බෙල්ජියමෙන් විද්ද 20 විස්සේ හොඳම ගෝලේ | Page 2 | සිළුමිණ

බෙල්ජියමෙන් විද්ද 20 විස්සේ හොඳම ගෝලේ

'දෙදහස් විස්ස වසරේ ලෝකයේ හොකී ක්‍රීඩක, ක්‍රීඩිකාවන් විදින ලද හොඳම ගෝලය පසුගිය ඉරිදා (දෙසැම්බර් 13) තම ජීවිත ගමනේ විසි වැනි වියට පා තැබූ බෙල්ජියමේ "ඇම්බ්‍රේ බැලන්හියන්" හිමිකරගත්තාය.

එහි දෙවැනි ස්ථානය ඉන්දියානු ජාතික පිරිමි කණ්ඩායම නියෝජනය කරන "ගුර්ජන්ට් සිං"ට හිමිවද්දී තෙවැනි තැන ආර්ජන්ටිනා කාන්තා කණ්ඩායමේ ප්‍රවීණ ක්‍රීඩිකා "කාර්ලා රෙබේවි" නමින් සටහන් විණි. මේ ඒ පිළිබඳ ය.'

බෙල්ජියමේ "ඇම්බ්‍රේ බැලන්හියන්" මෙම වසරේ පෙබරවාරි පළමුවැනිදා නවසීලන්තයට එරෙහිව රැස්කළ මනරම් ගෝලය වසරේ විශිෂ්ඨතම ගෝල සම්මානය ඇයට හිමිකර දුන්නේය. කණ්ඩායමේ සහෝදර ක්‍රීඩිකාවක් දකුණු පස සිට යොමු කරන ලද පන්දු පහර වම් ආන්තික ක්‍රීඩිකාවක ලෙස වේගවත් ධාවනයක යෙදෙමින් මැනවින් පිළිගන්නා "ඇම්බ්‍රේ බැලන්හියන්" මීටර් 26 ක දුරක් තනිවම පන්දුව රැගෙන ගොස් එම ගෝලය වාර්තා කර තිබිණි. එය වසරේ විශිෂ්ටතම ගෝලය බවට පරිවර්තනය වන්නේ ඉතා සියුම් ඉඩ කඩක් උපයෝගී කරගනිමින් එය ගෝලය තුළට යොමු කිරීමට ඈ සූක්ෂ්ම වූ හෙයිනි.

දකුණු පසින් ආක්‍රමණයට සහයෝගය දක්වන තම කණ්ඩායමේ සහෝදර ක්‍රීඩිකාවන්හට පන්දුව යොමු කරන ආකාරයට ප්‍රතිවාදීන් තුළ චිත්ත රූප මවමින් මැනවින් පන්දුව පාලනය කළ ඈ ප්‍රතිවාදී ආරක්ෂක ක්‍රීඩිකාවන් මුලාවට පත් කරමින් පන්දුව ඉදිරි "අඩ කවය" තුළට රැගෙන යාම ද වාර්තාගත ගෝලය සේම විශිෂ්ඨය.

මීටර් 91.40 ක් දිග සහ මීටර් 55 ක් පළල කෘත්‍රිම හොකී ක්‍රීඩා පිටිය තුළ මිනිත්තු 60 ක කාලයක් පුරා ඔබ මොබ දිවයමින් නිසර්ග හැකියාවන් මැනවින් ප්‍රදර්ශනය කරන්නට සමත්වූ බැලන්හියන් වසරේ සම්මානිත ගෝලය වාර්තා කළේ තරගය ඇරඹී තෙවන මිනිත්තුවේ දීම ය. අඩ කවය තුළට පන්දුව රැගෙන ආ ඇය ග්‍රෑම් 156 ක් බරැති kookaburra වර්ගයේ පන්දුව මීටර් 02.14 ක උසකින් හා මීටර් 03.66 ක පළලකින් යුත් ගෝල් පුවරුවට යොමුකළේ අසුරු සැණිනි. එම පහර හමුවේ ප්‍රතිවාදී නවසිලන්තය ගෝල් රකින්නීය අන්ද මන්ද වූ බවක් පැහැදිළිව දිස්විණි. politan වර්ගයේ කෘත්‍රිම තණ පළස තුළ ඝර්ෂණය බලය අඩු කිරීම සඳහා යොදා තිබුණු ජල බිඳිති වල වාසිය උපරිමෙන්ම ප්‍රයෝජනයට ගත් මෙම උපක්‍රමශීලී ක්‍රීඩිකාව backhand ශිල්පීය ක්‍රම වේදයට අනුව එල්ල කළ වේගවත් පන්දු පහර ගෝල් රකින්නීයගේ පා ආවරණය සහ අත් ආවරණය අතරින් ඉල්පී යන ආකාරයට මෙම ගෝලය වාර්තා විණි.

