
මුලටියන විදුහලේ පාපන්දු කණ්ඩායම සමස්ත ලංකා පාසල් පාපන්දු ශූරතාව දිනා ගන්නේ මාස කීපයක් තිස්සේ සිදුකළ දුර්ගම ගමනක අවසානයේය. එම ගමන ආරම්භයේදී විදුහලේ පාලනාධිකාරියද තම පාපන්දු කණ්ඩායම සමඟ සිටියේ නැත. එය හුදෙක් විදුහලට දුෂ්කර මාරුවක් ලබා පැමිණි සමරසේකර ගුරුතුමාගේ උත්සහයෙන් සිදුකෙරුණකි.
පාපන්දුවට අසංවේදී පාසල් බලධාරීන් ඒ සම්බන්ධයෙන් සංවේදී වන්නේ කළාප කාර්යාලයෙන් ලැබෙන හදිසි දුරකථන ඇමැතුමකිනි. කලාප අධ්‍යාපන ප්‍රධානීන් එම විපරම සිදුකළේ පළාත් බලධාරීන් කළ විමසීමක් නිසා වන්නට පිළිවන. එය දාමයක ආකාරයෙන් අධ්‍යාපන අමාත්‍යංශය දක්වාම විහිදෙනවා ද වියහැකිය. අප එසේ කියන්නේ ‘කෙවිට’ භාවිත නොකර රැළක් ඉදිරියට රැගෙන යාමේ අසීරුතාවය සමාජ දේහයේ බොහෝ තැන්වල අප අත්දැක, අත්විඳ ඇති හෙයිනි.
බොහෝ තැන්හි අප අසමත්වන්නේ, දේශපාලන නොවන විධායකය පිටුපස කෙවිටක් අතින්ගත් දේශපාලකයකු සිටිය යුතු හෙයිනි. අප කොතරම් මානසික ව්‍යාධියකින් පෙළෙන්නේද යන්න එවිට තේරුම්ගත හැකිය. එසේම එය එතරම්ම කනගාටුදායකය.
කෙසේනමුත් බොහෝ අසමත්වීම් සමත්වීම් බවට පත්වන්නේ පුරවැසියාගේ සවිඥානික භාවයෙනි. ඒ ඔවුන් දේශපාලන බලඅධිකාරිය වෙත ගොස් බලපෑම් කර දේශපාලන නොවන විධායකය හරහා ස්වකීය අවශ්‍යතා ඉටු කරගන්නා හෙයිනි.
මුලටියන විදුහලේ සමස්ත ලංකා පාපන්දු විප්ලවය (අප එයට විප්ලවයක් කියන්නේ එය පූර්ණ වශයෙන්ම සමරසේකර ගුරුතුමාගේ දක්ෂතාවය මත සිදුවූවක් වන හෙයිනි.) පිටුපස කතාවද එයම වන්නට පිළිවන. එහෙත් එය අප නොදැන සිටින්නේ සමරසේකර ගුරුතුමා යනු කල්පිතයක් වීමය. ඔහු ජීවත්වන්නේ 2018 වසරේ සිංහල සිනමාවේ තිරගතවූ 'ගෝල්' නමැති සැලෝලයිඩ් පටය තුළය. එහෙත් සැලෝලයිඩ් සමරසේකර ගුරුතුමා ශ්‍රී ලංකා සමාජයට දැඩි බලපෑම් සිදුකරන්නට සමත් වූවෙකි. ඒ බව තහවුරු වන්නේ බොහෝ සිනමා සම්මාන උළෙලහි දී කල්පිත සමරසේකර ගුරුතුමාගේ චරිතයට පණපෙවූ උත්කෘෂ්ඨ රංගධරයකු වූ අභාවප්‍රාප්ත ජයලත් මනෝරත්නයන් වසරේ විශිෂ්ටතම රංගන ශිල්පියා වශයෙන් සම්මානයට පාත්‍රවීමය.
