ක්‍රීඩාව බ්‍රෑන්ඩ් කරන්න අපේ සල්ලි කාරයෝ පස්ස ගහනවා | සිළුමිණ

ක්‍රීඩාව බ්‍රෑන්ඩ් කරන්න අපේ සල්ලි කාරයෝ පස්ස ගහනවා

වුෂු මානෙල්ගේ බූදලයක් නොවෙයි

මම චන්ඩියෙක්වත් කූඩැල්ලෙක්වත් නොවෙයි

2022 ආසියානු පදක්කමක් දිනනවා ස්ථිරයි

වුෂු සමාගමකි. එය පෞද්ගලික සමාගමකැයි ඇතැම්හු පවසති. ඒ අනුව එහි අධ්‍යක්ෂ මණ්ඩලයක් ඇත. ඒ අධ්‍යක්ෂ මණ්ඩලය වෙනස් නොවන්නේ ද? ශ්‍රී ලංකා වුෂු සමාගමක් නම් එහි ප්‍රධානියා මානෙල් ධර්මකීර්ති පමණක්ම ද? එසේනම් ඔහු අයත්වන්නේ ක්‍රීඩා කූඩැල්ලන්ගේ ගණයට ද? නැතහොත් ඔහු ඔත්තුකරුවෙක් ද? උභතෝකෝටික ප්‍රශ්න වැලකට පිළිතුරු සොයා 'ක්‍රීඩා' කොළඹ සිංහල ක්‍රීඩා සමාජයේදී ඔහුව මෙලෙස මුහුණට මුහුණ මුණගැසුණේය.

වුෂූ කියන්නේ පෞද්ගලික සමාගමක් වගේ කියලා කියනවා?

එහෙම එකක් නෑ. ඇයි ඔබ එහෙම කියන්නෙ.

මානෙල් කියන්නේ හැමදාම එතන ඉන්නවා. හරියට ඔබ ඒකේ අයිතිකාරයන් වගේ. අනෙක එකම කණ්ඩායම තනතුරුවලත් ඉන්නවා කියලත් හැඟෙනවා. ඔබ නෑ කියන්නේ කොහොමද?

මේ රටේ වුෂු කියලා ක්‍රීඩාවක් තිබුණේ නෑ. ඒ ක්‍රීඩාව ලංකාව ඇතුළේ හැදුවේ අපි. ජනතාව දැනගෙන නොසිටි සටන් කලාවක් ක්‍රීඩාවක් හැටියට රට තුළ ජනප්‍රිය කළේ අපි. ක්‍රීඩා අමාත්‍යාංශය පිළිඅරගෙන නොතිබුණු කාලයේ එය එතැන ලියාපදිංචි කළේ අපි. ඇත්තටම කියනවා නම් මේක පෞද්ගලික සමාගමක් නෙවෙයි. ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි වෙලා තියෙන ක්‍රීඩා සම්මේලනයක්. ජාත්‍යන්තර සම්මේලනයත් එක්ක බැඳිලා තියෙන ශ්‍රී ලංකාව තුළ ක්‍රීඩාව කරවන රට පුරා ක්‍රීඩා සමාජවල ඡන්දයෙන් පත්වෙන ව්‍යූහයක්. අනෙක මේක ඇතුළේ ඉන්නේ එකම නිලධාරීන් කණ්ඩායමක් නෙවෙයි. නිලවරණයකින් එක් එක් කෙනා පත්වෙනවා. මේක ප්‍රජාතන්ත්‍රවාදයේ තෝතැන්නක්. කාලයක් මා සමඟ ප්‍රතිවිරෝධතා දක්වපු පාර්ශ්වයන් නියෝජනය කළ සාමාජිකයොත් මෙතන තනතුරු දරනවා හා දරා තිබෙනවා.

ඒ කියන්නේ වුෂු කියන්නේ මානෙල්ගේ බූදයක් නෙවෙයි කියලද? හැබැයි ඔබ දශක දෙකහමාරකට වැඩි කාලයක් තිස්සේ වූෂු සම්මේලනය එක්ක ඉන්නවා?

මෙහෙමනෙ. ශ්‍රී ලංකාවේ වුෂු සටන් ක්‍රීඩාව, ක්‍රීඩාවක් වශයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය පිළි අරගෙන නොතිබෙන කාලදී මෙය ක්‍රීඩාවක් බවට ලියාපදිංචි කරගන්න වැඩ කළේ මා සහ තවත් පිරිසක් එක්වෙලි. ඒ 1993 තරම් ඈත කාලයකදියි. ඊට පසුව සම්මේලනයක් පිහිටුවලා ඒකෙ ගැටුම් ඇතිවෙලා ඒ ගැටුම් එක්ක 2000 අවුරුද්දේ අතුරු කමිටු දාලා, ඒ අතුරු කමිටුවට නඩු පිට නඩු වැටිලා, අන්තිමට සම්මේලනය යළි පිහිටුවාගෙන ආපු ගමනක් තමයි දැන් අපි මේ ඇවිත් ඉන්නෙ. එතකොට එහි සමාරම්භකයෙක් වශයෙන් මම වූෂු සමඟ දිගටම හිටියා තමයි. ඒකෙන් කියැවෙන්නේ නෑ මේක මගේ බූදලයක් කියලා.

ඒත් ඔබ කොහොමද දිගටම තනතුරුවල එල්ලිලා ඉන්නෙ? හරියට කූඩැල්ලෙක් වගේ?