වම්පසින් ආක්‍රමණයේ යෙදෙන ක්‍රීඩිකාවක් විසින් එල්ල කරන පන්දු පහර ආවරණය කිරීමේදී ප්‍රතිවාදී ගෝල් රකින්නියගේ දකුණු පස ගෝල් කණුව ආරක්ෂා කිරීම ගෝල් රකින ක්‍රීඩිකාව ගේ ප්‍රධානම වගකීම ය.එහෙත් ඇගේ දකුණු පස විවර ව තිබුණු සෙන්ටිමීටර් කිහිපය අතරින් යන පරිදි පන්දුව යොමුකර එය ගෝලයක් බවට පරිවර්තනය කිරීමට බැලන්හියන් සමත් වීම ඇයගේ උපක්‍රමශීලීත්වයේ ප්‍රබලත්වය ය.

පිටියේ වේගවත් ධාවනයක යෙදෙමින් නුහුරු පාදය ඉදිරියේ තිබූ පන්දුව නොසලකමින් ගෝල් රකින්නීය සහ ගෝල් කණුව අතර ඇති සියුම් ඉඩකඩ දුටු සැණින් එල්ල කරන ලද මෙම back hand ශිල්පීය ක්‍රමයේ පහර වසරේ විශිෂ්ඨතම ගෝලය බවට නම් කර ඇත්තේ එහි ඇති අසීරුකම මෙන්ම ඇය ප්‍රදර්ශනය කළ දක්ෂතාවය නිසාවෙනි.

'මට උවමනා රට වෙනුවෙන් උපරිම දක්ෂතා දැක්වීම. හොඳින් ක්‍රීඩා කිරීම. අධ්‍යාපනය ලබන විද්‍යාර්ථියෙක් වශයෙන් ක්‍රීඩාව හා අධ්‍යාපනය සමබරව පවත්වාගෙන යාම. ඒ වගේමයි බෙල්ජියම ලෝකයේ ප්‍රමුඛතම හොකී රාජ්‍යයන් හතර අතරට ගෙන ඒම.' යැයි ඇය කියන්නී ය.

වසරේ විශිෂ්ඨතම ගෝලය සහ එහි තෙවැනි ස්ථානය ක්‍රීඩිකාවන් විසින් හිමිකර ගනිද්දී ඉන්දීය කණ්ඩායම නියෝජනය කරන "ගුර්ජන්ට් සිං" ලොව විශිෂ්ටතම දෙවැනි ගෝලයට හිමිකම් කීවේය. ඒ ක්‍රීඩකයින්ගේ ගෞරවය යම් තරමකට ආරක්ෂා කර ගනිමිනි. ඒ ගෝලය ඔහු වාර්තා කළේ නෙදර්ලන්තයට එරෙහිව ය.

මෙහි තෙවැනි ස්ථානයට හිමිකම් කියන ආර්ජන්ටිනාවේ "කාර්ලා රෙබේවි " වාර්තා කරන ගෝලය හොකී ක්‍රීඩාවේ 'නොනිමි පශ්චාත් ඉරියව්වට' නිදර්ශන සපයයි. ආර්ජන්ටිනාව වෙනුවෙන් අන්තර් ජාතික තරග 317 කට සහභාගි වී ඇති මෙම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාව මෙතෙක් වාර්තා කර ඇති අන්තර්ජාතික ගෝල් සංඛ්‍යාව 160 කි.

Comments