
ආලෝනය යනු කැළඹීමය. පන්දුව දෝලනය කිරීමේ අලුත්ම කැළඹීම ඔහුය. ඔහු නමින් ධනංජය ලක්ෂාන්ය.
Galle Gladiators පිලේ අතිරේක ක්‍රීඩකයකුව සිට තරගාවලිය අවසානයේ හොඳම නැගී එන ක්‍රීඩකයා වූයේ ඔහුය. මේ ඔහු ගැනය.
ධනංජය ලක්ෂාන් තවමත් සිටින්නේ විසිදෙහැවිරිදි වියේය. ඔහු ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. ඔහුට එල්.පී.එල්. තරග වරම් ලැබුණේ 2018 යොවුන් ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා යොවුන් පිල නියෝජනය කරමින් දැක්වූ දක්ෂතා ඉවහල් කරගෙනය. ඒ අනුව අතිරේක ක්‍රීඩකයකු ලෙස කණ්ඩායමට එක්වූ ධනංජය කණ්ඩායමට එක්කරගත්තේ ක්‍රීඩකයන් කණ්ඩායමෙන් ඉවත්වීමත් සමඟ සිදුවූ යම් යම් කලබගෑනි හේතුවෙනි.
වැඩ බැරිවුණත් ගම ගාල්ලේ යැයි කියමනක් තිබේ. එහෙත් ධනංජයට ගාල්ලේ ග්ලැඩියේටර්ලා අතර වැඩ බැරි වුණේ නැත. සහීඩ් ඇෆ්රිඩි පෞද්ගලික හේතුවක් මත සියරට යද්දී ධනංජයගේ ක්‍රිකට් ජීවිතයට උදා හිරු රැස් වැටෙමින් තිබිණි. ඒ අනුව LPLතරගාවලිය අවසන් වනවිට ඔහු තරග 7කදී ලකුණු 225කට කඩුලු 13ක් දවාලමින් තරගාවලියේ වැඩිම කඩුලුලාභී පන්දු යවන්නන් අතුරින් දෙවැනි තැනට පත්වූයේ දේශීය වශයෙන් පමණක් නොව විදේශීයවද යම් අවධානයක් ගොඩනංවමිනි. එහෙත් පිතිකරුවකු වශයෙන් ඉනිම් 5ක් තුළදී ඔහුට රැස්කර ගත හැකිවූයේ ලකුණු 77ක් පමණි. ඒ ලකුණු 38.50ක සාමාන්‍යයක් හා 126.22ක ලකුණු රැස් කිරීමේ වේගයක් පවත්වා ගනිමිනි.
තම පිල අවසාන මහා තරගයට සුදුසුකම් ලැබීමට තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී කලම්බු කිංග්ස් (Colombo Kings) පිලට එරෙහිව පන්දු 23කදී හතරේ පහර 2ක් සහ 6 පහරක් සමගින් නොදැවී ලකුණු 31ක් රැස්කළ ධනංජය එහිදී දියත්කළ ඉනිම විචාරකයින්ගේ පැසසුමට ලක්විය. පන්දුවෙන් දස්කම් දක්වමින් ලකුණු 27කට කඩුලු 2ක් බිඳහෙළා තරගයේ වීරයා ලෙස සම්මානිත විය.
අවසන් පූර්ව තරගයේදී ධනංජය ලක්ෂාන් හමුවේ දැවී ගිය කලම්බු කිංග්ස් පිලේ දිනේෂ් චන්දිමාල් තම ප්‍රතිවාදී පිලේ පන්දු යවන්නා ගැන කීවේ,“ඔහුගේ පන්දුව දොලනය කිරීමේ හැකියාව සුවිශේෂී බවත්, ශ්‍රී ලංකා පිලට මෙවැනි පන්දු යවන්නන්ගේ අවශ්‍යතාවයක් ඇති බවයි”.
ගාල්ලේ ව්‍යාපාරික පියල් සහ නිලන්ති යුවළගේ දෙවැනි දරුවා වූ ලක්ෂාන් 1998 ඔක්තෝබර් මස 5 දින එම පවුලට එක්වූයේය. කුඩා කාලයේ සිට සෙල්ලම් පිත්තෙන් තනිවම ක්‍රිකට් ක්‍රීඩාකළ ධනංජයගේ ක්‍රිකට් දිවියට මූලිකම අත්තිවාරම වැටෙන්නේ වැඩිමහල් ඥාති සහෝදරයන් සමග ක්‍රිකට් ක්‍රීඩා කිරීමයි. එය දුටු ධනංජයගේ පියා තම පුතු රිච්මන්ඩ් විද්‍යාලයට ඇතුළත් කළේය. එසේම ධනංජයගේ පියාට තිබුණු තවත් සිහිනයක් විය. ඒ තම පුතු ගාලු ආදරවන්තයින්ගේ සටනේදී රිච්මන්ඩ් විද්‍යාලය නියෝජනය කරනු දැකීමයි.
