට කරුණක් නොවේ.
මෙසීගේ වාර්ෂික ඉපැයීම බ්‍රිතාන්‍ය පවුම් මිලියන 26 ක් වන අතර බාර්සිලෝනා නුවර ආසන්නයේ මධ්‍යධරණී මුහුදට යාබදව බෙල්මර්හි පිහිටා ඇති ඔහුගේ දැවැන්ත මාලිගාවේ වෙළෙඳපොළ වටිනාකම පමණක් රුපියල් කෝටි 102කි. ෆෝබ්ස් සඟරාව තම නවතම ශ්‍රේණිගත කිරීම් මඟින් දක්වා ඇත්තේ මෙසීගේ දළ ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 400 ක් බවයි. සැබැවින්ම මෙසී යනු දැනට පෘථිවියෙහි සිටින වැඩිම ආදායමක් උපයන පාපන්දු තරුවයි.
දියාගෝ මැරඩෝනා ද මෙසී ගේ සාර්ථකත්වය අභිමුව සිටින්නේ පිටුපසිනි. හයවතාවක් යුරෝපීය රන් සපත්තුව කුසලානය දිනූ මෙසී තම රට වෙනුවෙන් රැස්කොට ඇති ගෝල සංඛ්‍යාව 70 කි. මැරඩෝනා ගෝල 34 ක් රැස්කොට ඇත. සමහර විටෙක ඔවුන් දෙදෙනා අතර පවත්නා බරපතල වෙනස වන්නේ මෙසී සතු නිහඬ බව හා මැරඩෝනා ආක්‍රමණශීලි භාවය විය හැකිය. ඒ සියල්ල පසෙක තැබුව ද දෙදෙනා අතර සදාතනික සමානත්වයක් නිර්මාණය වී ඇත. එනම් පාපන්දු පිටියේ අංක 10 යි.
බාසිලෝනාව වෙනුවෙන් මායාකාරී ධාවනයක යෙදෙමින් හරි අඩක් වූ ප්‍රතිවාදී ක්‍රීඩකයන් මංමුලා කොට ගේටාෆේ ට එදිරිව ලයනල් මෙසී ලත් ගෝලයත්, වසර 1986 ජුනි 22 වැනි දින දියාගෝ මැරඩෝනා එංගලන්තයට එරෙහිව ලෝක පාපන්දු ශුරතාවලියේ අර්ධ අවසන් පූර්ව තරගයේදී ලත් අනුස්මරණිය ගෝලයත් යන ගෝල ද්විත්වයම ලෝ වටා වෙසෙන පාපන්දු ලෝලීන් අදටත් සමරන්නේ ''සියවසේ ගෝල'' ලෙසිණි.










