පැරිස් ඔලිම්පික් පදක්කම අරගෙනයි මම සභාපති පුටුවෙන් බහින්නෙ | සිළුමිණ

පැරිස් ඔලිම්පික් පදක්කම අරගෙනයි මම සභාපති පුටුවෙන් බහින්නෙ

මගේ පරිපාලනය ඇතුළේ කැපිලි නෑ

ජාතික ඔලිම්පික් කමිටුව තුළ බලය තහවුරු කරගැනීමට දීර්ඝ කාලයක සිට වරින් වර සටන් ඇවිලෙනු පෙනේ. එය වඩාත් තීව්‍ර කරන්නේ දේශපාලන බල අධිකාරියද එකී බලය වෙනුවෙන් අතපොවන හෙයිනි. එහෙත් එය එසේ වන්නේ ඇයි? ඊට හේතුව ඔලිම්පික් කමිටුව ඩොලර් කඳු පිටින් හිමිවන ආයතනයක් ද? නැතහොත් එය ක්‍රීඩාවේ ක්ෂේම භූමියක්ද? එසේත් නැතහොත් ක්‍රීඩා ඇමැතිට ඉහළින් සිටිය හැකි බලපුලුවන්කාර ආයතනයක්ද? මේ ඒ සම්බන්ධයෙන් පිළිතුරු සොයා වර්තමාන ජාතික ඔලිම්පික් කමිටු සභාපති සුරේෂ් සුබ්‍රමනියම් සමඟ 'ක්‍රීඩා' ප්‍රතිමුඛ වූයේය.

ඔලිම්පික් සභාපති කියන්නේ ක්‍රීඩා ඇමැතිටත් උඩින් ඉන්න චරිතයක් ද?

ඒක මම දන්නෙත් නෑ. ඒ ගැන හිතන්නෙත් නෑ. මම මෙතැනට ආවේ ක්‍රීඩාවට යමක් කරන්න.

ඒත් මීට ඉස්සර ක්‍රීඩා ඇමැතිවරුයි ඔලිම්පික් කමිටු සභාපතිවරුයි ගැටුණානෙ. ඒ ගැටුම් අවසන් වුණේ ස්විට්සර්ලන්තයෙන්?

මම දන්නෙ නෑ. නමුත් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ නීති රාමුවක් තිබෙනවා. ඒක හැම රටටම පොදු නීතියක්. ඒකෙන් පිට අපිට යන්න බෑ. අනික ඔලිම්පික් කමිටුව කියන්නේ ක්‍රීඩාවේ ප්‍රධාන වැඩකොටසක් කරන ස්වාධීන ආයතනයකට.

මොනවද ඒ වැඩ?

ඔලිම්පික් යන ක්‍රීඩකයන්ට ශිෂ්‍යත්ව, පුහුණුවට අවශ්‍ය අනුග්‍රාහක ආවරණ හදන ආයතනයක්. මම බලයට ආපු දවසේ සිට මේ කටයුතු තවත් ශක්තිමත් කළා. 2018 මම බලයට ආවට පස්සේ ඔලිම්පික් පදක්කම් දිනන්න හැකියාවක් ඇති ක්‍රීඩකයින් වෙනුවෙන් හැකි උපරිම පහසුකම් සපයනවා.

පසුගිය කාලයේ දකුණු ආසියාවේ වගේම ආසියාවෙත් සමහර ඔලිම්පික් කමිටු තහනම් වුණා?

ඔව්. රුසියාවට, පාකිස්තානයට, ඉන්දියාවට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවලට තහනමක් ආවා. රුසියාවට ඒ දේ වුණේ තහනම් උත්තේජක වගේම තවත් ගැටලු ඇති නිසා. අපේ අසල්වැසි ඉන්දියාවත් දේශපාලන හේතූන් නිසා ක්‍රීඩාව තහනම් වුණා.

ඒත් කොහොම කොහොම හරි ශ්‍රී ලංකාවේ ඔලිම්පික් කමිටුව නම් ජාමෙ බේරගෙන වැඩේ අල්ලාගෙන ඉන්නවා නේද?

