දේදුනු රාජ්‍යයේ ඇඳෙන ටෙස්ට් තරගාවලියේ වැඩි පීඩනය කාට ද ? | Page 2 | සිළුමිණ

දේදුනු රාජ්‍යයේ ඇඳෙන ටෙස්ට් තරගාවලියේ වැඩි පීඩනය කාට ද ?

වසරක විරාමයකින් අනතුරුව ශ්‍රී ලංකාව ඊයේ (26) දකුණු අප්‍රිකාවේදි ටෙස්ට් තරගමාලාවකට අවතීර්ණ විය, අවසන් වරට මෙම වසර මුල සිම්බාබ්වේ හි පැවති ටෙස්ට් තරගාවලියෙන් පසු ශ්‍රී ලංකාව මුහුණ දෙන ටෙස්ට් තරගමාලාව මෙය වෙයි, මෙය ඉතාමත් වැදගත් එමෙන්ම වඩාත් අසීරු තරගමාලාවක් බැව් අනිවාර්යයෙන්ම සඳහන් කළ යුත්තේ දකුණු අප්‍රිකාවේ තරග වැදීම විශේෂයෙන්ම ආසියාතික රටකට පහසු නොවන බැවිනි. තවද මෙවර තරගමාලාව ලෝක ටෙස්ට් ශුරතා තරගමාලාවට අනුබද්ධිතව පැවැත්වෙන බැවින් මෙය දෙපිලටම අතිශයින් වැදගත් තරගමාලාවකි.

මේ වනවිට ලෝක ශුරතා ටෙස්ට් තරගමාලාවේ දකුණු අප්‍රිකාව අටවන ස්ථානයේ පසුවෙයි, ශ්‍රී ලංකාව පසුවන්නේ හය වන ස්ථානයෙහිය.

මෙම කරුණත් සමග අවසන් වරට ශ්‍රී ලංකාව සමග සහභාගිවූ පසු ගිය ටෙස්ට් තරග මාලා දෙකම එනම් 2018-19 දකුණු අප්‍රිකාවේ පැවති තරගමාලාව හා ඊට පෙර 2018 ශ්‍රී ලංකාවේ පැවති තරගමාලාව ශ්‍රී ලංකාව ජයගැනීම,ඉන් පසු ජගත් ටෙස්ට් ලෝක කුසලානයට අනුබද්ධිතව මේ දක්වා තමන් සහභාගිවූ ටෙස්ට් තරග මාලා දෙකම 2019-20 එංගලන්තයට එරෙහිව 1-3 ,ඉන්දියාවට එරෙහිව 0-3 ලෙස පරාජය වීම, අවසන් වරට 2018-19 දකුණු අප්‍රිකාවේදී පාකිස්තානයට එරෙහිව ලැබූ 3-0 ජයග්‍රහණයෙන් අනතුරුව ඔවුන් තම රට තුළ සහභාගී වූ අවසන් ටෙස්ට් තරගමාලා දෙකම, 2018-19 ශ්‍රී ලංකාවට එරෙහිවද 2019-20 එංගලන්තයට එරෙහිවද පරාජය වීම යන කරුණු මෙවර දකුණු අප්‍රිකාව වෙත දැඩි පීඩනයක් එල්ල කර තිබේ.

සංචාරකයන්ගේ පාර්ශ්වයෙන් සලකද්දී දකුණු අප්‍රිකාවට එරෙහිව අවසන් වරට සහභාගිවූ තරග මාලා දෙකම ජයගෙන ඇත්තේ ශ්‍රී ලංකාවයි. ලෝක ටෙස්ට් ශුරතා තරගමාලාවට අදාළව නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවේදී 1-1 ලෙස ජය පරාජයෙන් තොරව හා පාකිස්තානයට එරෙහිව පාකිස්තානයේදී 0-1 ලෙස පරාජය ලැබීමට ශ්‍රී ලංකාවට සිදුව තිබේ. එහෙත් දකුණු අප්‍රිකාවට වඩා යහපත් මානසික තත්ත්වයකින් යුතුව තරගාවලියට මුහුණ දීමේ අවස්ථාවක් ශ්‍රී ලංකාවට හිමිව ඇත. එමෙන්ම සංචාරය සඳහා සහාගිවන 21 දෙනාගේ සංචිතය දෙස බලන විට මිට පෙර දකුණු අප්‍රිකාවේ අවස්ථා කිහිපයකදීම තරග අත්දැකීම් සහිත නායක දිමුත් කරුණාරත්න, දිනේෂ් චන්දිමාල්, කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, සුරංග ලක්මාල්, ළහිරු කුමාර, ලසිත් ඇඹුල්දෙණිය, දිල්රුවන් පෙරේරා, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, වැනි ක්‍රීඩකයින් සංචිතයට ඇතුළත් වීම ශ්‍රී ලංකාව පාර්ශ්වයෙන් තවත් වාසිදායක තත්ත්වයකි.