ඒ සිහිනය කොතරම් තදබල වූයේද යත් ධනංජය 4 පංතියේ උගනිද්දී ඔහුගේ පියා රිච්මන්ඩ් කණිෂ්ඨ ක්‍රිකට් භාර ආචාර්යව සිටි ජයතිලක සර් හමුවට ගොස් පුතු ක්‍රිකට් පුහුණුවට ගන්නා මෙන් ඉල්ලීමක් කර තිබිණි. එහෙත් ජයතිලක සර්ගේ උපදෙස වූයේ ශිෂ්‍යත්ව විභාගයෙන් පසුව ධනංජය පාසලේ ක්‍රිකට් පුහුණුවීම් වලට එවන ලෙසයි. එහෙත් ධනංජයගේ පියාට එතරම් කාලයක් බලා සිටීමට හිතක් නොවීය. ඒ තිබුණු කලබලය නිසාම ධනංජය ගාල්ලේ පැර්ගා පෞද්ගලික ක්‍රිකට් පුහුණු පාසලේ ධනුෂ්ක දෙනගම මහතා වෙත තම පුතු බාරදෙන්නේ එහෙයිනි.
“2009 වසරේදී ධනුෂ්ක සර් යටතේ පෞද්ගලික ක්‍රිකට් ඇකඩමියේ පුහුණුවීම් වලට ගියා. ඊට පසුව තමයි පාසලේ පුහුණුවීම් වලට ගියේ.’’
13න් පහළ, 15න් පහ සහ 17න් පහළ වයස් සීමාවේදී ධනංජය දැක්වූ තුන් ඉරියව් දස්කම් දුටු රිච්මන්ඩ් ජ්‍යෙෂ්ඨ පුහුණුකරු ධම්මික සුදර්ශන, ධනංජයට රිච්මන්ඩ් අවුරුදු 19න් පහළ පිලේ ස්ථානයක් වෙන් කර දුන්නේ මේ අතරේය.
“2014/15 තරගවාරයේදී පාසලේ පළමු පෙළ කණ්ඩායමේ සාමාජිකයෙක් වෙන්න ලැබුණා. මට රිච්මන්ඩ් පළමු පෙළ පිලේ නායකත්වය ලැබුණා. පාසල් ක්‍රිකට් පිල මෙහෙයවමින් එම දස්කම් දැක්වීමට සමත්වීම ගැන ගොඩාක් සතුටුයි.” ඔහු පවසන්නේය.
2018 වසරේ නවසීලන්තයේ පැවති අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේදී අයර්ලන්තයට එරෙහි තරගයේදී සිය පාසල් කණ්ඩායම් සගයා වන කමිඳු මෙන්ඩිස් සමග දෙවැනි කඩුල්ලට ලකුණු 162ක් රැස් කරමින් ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ වාර්තාවක් තැබීමට සමත්විය. අවුරුදු 19 පහළ ජාත්‍යන්තර එක්දින තරග 9කදී ශතකයක් සමගින් ලකුණු 294ක් රැස් කරගනිමින් කඩුලු 3ක් දවා ගැනීමට ද සමත් වූයේය.
“ශ්‍රී ලංකා 19න් පහළ පිල නියෝජනය කරමින් මා 2017 වසරේ මැලේසියාවේ පැවති යොවුන් ආසියානු කුසලාන තරගාවලියට තමයි පළමුවෙන්ම සහභාගි වුණේ. ඉන්පසු ඉන්දියානු සංචාරයට හා 19න් පහළ ලෝක කුසලාන තරගාවලියට එක්වීමට අවස්ථාව ලැබුණා. මට හැකියාව ලැබුණා අයර්ලන්තයට එරෙහිව නොදැවී ලකුණු 101ක් රැස් කිරීමට.”
‘’LPL තරගාවලියේ මගේ පළමු කඩුල්ල වුණේ අවිෂ්ක ප්‍රනාන්දු. ඒ තරගයේදී නොදැවී ලකුණු 14ක් රැස්කළා. ඊට පසු තරග සියල්ලම මට ක්‍රීඩා කරන්න ලැබුණා. දක්ෂ ප්‍රතිවාදී පිතිකරුවන්ට පන්දු යවන්න ලැබුණා මට. නවකයෙක් වුණත් මට ඕනෑ වුණේ ඒ දක්වා දිගටම පැරදිලා හිටිය ටීම් එක දිනවන්නයි. ප්‍රධාන පුහුණුකරු මොයින් ඛාන් සහ සහාය පුහුණුකරු උපුල් චන්දන සර්ගෙන් මෙන්ම භානුක අයියා සහ ධනුෂ්ක අයියා ඇතුළු කණ්ඩායමේ හැම කෙනෙක්ම මට හොඳ සහයෝගයක් ලබාදුන්නා. ඒ අය මා ගැන තිබූ විශ්වාසය තහවුරු කරන්න මට පුළුවන් වුණා. ”
ධනංජය LPL තරගාවලිය තුළදී අවිෂ්ක ප්‍රනාන්දු, දසුන් ශානක, සමිත් පටෙල්, එකම ශතකලාභියා වූ ලෝරි එවන්ස්, නිරෝෂන් දික්වැල්ල, සීක්කුගේ ප්‍රසන්න, ඉර්ෆාන් පතන්, දිනේෂ් චන්දිමාල්, තික්ෂිල ද සිල්වා, ජොන්සන් චාල්ස්, ෂොයිබ් මලික් සහ ධනංජය ද සිල්වා යන ක්‍රීඩකයන්ගේ කඩුලු දවා ගනිමින් දිගු ගමනක මුල් පියවර ගාල්ල ග්ලැඩියේටර්ස් වෙනුවෙන් එසේ ලබාදුන්නේය. ඔහුගේ ඉදිරි ගමනට ‘ක්‍රීඩා’ සුබපැතුම් එක්කරන්නට අපට කැමතිව ඇත්තේ ඔහුගැන අදට වඩා හෙට කතාකරන්නට බොහෝදේ ඇති බැවිණි.