නීතිවිරෝධී දේවල් කරලා අහුවුණා නම් ශ්‍රී ලංකාව කියලා බේරිලා ඉන්න බෑ. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට තරාතිරම වැඩක් නෑ. අනිවාර්යෙන්ම එළියට දානවා. නමුත් අපි ජාත්‍යන්තර ඔලිම්පික් නීති උල්ලංඝණය කරන්නේ නෑ. උදාහරණයකට මම මේ අසුනෙ ඉඳගෙන සතියක් ගියේ නෑ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව මගේ සියලු වත්කම්, ව්‍යාපාර, රාජකාරි පසුබිම ගැන පූර්ණ වාර්තාවක් ඉල්ලුවා. ඊළඟට මට කළහැකි දේවල් සහ කළ නොහැකි දේවල් ගැනත් ඔවුන් දැනුම් දුන්නා. අපිට තිබෙන ක්‍රීඩා පනත හා ඔලිම්පික් ප්‍රඥප්තිය අතර ගැටලු ගැන ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ඉන්නේ සංවේදීවයි. අපි ඔවුන්ට කියලා තිබෙන්නේ අලුත් ඇමැති කෙනෙක් ඇවිත් ඉන්නවා, ඉදිරියේදී නව ක්‍රීඩා පනතකට යන්න සැලසුම් කරලා තිබෙනවා කියලා. ඒ නිසා අපිට තවම ගැටලුවක් නෑ.

දැන් ඔබ කියන්නේ ක්‍රීඩා පනත මොනවගේද හැදෙන්න ඕනෑ?

මම කියන්නේ නෑ ඔලිම්පික් කමිටුවට එක ක්‍රීඩා නිතියකුයි, ඔලිම්පික් නොවන ක්‍රීඩාවලට තවත් නීතියකුයි ඕනෑ කියලා. හැමෝටම පොදු පිළිගත හැකි ක්‍රීඩා නිතියක් නිර්මාණය වෙන්න ඕනෑ. එහෙම හැදෙන ක්‍රීඩා නීතියෙන් ඔලිම්පික් ප්‍රඥප්තිය උල්ලංඝණය නොවිය යුතුයි. දැන් උදාහරණයකට අපේ ක්‍රීඩා නීතිය කියනවා පුහුණුකරුවන්ට, ක්‍රීඩකයන්ගෙ මාපියන්ට ක්‍රීඩා සංගම්වල ඉන්න බෑ කියලා. මගේ අදහස ඒක වැරදියි කියන එකයි.

එතකොට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු ප්‍රඥප්තිය ඇතුළේ ඔය කියන දේට ඉඩ තිබෙනවද?

එතන කිසිම බාධාවක් නෑ. දැන් තියෙන අලුත් රෙගුලාසිවලට අනුව ක්‍රීඩක කමිටුවේ නියෝජිතයන් දෙදෙනෙකුත් කොහොමත් කමිටුවට එක්විය යුතුයි.

ඒත් අපේ ජාතික ඔලිම්පික් කමිටුවේ තියෙනවානේද පුහුණුකරුවන්ට කමිටු සාමාජිකයකු වෙන්න බෑ කියලා රෙගුලාසියක්?

වසර හතරකට බෑ කියලා තිබෙනවා. නමුත් ඒක මම එන්න ඉස්සෙල්ලා සම්මත කරගත් රෙගුලාසියක්. ඒ නීතිය මාරු විය යුතුයි.

නමුත් ඔබේ මහලේකම් මැක්ස්වල් ද සිල්වා ගෙන් ඒක කරන්න සහය ලැබෙයිද? මොකද ඔතන නිලවරණ ගැටුම්වලට සම්බන්ධ පුද්ගලයන් ඉන්නවානෙ?

නෑ. එහෙම ගැටලුවක් නෑ. කොහොමත් ක්‍රීඩාවල සදාකාලික තරහකාරයෝ නෑ. එහෙම ඉඳලා බෑ.

ඒත් ඔලිම්පික් ව්‍යවස්ථාවේ යම් යම් රෙගුලාසි සම්මත කළේ විරුද්ධවාදී කණ්ඩායම්වලට බලයට එන්න බැරිවෙන්න කියලා ඇතැමුන් කියනවා නේද?

මම හිතන්නෙ නෑ ඔබේ ප්‍රකාශය සාධාරණයි කියලා. මම නිලවරණයෙන් බලයට ආවට පස්සේ වත්මන් පරිපාලනයට එරෙහිව ඡන්දය ප්‍රකාශකළ දුනු විදීම, මලල ක්‍රීඩා, ඔරු පැදීම වගේ සාමාජික සංගම්වලට ලිඛිතව ඉල්ලීමක් කරලා කිව්වා ඒගොල්ලන්ගෙ නියෝජිතයෙක් කමිටුවට එවන්න කියලා. නමුත් ඔවුන් ඒ ගැන සැලකුවේ නම් නෑ. නමුත් ඔය බොහෝමයක් දෙනා මගෙත් එක්ක අමනාපයක් නෑ.

