මම මුලින්ම නැග්ගේ පාපැදියට | සිළුමිණ

මම මුලින්ම නැග්ගේ පාපැදියට

 

ඔහු විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දුය. වර්තමානයේ මලල ක්‍රීඩා සංගමයේ සභාපතිවරයාය. ‘ක්‍රීඩා’ ඔහු මුණගැසුණේ මලල ක්‍රීඩා සම්බන්ධයෙන් හා එහි අනාගතය පිළිබඳ සුහද සංවාදයකට ය.

ජාතික මලල ක්‍රීඩා ශූරතාව මේ සතියේ ආරම්භ වුණා. ඒත් ඒක සියල්ලන්ටම විවෘත වුණේ නෑ. තෝරාගත් අයට විතරයි ආරාධනා කරලා තියෙන්නේ. මොකක්ද මේ හේතුව?

ඒක අපි කළේ කොවිඩ් තත්ත්වය සැලකිල්ලට අරගෙනයි. එතැනදී අපි මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබන්න අවස්ථාවක් ඇති ක්‍රීඩකයින් ලෙස සලකන ක්‍රීඩකයින් වෙනුවෙන් ජාතික ශූරතාව පවත්වන්නෙ. කොළඹ සුගතදාස ක්‍රීඩාංගණය ආශ්‍රිතව තමයි තරගාවලිය තියන්නේ.

කොහොමද ඔවුන්ව තෝරාගත්තේ?

අපි ඔවුන්ගේ පසුගිය දක්ෂතා සලකලා බලලා තරගාවලියට කැඳවන ක්‍රීඩක, ක්‍රීඩිකාවන් තීරණය කළා.

මලල ක්‍රීඩා සංගමය ගත්ත මේ තීරණය ක්‍රීඩකයන්ගේ පැත්තෙන් අසාධාරණයක් නොවෙයි කියලද ඔබ හිතන්නෙ?

මෙහෙමයි. අපි මෙතැනදී බැලුවේ සෞඛ්‍ය ආරක්ෂාව. ජාතික තරගාවලිය විවෘත කළ යුතු වුවත් අපිට යම් යම් සීමා දාන්න සිද්ධ වුණේ පවතින තත්ත්වයට මුහුණ දෙන්න අවශ්‍ය නිසයි. කොහොම වුණත් මේ තීන්දුව නිසා අසීරුවට, අසාධාරණයට ලක්වෙන ක්‍රීඩකයෙක් වෙත්නම් අපිට කරුණු දක්වන්න පුළුවන්.

ඔබ මලල ක්‍රීඩා සභාපතිවරයා වශයෙන් කටයුතු කරන්න පෙර පාපැදි පරිපාලනයේ නේද හිටියෙ?

ඔව්. මම මුලින්ම යුද හමුදාවට බැඳුණු කාලයේ මට යුද හමුදා පාපැදි කණ්ඩායම සමඟ වැඩකරන්න සිදුවුණා. ඒ කණ්ඩායමේ පුහුණුකරුවා වශයෙනුත් මම කටයුතු කළා. ඒ නිසා අනූව දසකයේ මුල් භාගයේ මට පාපැදි සම්මේලනයේ උපසභාපතිවරයෙක් ලෙස පත්වීමක් ලැබුණා.

එහෙනම් කොහොමද මලල ක්‍රීඩාවට ආවෙ?

රංජිත් වීරසේන මහත්තයා නිසා. එතුමා මට කිව්වා මලල ක්‍රීඩා පරිපාලනයට එන්න කියලා. මුලින්ම කමිටු සාමාජිකයකු වශයෙන් මම එතනට එක්වුණා. ඉන්පසු මලල ක්‍රීඩා සංගමය තුළ විවිධ තනතුරු දැරුවා. විශේෂයෙන් මලල ක්‍රීඩා සංගමයේ ලේකම් සහ සභාපතියන ද්විත්ව තනතුර දරපු එකම පුද්ගලයා මමයි.

මලල ක්‍රීඩාවට එන්න ඔබ මලල ක්‍රීඩාවේ නියැලිලා තියෙනවද?

ඇයි නැත්තෙ. එහෙම නැතිව කොහොමද සංගමයට එන්නෙ. මම ක්‍රීඩකයෙක්.

කවුද ඔබේ සමකාලීනයෝ?

ජී.එල්.එස්. පෙරේරා, එච්.ඩබ්ලිව්. නිමල්සිරි, උපාලි කුමාරසිරි, වැනි අය හිටියා. ඊට අමතරව එන්.ඒ.ටී. ජයසිංහ, වැලිමඩ මධ්‍ය මහා විදුහලේ එන්.ඒ. අබේරත්න, හොරණ ශ්‍රීපාලියේ ඩග්ලස් ධනවර්ධන, ජී.එල්.සී. සල්ගාදු, බන්දුල ජයසිංහ කියන්නේ දක්ෂතා දැක්වු මගේ සමකාලීන ක්‍රීඩකයන්.

මොනවද ඒ කාලේ ඔබ ලබපු ක්‍රීඩා ජයග්‍රහණ?

මම පානදුර ශ්‍රී සුමංගල විදුහලෙන් අධ්‍යාපනය ලැබුවේ. ඒ කාලේ මම මීටර් 400 හා 800 ඉසව්ව තමයි කළේ. මගේ මලල ක්‍රීඩා ගුරුවරයා වුණේ අභාවප්‍රාප්ත ලක්ෂ්මන් විජේසූරිය මහත්මයා. එතුමාගේ පුහුණු අධීක්ෂණය යටතේ මම ජාතික පාසල්, හා කනිෂ්ඨ තලයේ තරගවලදී මීටර් 400 හා 800 තරග ජයග්‍රහණය කරලා තිබෙනවා.

මලල ක්‍රීඩා පරිපාලනය තුළ ඔබට අමතක නොවන අත්දැකීම් ඇති. අපි ඒ ගැන කතාකරමු?

ඕනෑ තරම්. නමුත් මම සිදුවිම් දෙකක් පමණක් සිහිකරන්නම්. වරක් ඉන්දුනීසියාවේ ජකර්තා නුවර ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු වුණේ මමයි. එතැනදී අපි ජයග්‍රහණ ගණනාවක්, නව ශ්‍රී ලංකා වාර්තා හා ආසියානු වාර්තා පිහිටෙව්වා. ඒ වගේමයි ඊළඟ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබන්නත් අපේ මලල ක්‍රීඩකයන් කීපදෙනෙකුටම අවස්ථාව ලැබුණා.

ඒ වගේම තමයි 2003 අවුරුද්දේ ජපානයේ ඔසාකා නුවරදී සුසන්තිකා ජයසිංහ මීටර් 200 ලෝකඩ පදක්කම දිනාගැනීමත්, 2019 කත්මණ්ඩු දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී අපේ ක්‍රීඩක, ක්‍රීඩිකාවන් වැඩිම දකුණු ආසියානු පදක්කම් දිනාගැනීමත් මට අමතක කළ නොහැකි සිදුවීම්.

ඒ කියන්නේ මලල ක්‍රීඩා පරිපාලකයෙක් විධිහට ඔබ තෘප්තිමත්?

ඔව්. මම මලල ක්‍රීඩා සංගමයේ සභාපතිවරයා වශයෙන් අතිශය තෘප්තිමත්. මොකද මම සභාපතිවරයා වශයෙන් කටයුතු කළ සෑම අවස්ථාවකදීම අපට ක්‍රීඩාවේ ප්‍රගතියක් ලබාගන්න හැකිවුණා. ඒ නිසා මට සතුටක් තිබෙනවා

Comments