ජැෆ්නා ස්ටැලියන්ස් නගන සංඥාර්ථය තේරුම් ගනිමු | Page 2 | සිළුමිණ

ජැෆ්නා ස්ටැලියන්ස් නගන සංඥාර්ථය තේරුම් ගනිමු

ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්.) තරගාවලිය නිමාව දුටුවේය. ආරම්භයේදී බොහෝ දෙනෙක් අනුමාන කළ පරිදි යාපනය කණ්ඩායම (ජැෆ්නා ස්ටැලියන්ස්) ශූරතාවට හිමිකම් කීවේය. එහෙත් එල්.පී.එල්. තරගාවලියේ සැබෑ ලෙසින් ජයගත්තේ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම ද? එය ගැඹුරින් විමසා බැලිය යුතුව ඇත.

අපට පෙනෙන ආකාරයට අනුව නම් මෙම එල්. පී.එල්. තරගාවලිය මගින් ජයග්‍රහණ ගණනාවක් රැගෙන ආවේය. ඉන් පළමුවැන්න ලෙස අප දකින්නේ මිය ඇදෙමින් තිබූ ප්‍රේක්ෂකත්වය පිබිදවීමට හැකිවීම ය. දෙවැන්න අනාගතය බාරගැනීමට සූදානමින් සිටින දේශීය යෞවන ක්‍රිකට් ක්‍රීඩකයන්ට ඒ සඳහා වේදිකාවක් නිර්මාණය කරදීම ය. තෙවැන්න අන්තර්ජාතික ප්‍රමුඛ පෙළ ලීග් විස්සයි විස්ස තරග සඳහා දක්ෂ එමෙන්ම තරුණ දේශීය ක්‍රීඩකයන්ට වෙළෙඳපොළක් ගොඩනැංවීමයි. ඉන් ලබාගත් අනෙක් ජයග්‍රහණය වනුයේ වෘත්තීය ක්‍රීඩා තරග සංවිධානය කිරීමට දිරි ගන්වමින් එය ක්‍රීඩා ආර්ථිකය ශක්තිමත් කිරීමට විවිධ ක්‍රීඩා සංගම් බල ගැන්වීම ය. ඒ අනුව මෙරට තුළ ග්‍රෝන් ෆ්‍රී වර්ගයේ තරගාවලි සංවිධානය කිරීමට බොහෝ ක්‍රීඩා සංගම් හා සම්මේලන උත්සුක වනු නිසැකය.

ජෛව බුබුළු තාක්ෂණය දකුණු ආසියාව තුළ වඩා සාර්ථකව ක්‍රියාවට නංවමින් කෝවිඩ් වැනි වසංගත රෝග තත්ත්වයක් ඉදිරියේ මෙවැනි තරගාවලියක් පැවැත්වීම අන්තර්ජාතික අවධානය හිමිවන ජයග්‍රහණයකි. එය රටක සෞඛ්‍ය අංශ මෙන්ම එරට රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් ලබාගත හැකි හොඳම සහතිකයකි. ඉදිරියේදී ජාත්‍යන්තර තරග සංවිධානය කරන්නේ නම් ජෛව බුබුළු තාක්ෂණය ඔස්සේ ශ්‍රී ලංකාව තුළ එය පහසුවෙන් සිදුකළ හැකි බවට දැල්වෙන කොළ එළි මාලාවකි.

කෙසේ නමුත් මෙය උතුරේ තල් අරඹ නියෝජනය කළ කණ්ඩායම දකුණේ පොල් අරඹ නියෝජනය කළ කණ්ඩායම පරදා ලබාගත් ජයග්‍රහණයක් වශයෙන් පමණක් එල්.පී.එල්. තරගාවලිය ලඝු කළ නොහැකිය. එය උතුර, දකුණ, නැගෙනහිර නැතහොත් බටහිර වුවද ඒ සියලු පළාත් ඇත්තේ ශ්‍රී ලංකා භූමියේමය එහෙයින් එල්.පී.එල්. කුසලාන උතුර දිනුවද, දකුණ දිනුවද අප දකින්නේ එහි ක්‍රීඩාශීලිත්වය මිස ජාතිකත්වය එසේ නැතහොත් වාර්ගිකත්වය නොවේ. එය කවර ආගමක්, කවර භාෂාවක් කතාකරන, කවර සංස්කෘතියක් අදහන ජන කණ්ඩායමක් නියෝජනය කරන ක්‍රීඩකයන් ඇතුළත්ව සිටිය ද එහි විශේෂත්වයක් නැත. එහෙත් අප අල්වා ගතයුතුව ඇත්තේ එම ජයග්‍රහණය තුළින් ලබාදෙන ප්‍රබල සංඥාර්ථයය. එයින් කියැවෙන ප්‍රධානතම පණිවුඩය උතුරේ ක්‍රීඩාවේ යටිතල පහසුකම් වැඩි දියුණු කරන්නට මෙය අවස්ථාවක් කරගත යුතු බවය. ක්‍රීඩාංගණ පුළුල් කළ යුතුය. ක්‍රිකට් තණතීරු ඉදිවිය යුතුය. සුදුසුකම් ලත් පුහුණුකරුවන් උතුරු, නැගෙනහිර දිස්ත්‍රික්කයන්හි බිහිකළ යුතුය යන්නය. එය සිදුකළ හැක්කේ ක්‍රිකට් ක්‍රීඩාව පාර්ශ්වයෙන් නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ය. අනවශ්‍ය ලෙස මුදල් වැය කරමින් තම තමන්ගේ සුඛ විහරණය පිණිස කටයුතු කරනු වෙනුවට බලධාරීන් සිදුකළ යුත්තේ එය ය. එල්.පී.එල්. තරගාවලියේ ශූරතාව දිනමින් ජැෆ්නා ස්ටැලියන්ස් කියන්නේත් එය ය. අප එම සංඥාර්ථයෙන් ගැඹුරු සංජානනයක් ලබාගැනීමට මෙය අවස්ථාව කරගත යුතුව ඇත.

සංස්කාරක

Comments