දෙවැනි තරගයට කෝලි හා රෝහිත් ෂර්මාගේ සේවය නොලැබෙයි | සිළුමිණ

දෙවැනි තරගයට කෝලි හා රෝහිත් ෂර්මාගේ සේවය නොලැබෙයි

මුළු ලොවම කෝවිඩ් අවධානම ගැන විමසිල්ලෙන් පසුවන අවස්තාවක පසුගිය සතියේ ජගත් ක්‍රිකට් පිටිය උඩු යටිකුරු කළ සිදුවීමක් වාර්තා විය, ඒ ඉන්දීය කණ්ඩායම ඔස්ට්‍රේලියාව ඉදිරියේ සිය දෙවන ඉනිමේ ලකුණු 36 කට ඇඩිලේඩ්හි පැවති ටෙස්ට් තරගයේදී දැවී ගිය පුවතයි,මෙය මෙම සියවසේ කණ්ඩායමක් ටෙස්ට් ඉනිමකදි දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා වූ අතර මෙයට ඉන්දියාව සම්බන්ධවීම මෙම සිදුවිම තව තවත් උණුසුම් වීමට හේතුවී තිබේ.මෙම ලකුණු සංඛ්‍යාව මේ දක්වා ටෙස්ට් කණ්ඩායමක් ඉනිමක දැවී ගොස් ඇති අඩුම ලකුණු අතර සිව් වන ස්ථානය ලෙස වාර්තා වෙයි.

 

කණ්ඩායම් අඩුම ලකුණු ගණන්වලට දැවී ගොස් ඇති පිළිවෙල.

නවසීලන්තය 1954-55 එංගලන්තයට එරෙහිව 26 (නවසීලන්තයේ ඔක්ලන්ඩ් හිදී )

දකුණු අප්‍රිකාව 1895-96 එංගලන්තයට එරෙහිව 30 (දකුණු අප්‍රිකාවේ පොර්ට් එලිසබත් හිදී)

දකුණු අප්‍රිකාව 1924 එංගලන්තයට එරෙහිව 30 (එංගලන්තයේ බර්මින්හැම් හිදී)

දකුණු අප්‍රිකාව 1898-99 එංගලන්තයට එරෙහිව 35 (දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හිදී)

ඕස්ට්‍රේලියාව 1902 එංගලන්තයට එරෙහිව 36 (එංගලන්තයේ බර්මින්හැම් හිදී)

දකුණු අප්‍රිකාව 1931-32 ඔස්ට්‍රේලියාවට එරෙහිව 36 (ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හිදී)

ඉන්දියාව 2020-21 ඔස්ට්‍රේලියාවට එරෙහිව 36 (ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ්හිදී)

 

මිට පෙර ඉන්දියාව අඩු ලකුණු වාර්තා කළ ටෙස්ට් ඉනිම්.

42 (දෙවන ඉනිම) එංගලන්තයට එරෙහිව (ලෝඩ්ස්) 1974 (එංගලන්තය 629 ඉන්දියාව මුල් ඉනිම 302 ,දෙවන ඉනිම 42 (ජෙෆ් ආර්නොල්ට් 19/04 ,ක්‍රිස් ඕල්ඩ් 21/05) එංගලන්තයට ජය.නායකයින් ,අජිත් වඩේකාර් (ඉන්දියාව ),මයික් ඩෙනෙස් (එංගලන්තය)

58 (මුල් ඉනිම) ඔස්ට්‍රේලියාවට එරෙහිව (බ්‍රිස්බේන්) 1947-48 (ඔස්ට්‍රේලියාව 382/08 ,ඉන්දියාව 58 (අර්නි ටොෂාක් ලකුණු 02 කඩුලු 05) (ඉන්දියාව දෙවන ඉනිම 98) නායකයින් ලලා අමරනාත් ඉන්දියාව, ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ඕස්ට්‍රේලියාව . ඉන්දීයාව ඉනිමකින් පරාජය විය, (එමෙන්ම එවර මෙල්බර්න් හි පැවති අවසන් ටෙස්ට් තරගයේදී ඉන්දීය දෙවන ඉනිම ලකුණු 67 කට බිඳ වැටිණි.)