දකුණු අප්‍රිකානු සංචිතයේ සිටින ක්‍රීඩකයින්ගෙන් නායක ක්වින්ටන් ඩි කොක්, ෆැෆ් ඩු ප්ලේසිස්, ඩින්.එල්ගර් වැනි ක්‍රීඩකයින් ඉක්මනින් දවා ගැනීම කෙරෙහි ශ්‍රී ලංකාව වැඩි අවධානයක් යොමු කළ යුතුවේ, එමෙන්ම රබාඩා ඇතුළු වේග පන්දුබලඇණිය මෙන්ම කෙශ්ව මහරාජ් දඟ පන්දුවෙන්ද කණ්ඩායම ශක්තිමත් කරනු ඇතැයි විශ්වාස කළ හැකිය.

දෙරටේ ටෙස්ට් ඉතිහාසයේ

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර ටෙස්ට් තරගමාලාව 1993 -94 ශ්‍රී ලංකාවේදී ආරම්භ වූ අතර ශ්‍රී ලංකාව මුලින්ම දකුණු අප්‍රිකාවේදී ටෙස්ට් තරගාවලියකට අවතීර්ණ වනුයේ 1997-98 තරග වාරයේ අර්ජුන රණතුංගගේ නායකත්වයෙනි. අරවින්ද ද සිල්වා, රොෂාන් මහානාම ,සනත් ජයසුරිය,හෂාන් තිලකරත්න,චමින්ද වාස්, මුත්තයියා මුරලිදරන්,මාවන් අතපත්තු වැනි ප්‍රබල ක්‍රීඩකයින් ඇතුළත් කණ්ඩායමක් එවර ශ්‍රී ලංකාව නියෝජනය කළද පැවති ටෙස්ට් තරග දෙකෙන්ම අත් වූයේ පරාජයයි.

එසේ වුවද එවර සෙන්චුරියන් හි පැවති දෙවැනි ටෙස්ට් තරගය ජයගැනීමට යම් අවස්ථාවක් ශ්‍රී ලංකාව හමුවේ තිබිණි. ඒ මුල් ඉනිමේ ලකුණු 103 කින් ඉදිරියෙන් සිටිමට සමත්වීමත් සමඟය. නමුත් දෙවැනි ඉනිම ලකුණු 122 කට බිඳ වැටීමෙන් එම අවස්ථාව ගිලිහි ගියේය. එකී තරගාවලියේදී දකුණු අප්‍රිකා පිල හැන්සි ක්‍රොන්යේ මෙහයවීය. අවසානයේ ශ්‍රී ලංකාවේ වාරය උදා වන්නේ 2011-12 සංචාරයේදීය, එනම් දෙරට අතර දකුණු අප්‍රිකාවේ පැවති නව වැනි ටෙස්ට් තරගයේදීය. ඒ වනවිට එහිදී ශ්‍රී ලංකාව ටෙස්ට් තරග 07 ක් පරාජයවී එක් තරගයක් පමණක් ජය පරාජයෙන් තොරව අවසන් කරගෙන තිබීණි, ජයග්‍රහණය වාර්තා වු ඩර්බන්හි කින්ස්මිඩ් හි පැවති මෙම ඓතිහාසික තරගයේදී තිලකරත්න ඩිල්ශාන් කණ්ඩායම මෙහෙයැවූ අතර කුමාර සංගක්කාර හා තිලාන් සමරවීර එම තරගයේ ශතක ලැබුහ. තම මංගල ටෙස්ට් තරගය නියෝජනය කරමින් දිනේෂ් චන්දිමාල් අගනා අගනා අර්ධ ශතක දෙකක් ඉනිම් දෙකේදී ලැබීමට සමත් විණි. චානක වෙලගෙදර 52/05 ක් වශයෙන් පන්දුවෙන් දස්කම් දැක්වීය. එමෙන්ම රංගන හේරත් 79/05 හා 49/04 ලෙස කඩුලු ලබමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය සහතික කළහ.

