
සුන්දර ශ්‍රී ලංකාවේ වෙසෙන අපට නම් රාත්‍රිය එළඹණු පසු තවත් පැය හය හතකින් උදා ඉරු එළිය දක්නට ලැබෙන බව නිශ්චිතය. ඒකාන්තය. අපි දහවලද රාත්‍රියද එකසේ අත්විඳින්නට වාසනාව ලද්දෝ වෙමු.
එහෙත් උතුරු අර්ධගෝලයේ පිහිටා ඇති ඇලස්කාවේ උතුරු කෙළවරේ පිහිටා ඇති උටික්යාග්වික් හෙවත් ‘බරෝ’ ලෙස නම් ලබා ඇති නගරයේ මිනිසුන් යළිත් හිරු දකිනු ඇත්තේ ලබන ජනවාරි 23වැනිදාටය.
ඒ දක්වා දීර්ඝ දින 65ක රාත්‍රියක් ගෙවා දැමීමට මේ නගරයේ පමණක් නොව ඇලස්කාවේ උතුරේ පිහිටා ඇති තවත් නගර කිහිපයකම ජනතාව හුරු පුරුදු වී සිටිති.
ඒ සැන්දෑවේ හිරු බැස ගිය පසු යළිත් පැය කිහිපයකින් හිරු උදාවීම අපට හුරු පුරුදු වී ඇතිවා සේ මය.
වසරේ ඇතැම් කාලවල අප ගෙවා දමන දිනවල දහවල් කාලය දිගු වැඩි බව ඔබට වැටහී ඇතිවාට සැක නැත. ඇතැම් කාලවල රාත්‍රිය දිගුය.
අප සමකාසන්න රටක් බැවින් හිරු එළිය සෘජුවම අප වෙත ලැබෙන අතර පෘථිවියේ ආනතිය අපට බලපාන්නේ මෙලෙස ඉතා සුළු වශයෙනි. එහෙත් ධ්‍රැවීය ප්‍රදේශවල වාසය කරන ජනතාවට පෘථිවියේ ආනතිය හේතුවෙන් ඉතා වෙනස් අත්දැකීම්වලට මුහුණ දීමට සිදුවී තිබේ. දින 65ක් අඳුරේ සිටීමද ඒ අතරින් එකක් පමණි.
ඇලස්කාව යනු ඇමරිකාවේ ප්‍රාන්තයක් වන අතර වසර පුරාම හිමෙන් වැසී ගිය අධික ශීතල කාලගුණයකින් යුක්ත ප්‍රදේශයකි.
එහි උතුරු කෙළවරේ නගර කිහිපයක්ම පිහිටා ඇති අතර උටික්යාග්වික් යනු ඒ අතරින්ද උතුරෙන්ම පිහිටා ඇති නගරයයි.
එය ‘බරෝ’ යනුවෙන් හැඳින්වීමට හේතුවී ඇත්තේද මේ පිහිටීමය. එනම් ‘හා ගුල’ක් වැනිය යන අදහස ලබා දීමට නගර වැසියන් මේ නගරයට ‘බරෝ’ යනුවෙන් අන්වර්ථ නම් ලබා දී තිබේ.
මේ ‘හා ගුලේ’ වැසියෝ ජීවත් වන්නේ ලෝකයේ කෙළවරේ බැවින් ඔවුන්ට පෘථිවියේ ආනතිය ප්‍රබල ලෙස බලපෑම් කරමින් තිබේ.
පෘථිවියේ ඇලය හේතුවෙන් හිරු රැස් ඍජුව නොවැටෙන කාලයේදී ඔවුනට සිදුවන්නේ මාස දෙකකට අධික දීර්ඝ කාලයක් අඳුරේම ගෙවා දැමීමමටය.
නොවැම්බර් මාසය උදා වන විට මේ දීර්ඝ රාත්‍රියට සූදානම් වන ඔවුන් තම බලශක්තිය යොදවමින් රාත්‍රියද දහවල මෙන් ආලෝකමත් කර ගැනීමට කටයුතු යොදති.
නොවැම්බර් අවසානය හෝ දෙසැම්බර් මුල් දිනවල ඔවුන් අවසාන හිරු රැස් දකින අතර එතැන් සිට මාස දෙකකට අධික කාලයක් ඔවුන් රාත්‍රියේ ගිලී යන්නෝය.
මේ නගරයේ මේ වන විට වැසියන් 4000ක් පමණ ජීවත් වන බවට වාර්තා වේ. මේ වැසියන් දීර්ඝ රාත්‍රියේදී වුව තම ජිවිත සාමාන්‍ය පරිදි ගෙවා දැමීමට කටයුතු යොදති.
දීර්ඝ රාත්‍රිය උදාවීමට ප්‍රථම ඔවුන්ගේ දින ක්‍රමයෙන් කෙටි වන අතර නොවැම්බරයේදී ඔවුන්ට රාත්‍රිය උදා වන්නේ දහවල් 1.45ට පමණ වීම විශේෂයෙන් සඳහන් කළ යුතුය. යළිත් හිරු රැස් අත්විඳීමට ලැබෙන ජනවාරි 23වැනිදා වන තෙක් ඔවුන් ඉවසිල්ලෙන් බලා සිටින අතර බොහෝ දුරට ඔවුන්ගේ අවුරුදු උදාවද එදිනම වනු ඇත්තේ දීර්ඝ කාලයකට පසු හිරු එළිය අත්විඳීම සැබවින්ම මංගල්‍යයක්ම වන බැවිනි.
ආක්ටික් කලාපයේ වැසියන්ට මේ අත්දැකීම හුරුපුරුදු වුවද ලොව බොහෝ රටවලට එය නුහුරු අත්දැකීමක් වන බැවින් දීර්ඝ රාත්‍රිය අත්විඳීමේ අරමුණින් යුක්තව රටටවල සංචාරකයන් ‘බරෝ’ වෙත පැමිණීමට හුරුවෙමින් සිටිති. ඇතැම් විට දින කිහිපයක් එහි රැඳී සිටින සංචාරකයන්ට හිරු රැස් යනු දෙවියන්ගෙන් ලද දායාදයක්ය යන්න හොඳින් තහවුරු වනු නොඅනුමාය.