ඒත් මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දුට නම් ඔලිම්පික් කමිටු කැපිල්ලක් තිබෙනවා කියලා කියනවා?

කිසිම කැපිල්ලක් නෑ. හැබැයි ඔහු කමිටු රැස්වීම් තුනකට වැඩිය ඇවිත් නෑ. අපේ ඔලිම්පික් ව්‍යවස්ථාවට අනුව ඒ වගේ වෙලාවට කිසිම කෙනෙකුට කමිටුවට සහභාගි වෙන්න බෑ. ඒ වගේම ඔහුට එරෙහිව නීතිමය ගැටලු කීපයක් ඇතිබව කවුරු හෝ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට රෙපෝර්තු කරලා තිබුණා. ඒ නිසා එයත් නිවැරදි විය යුතුතැනක්. නැතිව පෞද්ගලිකව ඔහුට එරෙහි කිසිම කැපිල්ලක් නෑ.

එතන කැපිල්ලක් නැත්නම් එච්.යූ. සිල්වාට විධායක කමිටුව ඇතුළේ ඡන්දය දෙන්න දොර වැහෙන්නෙ කොහොමද?

ඔහුටත් කිසිම කැපිල්ලක් නෑ. මොකද එච්.යූ. කියන්නේ ජාතික ඔලිම්පික් කමිටුවේ ගෞරවනීය සාමාජිකයෙක් වශයෙන් මහ සභාවේ තුනෙන් දෙකක කැමැත්තෙන් පත්වෙලා ඉන්න කෙනෙක්. ඔහුට කමිටුවට පැමිණිය හැකියි. ඒවගේම කතාකළ හැකියි. ඒත් ඡන්දය භාවිතකළ නොහැකියි. හැබැයි ඒක අපේ රෙගුලාසියක් නෙවෙයි. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ රෙගුලාසියක්. අනික ගෞරවණීය සාමාජිකත්වය දෙන්න කියලා ඉල්ලුවේ ඔහුයි.

ඒත් කට් මෑන්ටත් මේ ප්‍රශ්නය තිබෙනවා නේද? ඔහුටත් ඔලිම්පික් කමිටුවේ දොර වහන බව කියැවෙනවා.

නෑ. ඒක සිද්ධ වුණේ ඔහු විසින් ආසියානු පොදුරාජ්‍ය මණ්ඩලයීය තරගවලට යන්න පුහුණුකරුවෙක් කියලා ලිපියක් ඉදිරිපත් කළ නිසයි. යුක්‍රේණයෙන් ආපු පුහුණුකරුවා වෙනුවට ඔහුට ඒ සංචාරවලට යන්න ඕනෑ වුණා. ඒ විධිහට ඔහු පොදුරාජ්‍ය මණ්ඩලයේ තරගවලට ගියා. නමුත් ආසියානු ක්‍රීඩා උළෙලේදී නීතිමය ගැටලුවක් වෙයි කියලා ගියේ නෑ. ඒකෙන් අපිට මෙඩ්ල් එකක් ගන්න තිබුණ අවස්ථාවක් නැතිවුණා. මේ තත්ත්වය ඇතිවුණා නම් ඇතිවුණේ ඩයන්ගේම වැරැද්දෙන්. නැතිව ඔහුටත් කැපිල්ලක් නෑ. අනික ඔය කියන රෙගුලාසි හැදුවේ ඩයන්ලා ඉන්න කමිටුවක් විසින්මයි.

සුරේෂ් සුබ්‍රමනියම් රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්. ඩයන් ගෝමසුත් එහෙම්මයි. ඔබ දෙදෙනා අතර පරිපාලනමය ගැටුමක් තියෙනනවා වගේ?

අපෝ නෑ. මම නම් ජාති, ආගම්, කුල, පන්ති, එහෙමත් නැත්නම් ප්‍රාදේශීයවාද ගැන හිතන කෙනෙක් නොවෙයිනෙ. මම හිතන්නේ පදක්කම් දිනාගන්න පුලුවන් එක ගැන විතරයි. පුද්ගලයා කවුරු වුණත් මොන පාසලේ වුණත්, මොන පළාතෙ වුණත්, මොන ජාතියේ වුණත් මට නම් ගැටලුවක් නෑ. ඔහු නියෝජනය කරන්නේ මගේ මව්රට ශ්‍රී ලංකාව නම් අපි ඔහු සමඟ සිටිනවා. මට ඩයන් එක්ක කිසිම පෞද්ගලික ගැටලුවක්, කෝන්තරයක් නෑ.