දකුණු අප්‍රිකා බිමේ පළමු ටෙස්ට් ශතකය ලැබූ මෙරට පිතිකරුවා විමේ ගෞරවය හෂාන් තිලකරත්නට හිමි වෙයි, ඔහු 2002-03 සෙන්චුරියන් හිදී නොදැවී ලකුණු 104 ක් ලබා ගත්තේය,ඉන්පසු තිලාන් සමරවීර 2011-12 ඩර්බන්හිදී 102 හා පෝර්ට් එලිසබත්හිදී 115 (නොදැවී),කුමාර් සංගක්කාර 2011-12 ඩර්බන්හිදී 108 ,කුසල් ජනිත් පෙරේරා2018-19 ඩර්බන්හිදී 153 (නොදැවී) ලෙස ශතක ලැබුහ. ශ්‍රී ලංකාවේ ශතක ලැයිස්තුවට වඩා දකුණු අප්‍රිකා ශතක ලැයිස්තුව වඩාත් දිගු වන අතර දෙරට අතර එරට පැවති ටෙස්ට් ඉනිමක වැඩිම ලකුණු ලාභියා වන්නේ 2011-12 කේප් ටවුන් හිදී ලකුණු 224 ක් ලැබූ ජැක් කලිස්ය,එමෙන්ම ඩැරල් කලිනන් එහිදී ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් ශතක තුනක් ලබා ඇත.

වේග පන්දුවට වාසිදායක දකුණු අප්‍රිකා භුමිය තුළ දඟ පන්දුවෙන් මුත්තයියා මුරලිදරන් ශ්‍රී ලංකාව වෙනුවෙන් 39/06 ලෙස 2000-01 ඩර්බන්හිදී, ඉනිමක හොඳම පන්දු යැවීම වාර්තා කර තිබේ. රංගන හේරත් ,ලසිත් ඇඹුල්දෙනිය එක් ඉනිමක කඩුලු 05 ක් හෝ ඊට වැඩි ගණනක් දවාගත් දඟ පන්දු යවන්නන් වන අතර චානක වෙලගෙදර,දිල්හාර ප්‍රනාන්දු, මෙන්ම මෙවර සංචිතයේ සිටින සුරංග ලක්මාල්, ළහිරු කුමාර එක් ඉනිමක කඩුළු පහක් හෝ වැඩි ගණනක් දවා ගත් වේග පන්දු යවන්නන්වේ. මෙහි විශේෂත්වය මුරලිදරන් වේග පන්දු යවන්නන්හට උචිත දකුණු අප්‍රිකා තණ තීරු මත අවස්ථා කීපයකදීම දඟ පන්දුවෙන් දස්කම් දැක්වීමය. දකුණු අප්‍රිකාව වෙනුවෙන් එම්.ඩි.ලාංජ් (M.D.Lange) 2011-12 ඩර්බන්හිදී 81/07 ලෙස ඉනිමක හොඳම පන්දු යැවීම වාර්තා කර තිබේ.

දෙරට අතර දකුණු අප්‍රිකාව තුළ පැවති ටෙස්ට් තරග 15 අතරින් ශ්‍රී ලංකාව තරග 03 ක් ජය ගන්නා විට ප්‍රතිවාදී ජග්‍රහණ ගණන 11කි.ජය පරාජයෙන් තොරව අවසන්වී ඇත්තේ එක් තරගයක් පමණි. 1997-98 සිට 2018-19 දක්වා වූ තරග මාලා හයකදි අර්ජුන රණතුංග,සනත් ජයසුරිය,මාවන් අතපත්තු, තිලකරත්න ඩිල්ශාන්, ඇන්ජලෝ මැතිව්ස් මෙන්ම දිමුත් කරුණාරත්න මෙරට පිල මෙහෙයවා තිබේ. මේ අතරින් 2018-19 දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් අත් කරගත් 2-0 ජයග්‍රහණය මේ දක්වා එහිදී අත් කරගෙන ඇති මුල්ම හා එකම තරගමාලා ජයග්‍රහණය වෙයි.

 

 

Comments