58 (මුල් ඉනිම) එංගලන්තයට එරෙහිව (මැන්චෙස්ටර්) 1952 (එංගලන්තය 347/09 ඉන්දියාව මුල් ඉනිම 58 (ෆ්‍රෙඩි ට්රුමන් 31 / 08 ) (ඉන්දියාව දෙවන ඉනිම 82) එංගලන්තයට ඉනිමකින් ජය ,නායකයින්;ලෙන් හට්න් (එංගලන්තය),විජය හසාරේ (ඉන්දියාව)

66 (දෙවන ඉනිම) දකුණු අප්‍රිකාවට එරෙහිව (ඩර්බන්) 1996-97 (දකුණු අප්‍රිකාව,මුල් ඉනිම 235 -දෙවන ඉනිම 259, ඉන්දියාව මුල් ඉනිම 100 දෙවන ඉනිම 66 ඇලන් ඩොනල්ඩ් 14/04) දකුණු අප්‍රිකාවට ජය.නායකයින් සචින් තෙන්ඩුල්කාර් (ඉන්දියාව) හැන්සි ක්‍රොන්යේ (දකුණු අප්‍රිකාව)

”මෙවර ඉන්දීය පිල තරගයේ මුල් ඉනිමේ ඉදිරියෙන් සිටියා නමුත් ඔස්ට්‍රේලියාව යලි තරගයට අවතීර්ණ වුනා, මේ තමයි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ චමත්කාරය” 1996-97 ඩර්බන් හිදී ලකුණු කට 66 කට දැවී ගිය ඉන්දීය කණ්ඩායමේ නායකත්වය දරු සුපිරි ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් මෙවර තරගය ගැන එසේ පවසයි

”ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් විශිෂ්ට අන්දමින් පන්දු යැව්වා,ඉන්දියානු පිතිකරුවන්ට දොස් කීමත් සාධාරණ නෑ,හොඳ ආරම්භයක් නැති තැන සැමවිටම අසීරුවට පත්වීමට සිදු වෙනවා”,එදා 1974 තරගයේ ආරම්භක පිතිකරු සුනිල් ගවස්කාර් මෙදා දැවී යාම දකින්නේ එසේය,ඔහු එම ඉනිමේ දැවී ගියේ ලකුණු 05 කටය, මෙවර මෙන්ම 1974 දීද ඉන්දීය පිලේ දැවී ගියේ කඩුලු 09 ක් පමණි,මෙවර මොහොමඩ් සාමි තුවාල ලබා පන්දුවට පහර දීමෙන් වැලකි සිටි අයුරෙන් එදාද අවසන් පිතිකරු චන්ද්‍රසේකර් තුවාල ලබා පන්දුවට පහරදීමෙන් වැලකි සිටියේය,එමෙන්ම 1974 තරගය නියෝජනය කළ බිෂෙන් සිං බෙඩි ද ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට ප්‍රසංශා කිරීමට අමතක නොකරයි.තවද ඔහු පවසනුවේ විස්සයි විස්ස තරගවලට සහභාගිවී ක්‍රීඩකයින්ට යලි ටෙස්ට් තරගවලට එක් වර අවතීර්ණ වීම අසීරු බවයි.

කෙසේ නමුත් හිටපු ක්‍රීඩකයින් වන විරේන්ද්‍ර සෙවාග්,අශිෂ් නෙහෙරා,මොහොමඩ් කයිෆ් ගව්තම් ගාම්භීර් වැනි ක්‍රීඩකයින් මෙම පරාජය ගැන දොස් නගනුයේ නායක විරාත් කෝලිහටය ඒ ඔහු මෙම තරගය සඳහා කණ්ඩායම නම් කිරීමේදි වැරදි ක්‍රීඩකයින් තෝරා ගත් බව පවසමිනි ,පුහුණුකරු රවී ශාස්ත්‍රි විවේචනයට බඳුන් වන තවත් පුද්ගලයෙකි.ශිකාර් ධවාන් වැනි පළපුරුදු ආරම්භක පිතිකරුවන් ටෙස්ට් කණ්ඩායමට ඇතුලත් නොකර අත් දැකීම් නොමැති ප්‍රිත්වී ෂා වැනි පිතිකරුවෙකු ආරම්භක පිතිකරු ලෙස යොදා ගැනීමද විවේචනයට බඳුන්වී තිබේ,මේ සියල්ල අතරේ තම දරු ප්‍රසුතියට ආසන්නවී සිටි නායක කෝලි ගේ නිලි බිරිඳ අනුෂ්කා ශර්මා හටද සමාජ මාධ්‍ය විවේචන මෙම පරාජය සම්බන්ධයෙන් මේ වනවිටත් එල්ල වෙමින් පවති.තවද තම බිරිඳගේ දරු ප්‍රසුතිය නිසා කෝලි ඉන්දියාවට පැමිණීම මත ඔහුට මීළඟ ටෙස්ට් තරගය අහිමි වෙයි,එමෙන්ම මුල් තරගයට සහභාගී නොවූ සුපිරි පිතිකරු රෝහිත් ශර්මා නිරෝධායන ක්‍රියාවලියට අවතීර්ණ වීමට නියමිත බැවින් ඔහුට දෙවන ටෙස්ට් තරගයද මග හැරීම ඉන්දියාව දෙවන ටෙස්ට් තරගයේදී තව තවත් අගාධයට පත් වීමට ඉඩ ඇත.

Comments