හොඳයි අපි ඔබේ පැත්තට හැරෙමු. ඔබ බලයට එද්දී පොරොන්දු මාලාවක් දුන්නා. ඒ අතර ක්‍රීඩා මූලස්ථානයක් ඉදිකරන්නේ යෝජනාවක් තිබුණා නේද?

මෙහෙමයි මම නිලවරණයට එද්දී කියපු දේවල් වලින් වසර දෙකක් ගත වෙද්දී සැලකිය යුතු වැඩ ප්‍රමාණයක් කරලා තියෙනවා. ජාතික ඔලිපික් කමිටුව තුළ තිබුණු අර්බුද සියල්ලම පාහේ විසඳලා තිබෙනවා. ගිනුම් විගණනය කරලා තියෙනවා. ක්‍රීඩාව අලෙවිකරණය කරන්න හැකිවෙන්න ‘ගුඩ් ස්පොර්ට්ස්’ කියලා සඟරාවක් ආරම්භ කළා. සුසන්තිකා ජයසිංහ අපේ ඉහළ දක්ෂතා කළමනාකරණ අධ්‍යක්ෂ වශයෙන් පත්කළා. මම ටෙනිස් සභාපති වශයෙන් ඉඳිද්දී ලෝකයේ හොඳම ටෙනිස් සම්මේලනය වශයෙන් ශ්‍රී ලංකාවට සම්මාන හිමිවුණේ 2003 වසරෙදියි. ඒ වගේම 2004 ආසියාවේ හොඳම ටෙනිස් සම්මේලනය වශයෙන් සම්මාන ලැබුවා. ඔලිම්පික් කමිටුව තුළත් මම කරන්නේ එයයි. අනෙක මම නිලවරණයට එද්දී ගොඩනැගිල්ලක් හදන්න පොරොන්දු වුණේ නෑ. නමුත් එය එසේ කළයුතුයැයි කිව්වා. දැනුත් මම ඉන්නේ ඒ ස්ථාවරයෙයි. ඒක කරන්න මම ලෑස්තියි. ඒත් අපිට ඉඩමක් නෑ. ඉඩමක් තිබුණානම් ඒක කරනවා. මම ඒක ඇමැතිතුමාටත් කිව්වා.

ජාතික ඔලිම්පික් කමිටුවට මුදල් අවභාවිත කළ බවට තිබෙන චෝදනාව ප්‍රසිද්ධ එකක්. මේ ගැන මොකද කියන්නෙ?

පසුගිය නිලවරණයේදීත් ඔය ගැටලුව ආවා. නමුත් මම බලයට එද්දී කිව්වේ ඔලිම්පික් කමිටුවේ මූල්‍ය විනිවිද භාවය ඉතා හොඳින් පවත්වා ගන්නවා කියායි. ඒවගේම ප්‍රයිස් වෝටර් හවුස් වගේ විගණන ආයතනවලට බාරදීලා ඔලිම්පික් කමිටුවේ ගිණුම් විගණන තුනකට‍ ලක්කරනවා. ඒවාට හුඟාක් මුදල් යනවා. ඔබ ඔය කියන චෝදනා ආවේ රොහාන් ප්‍රනාන්දු මහතා මූල්‍ය කමිටු සභාපතිවරයා වශයෙන් ඉන්න කාලෙයි. දැන් එවැනි දෙයක් නෑ.

රොහාන් ප්‍රනාන්දු වර්තමාන ආණ්ඩුවේ ප්‍රබල සභාපතිවරයෙක්. ඔහු මීළඟ ඔලිම්පික් නිලවරණයට ඒවි. ඔබ මොකක්ද කරන්න යන්නෙ?

ටෙනිස් සම්මේලනයේ ඉඳිද්දී මට විරුද්ධව කවුරුවත් ඡන්දය ඉල්ලුවේ නෑ. අද මම ඔබට කියනවා ජාතික ඔලිම්පික් කමිටුවෙත් නිතරග සභාපති මම. හැබැයි අනෙක් තනතුරුවලට තරගයක් තිබේවි. නමුත් ඒ සභාපති ධුරයට නොවෙයි.

ඒ කියන්නේ ඔබ අවුරුදු අටම ඉන්නවා?

