හොකී නිජබිම ඉදිවනසමරු ස්මාරක රුව ගුණ ගැන | සිළුමිණ

හොකී නිජබිම ඉදිවනසමරු ස්මාරක රුව ගුණ ගැන

මෙරට හොකී නිජබිම මාතලේ පුරවරය ය. එහි හොකී ස්මාරකයක් ඉදිකිරීමට ශ්‍රී ලංකා යුද හමුදා විශ්‍රාමික හොකී සංගමය පියවරගෙන තිබේ. ඒ මහනුවර මාතලේ මාර්ග පිවිසුමේ මාතලේ නගරයේ අධ්‍යාපන කාර්යාලයීය වටරවුම අසළ භුමි භාගයකය. හැත්තෑ අට වසරක හොකී ඉතිහාසයකට උරුමකම් කියන මාතලේ නගරයේ හොකී ස්මාරකයක් ඉදිවෙන මුල්ම අවස්ථාව ද මෙය ය.

මෙම ඉදිකිරීම සම්බන්ධයෙන් 'ක්‍රීඩා' සමඟ අදහස් දැක්වූ 1990 වසරේ ශ්‍රී ලංකා හොකී පිලේ නායකයා වූ තිලක් විමලසිංහ මහතා මෙම ස්මාරකය ඉදිකිරීම ගැන දක්වන්නේ දැඩි සතුටකි. 'මාතලෙන් බොහෝ හොකී ක්‍රීඩක, ක්‍රීඩිකාවන් පිරිසක් බිහිවුණා. ඒ අතරින් දහයකට වැඩි පිරිසක් ශ්‍රී ලංකා ජාතික හොකී පිලේ නායකත්වය දරලත් තිබෙනවා. ඒ කියන්නේ හොකී නායකයෝ ආවේ මාතලෙන්. අදටත් ජාතික කණ්ඩායමෙන් හරි අඩකට වැඩි සංඛ්‍යාවක් එන්නේ මේ පුරවයෙන්මයි. එවැනි පසුබිමක මාතලේ හොකී ස්මාරකයක් ඉදිවීම කාලෝචිත සහ අගයකළ යුතු ක්‍රියාවක්.' යැයි ඔහු පවසයි.

මේ සම්බන්ධයෙන් හැටේ දශකයේ අවසන් වසර ගණනාව ශ්‍රී ලංකා කාන්තා හොකී පිල නියෝජනය කළ චන්ද්‍රිකා ද සිල්වා මහත්මිය හොකී පුහුණුකාරිණියක් වශයෙන් කටයුතු කරන අතර මෙසේ පැවසීය. 'මාතලේ හා හොකී කියන්නේ ගහට පොත්ත වගේ දැඩි සම්බන්ධයක් පවතින්නේ. ජාතික හා ජාත්‍යන්තර හොකී ක්‍රීඩිකාවන් බහුතරයක් බිහිවුණේ මාතලේ පුරවරයෙන්. එවැනි පුරවරයක හොකී ස්මාරකයක් ඉදිවීම මම අතිශයින් අගය කරනවා. එයට මුල්වූ සැමට ස්තුතියි.ං යැයි පවසන්නීය.

ශ්‍රී ලංකා යුද හමදා පොලිස් හොකී පිල නියෝජනය කළ ප්‍රවීණ ප්‍රාදේශීය මාධ්‍යවේදියකු වන හිල්ටන් ජේ. බෙරෙන්ජර් මහතා පැවසූයේ හැත්තෑ අට වසරක මාතලේ හොකී ඉතිහාසයේ දශක හතරක් පමණ තොරතුරු වාර්තා කරමින් ක්‍රීඩාව සමාජගත කිරීමට තමන් කටයුතු කළ බවයි. 'අද වගේ එදා ගොඩාක් පත්තර තිබුණේ නෑ, වාර්තාකරුවන් සිටියේත් නෑ. ලේක්හවුස් එකේ දිණමිණට, ඩේලි නිව්ස් එකට හොකී ගැන ලිව්වේ මමයි. ඒ නිසා හොකී හා බැඳුණු සුන්දර මතක ගොන්නක්ම මතකයේ තිබෙනවා. මේ ස්මාරකය කාලයකට පෙර හදන්න තිබුණා කියලයි මම හිතන්නේ. කොහොම වුණත් අද හෝ එවැන්නක් ඉදිවීම මම අගය කරනවා.

ඒ වගේම මෙය යුද හමුදාවේ විශ්‍රාමික හොකී ක්‍රීඩකයන්ගේ මැදිහත්වීමෙන් නිර්මාණය වන එකගැනත් මට සතුටුයි. මොකද මමත් ශ්‍රී ලංකා යුදහමුදාවේ පොලිස් පිල නියෝජනය කළ ක්‍රීඩකයෙක් නිසා. ඒ වගේම තවත් දෙයක් මතක් කළොත් හොඳයි. මාතලේට හොකී ක්‍රීඩාව හඳුන්වා දුන් 'ජෝර්ජ් මෑන්' මහත්තයාට අපි සැලකුවා මදි කියලා මට හිතෙනවා. ඔහු අද මතකයේ ඇති චරිතයක් විතරයි. ඒ වගේම මාතලේ මහනගර සභාවේ මන්ත්‍රීවරයෙක් වශයෙන් මම නන්දිමිත්‍ර හොකී ක්‍රීඩා පිටියේ ප්‍රේක්ෂකාගාරය 'ජෝර්ජ් මෑන්' නමින් නම් කිරීමට මම යෝජනාවක් ගෙනාවා. එය තවත් හොකී ක්‍රීඩකයෙක් වූ යූ.එල්.එම්. ලතීබ් මහතා ස්ථිර කළා. එය සභා සම්මත වුණත් අද වනතුරු ක්‍රියාත්මක වුණේ නැහැ.' යැයි ද ඒ මහතා පැවසීය.

ශ්‍රී ලංකා යුද හමුදා විශ්‍රාමික හොකී සංගමයේ සභාපති විශ්‍රාමික මේජර් මිල්ටන් ගුණවර්ධන, විශ්‍රාමික බලලත් නිලධාරි වජිර කුමාර දේවනාරායන සහ විශ්‍රාමික මාණ්ඩලික සැරයන් ඉන්දික විල්ලවආරච්චි යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ මෙම ඉදිකිරිම් සිදුකෙරේ.

 

 

සේයාරූ හා සටහන - චන්ද්‍ර ශ්‍රී අසෝක බණ්ඩාර හිඳගොඩ

Comments