එකී සම්මානවලට ප්‍රධාන වශයෙන් ඉවහල් වූයේ කල්පිත සමරසේකරයන සිනමා පටය තුළ සිදුකරන සමාජ විප්ලවයය. (එයින් අප මනෝරත්නයන් සතුවූ රංගන ප්‍රාතිහාර්යය හෑල්ලු නොකරමු.) විවිධ පන්ති, විවිධ ජන කණ්ඩායම්, විවිධ වෘත්තීන් හි නියැලෙන මිනිස් ප්‍රජාවක් වෙසෙන කුඩා ඒකයක් වන ගමක් තුළ සමරසේකරයන් කරන්නේ දැවැන්ත විප්ලවයකි, ආකල්ප විප්ලවයකි. ජයලත් මනෝරත්නයන් සම්මානිත වන්නේ එම පසුබිමේ පිහිටාය. කොටින්ම කියන්නේ නම් ඔහුට එම සම්මාන හිමිවන්නේ සමරසේකර ගුරුතුමාගේ සමාජ විප්ලවයට සැලෝලයිඩ් පටයක් තුළ වුව ප්‍රාණය එක්කළ හෙයිනි.
අප කියන්නට යන්නේ මෙම සිනමා පටයේ එන ක්‍රීඩාවේ ගැමි ආකල්ප විප්ලවය ගැනය. නිසි පරිදි කළමනාකරණය කරන්නේ නම් ගැමි දරුවන් සතු නිසඟ කුසලතාව මගින් නොවිරූ ජයග්‍රහණ ලබාගත හැකි බවය. එහිදී පැන නගින ප්‍රධාන ගැටලුව සමරසේකරගේ මුලටියන විදුහලේ කල්පිත ලෝකය වර්තමානයේ තථ්‍ය ලෝකය තුළ දැකිය හැකිද යන්නය. එහෙත් 'ගමට ක්‍රීඩා' යනුවෙන් අප ආරම්භ කළ ක්‍රීඩාවේ දක්ෂයන් සොයා ගමින් ගමට යන ‘සිළුමිණ ක්‍රීඩා’ නව්‍ය ව්‍යාපෘතිය ආරම්භයේදී එය කල්පිතයක් නොවන බව තහවුරු වුණේය. ඒ කල්පිත සමරසේකර ගුරුතුමාට සමාන සමාජ විප්ලවයක නිරතවන සැබෑ ගුරුවරයෙක් මුණගැසීම සමඟිනි. ඔහු පුත්තලම් දිස්ත්‍රික්නයේ මහඋස්වැව රතනපාල විදුහලේ වොලිබෝල් පුහුණුකරුවා වශයෙන් කටයුතු කරන අනිල් චන්ද්‍රකුමාරය.
චන්ද්‍රකුමාර ද වෘත්තියෙන් වොලිබෝල් පුහුණුකරුවකු නොව ඉලෙක්ට්‍රොනික් විද්‍යාව විෂය උගන්වන ගුරුවරයෙකි. එහෙත් ඔහු ‘යූ ටියුබ්’ පරිශීලකයකු වන නමුත් කල්පිත සමරසේකර ගුරුතුමාට සමානය.
අපට අවශ්‍ය එම සමානත්වය ගැන කිවීම නොවේ. කල්පිතයක් නොවන චන්ද්‍රකුමාර වැනි ගුරුවරුන් සොයා ගැනීමට දැන් කාලය එළඹ ඇතිබව ප්‍රකාශ කිරීමය. ආසියා, පොදු රාජ්‍ය මණ්ඩලයී හෝ ඔලිම්පික් පදක්කම් සොයන්නේ නම් අප ඒ සඳහා චන්ද්‍රකුමාරලා සොයා ඔවුන් සවිබල ගැන්විය යුතුය. එහෙත් එය දේශපාලන බලඅධිකාරියේ ඇමැතුමක් ලැබෙනතුරු බලා නොසිට සිදුකළ යුතුව ඇත. මේ ඒ සඳහා සුදුසුම කාලයය.