ඔව්. මම පැරිස්වල පවත්වන්න නියමිත ඔලිම්පික් උළෙලේදී රටට පදක්කමක් දිනාගෙන තමයි යන්නෙ.

මූල්‍ය විනිවිද භාවය ගැන කතාකළ නිසා ජාතික ඔලිම්පික් කමිටුවේ වර්තමාන මූල්‍යමය ශක්තිය කොහොමද?

ඒක මට කියන්න බෑ මොකද තවම විගණන වාර්තා මහ සභා රැස්වීමකට දාලා නෑ.

එතකොට ගිය අවුරුද්දේ?

ගිය අවුරුද්දේ කිසියම් පසුබෑමක් තිබුණා. නමුත් අපි ඒ හැම දෙයක්ම වියදම් කළේ ක්‍රීඩකයන්ට. අපිට ක්‍රීඩා අමාත්‍යංශයෙන් සල්ලි ලැබෙන්නෙ නෑ. හැබැයි වෙන රටවල එහෙම නොවෙයි. ගිය අවුරුද්දේ රුපියල් බිලියන හතක් ක්‍රීඩා අමාත්‍යංශය වෙන්වෙලා තිබුණත් භාවිත කරලා තියෙන්නේ බිලියන හතරයිලු. ක්‍රීඩාව කරන ක්‍රීඩකයාට උදව් කරන්න තිබුණු මුදල් වලින් විශාල ප්‍රතිශතයක් ආපහු රාජ්‍ය භාණ්ඩාගාරයට ගියා. නමුත් අපිට ක්‍රීඩා අමාත්‍යංශයෙන් මුදල් නොලැබුණත් අඛණ්ඩව ක්‍රීඩකයන්ට උපකාර කරනවා, හැකිතරම් පුහුණු අවස්ථා දෙනවා. ඉදිරියේදී බර ඉසිලීමේ ක්‍රීඩකයන් කීපදෙනෙකුටත් ඒ විධිහට ශිෂ්‍යත්ව දෙන්න අපි උත්සහ කරනවා.

ක්‍රිකට්, පාපන්දු වලට වගේම ජාතික ඔලිම්පික් කමිටුව කියන්නෙත් ඩොලර් කඳුගණන් ලැබෙන තැනක් කියලයි. ඒ වගේම ඇතුළේ ඉන්න අය එහෙම ලැබෙන සල්ලි බෙදාගන්නවා කියලත් චෝදනා තිබෙනවා?

ඒවාගේ ප්‍රශ්න ඔයාට අහන්න කියන්න ඇත්තේ වෙන කෙනෙක්. නමුත් ඔබ නැතිව වෙනකෙනෙක් ඇහුවා නම් මම ඒකට ප්‍රතිචාර දක්වන්නේ වෙන විධිහට. අනෙක මම කවුද කියලා දන්නවා නම් මගෙන් ඒ වගේ ප්‍රශ්නයක් අහන්නෙ නෑ. නමුත් මම ඔබට එක දෙයක් කියන්නම්. අපිට එහෙම සල්ලි දෙන්න ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට අපි පොඩි වැඩියි. රට ඇතුළේ ඔලිම්පික් ශූරයන් බිහිකරනතුරු අපිට ලොකු මුදල් ප්‍රදානයන් ලැබෙන්නෙ නෑ කියන එක මතක තියාගන්න. කොටින්ම කියනවා නම් පාපන්දු සම්මේලනයට අපිට වඩා මුදල් ලැබෙනවා.

සුරේෂ් සුබ්‍රමනියම් කලක් ආසියානු ටෙනිස් සම්මේලනයේ ලේකම්වරයා. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ තනතුරකට එන්න ඔබේ අපේක්ෂාවක් ඇති?

මම අද කිව්වා කියලා ලියාගන්න. මේ තනතුරු දැරීමේ වාර සීමාව නිසා ශ්‍රී ලංකාවේ කිසිම කෙනෙකුට ජාත්‍යන්තර ක්‍රීඩා සම්මේලනයක ප්‍රධාන තනතුරකට එන්න බෑ. මොකද ඒකට අවශ්‍ය පසුබිම හදාගන්න කාලය මදි. අනෙක එය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ පවා නැති නීතියක්.

ඒ කියන්නේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ තනතුරක් කියන්නේ සිහිනයක්?

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ විතරක් නොවෙයි සියලු ක්‍රීඩා සංගම්වල මව් සංගමයක තනතුරක් ගන්න එක සිහිනයක්.

 

ඡායාරූප - ජගත් ඉරෝෂණ

 

Comments