කූඩැල්ලා ලේ බොනවා. ධර්මකීර්ති ලේ බීලත් නෑ, ලේ බොන්නෙත් නෑ. මම ක්‍රීඩාවට දෙයක් කළා මිසක් ක්‍රීඩාවෙන් යමක් කරගත්තේ නෑ. අනෙක ඉස්සෙල්ලා කිව්වා වගේ මම රට ඇතුළේ මේ ක්‍රීඩාවේ සමාරම්භකයෙක්. පසුව දාපු අතුරු කමිටුවල සාමාජිකයෙක්. ඒ අතුරු කමිටු දැම්මේ ඇමැතිවරු. ඊට පස්සේ සම්මේලනය යළි ස්ථාපිත කළ දා සිට මම පත්වුණේ ප්‍රජාතන්ත්‍රවාදීව පවත්වපු ඡන්දයකින්. එතකොට මම කොහොමද මේකෙ එල්ලිලා ඉන්නෙ.

හැබැයි වුෂු කියන පෝච්චියට හැමදාම මානෙල්ව දාගන්න කණ්ඩායමක් සම්මේලනය ඇතුළේ ඉන්නවා?

ඒක ප්‍රජාතන්ත්‍රවාදයෙන් සිද්ධ වෙන දෙයක්. මම වැඩක් කරනවානම්, කරලා තියෙනවා නම් මට ඡන්දය ලැබෙනවා. හැබැයි දැන් තියෙන නීතියට අනුව සම්මේලනයකට පත්වෙන්න පුලුවන් වෙන්නේ වාර දෙකකට විතරයි. දැන් මම ඉන්නේ මගේ පළමුවැනි වාරයේ.

ඔබ චණ්ඩියෙක් වගේ හැසිරෙන නිසා මේ තනතුරු බූදලයක් කරගෙන කියලා කියන්න බැරිද?

අනේ නෑ. මම චණ්ඩියෙක් වගේ හැසිරිලා නෑ. මම සමාජයේ අලෙවි අධ්‍යක්ෂවරයෙක් වශයෙන් කටයුතු කරපු තැනැත්තෙක්. එහෙම කෙනෙකුට චණ්ඩියෙක් විධිහට හැසිරෙන්න බෑ. හැබැයි මම මේක ඇතුළේ විනයක් හදලා තියෙනවා. හැමෝම ඒ විනයට අනුකූලව කටයුතු කළ යුතුයි. එවිට කෙනෙක්ට හිතේවි මම චණ්ඩියෙක් කියලා. ඒක මට ප්‍රශ්නයක් නෑ. අනෙක මම මගේ වුවමනාවට, මගේ චණ්ඩිකමට බලය ප්‍රයෝජනයට අරගෙන නෑ. ඒ නිසා පොදු ව්‍යවහාරය අනුව මම චණ්ඩියෙක් නෙවෙයි.

මානෙල් තවත් වාරයක් වූෂු පරිපාලනයට එනවා කියන එක මීට පෙර දීපු පිළිතුරකින් ඇඟ වුණා?

මම එනව ද යනව ද කියලා තීරණය කරලා නෑ. නමුත් මට තවත් වාරයක් එහෙම පිටින්ම ඉතිරියි.

ඔව් ඉතින් ඔබ වුෂු වලින් කරගන්න තියෙන හැමදෙයක්ම කරගෙනනෙ ඉන්නෙ. ඒ නිසා දැන් බලය ගැන සැහැල්ලුවෙන් හිතනවා වෙන්න පුලුවන්.

මම වූෂු වලින් පෞද්ගලිකව හම්බකරලා නෑ. දශක දෙකහමාරක් තිස්සේ මම ක්‍රීඩාවට යමක් දුන්නා. නමුත් මට එක බලාපොරොත්තුවක් තියෙනවා. ඒ තමයි ආසියානු පදක්කමකින් ශ්‍රී ලංකාව පිදීම. ඒක 2022 කරන්න හැකිවේවි.

නමුත් ඔබ වුෂූ නිසා ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය හිමිකරගෙන තිබෙනවා නේද?

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ගන්න එක ලෙහෙසි වැඩක් නෙවෙයි. මට එතැන හම්බවෙලා තිබෙන්නේ ඉහළම ශ්‍රේණියේ පදිංචිවීමක් ලෙසයි. ඒක ලැබෙන්නේ ලෝක මට්ටමේ ක්‍රීඩකයන්ට, විද්‍යාඥයන්ට හා කලාකරුවන්ට. මම වුෂු ක්‍රීඩාව තුළ දශක දෙකකට වැඩිය කරලා තියෙන වැඩවලටයි මේක ලැබුණේ. හැබැයි මට විරුද්ධව සමහරු ජනාධිපතිතුමාට පවා කියලා තිබෙනවා. ඒක මම පෞද්ගලිකව ඉල්ලුම්කරලා ලබාගත්ත දෙයක්. නැතිව මම හොර පාරෙන් ගිය කෙනෙක් නොවෙයි. අනෙක මට ඔස්ට්‍රේලියාවේ වීසා තිබුණා කියලා මගේ රට වෙනුවෙන් කරන කිසිම වැඩක් අත හැරලා නෑ. අත හරින්තෙන් නෑ.

දැන් ඔබේ චීන සම්බන්ධය ගැන කතා කරමු. ඒක නම් ව්‍යාපාරයක් නේද?

මම චීනය එක්ක තියා කිසිම රටක් එක්ක ව්‍යාපාර කරන්නේ නෑ. මිලියන හතරක ක්‍රීඩා භාණ්ඩ චීන වුෂු සංගමයෙන් ගෙන්වා ගෙන ක්‍රියාකාරී සංගම්වලට බෙදුවා. චීන තානාපති කාර්යාලයෙන් මගේ සම්බන්ධකම් මත කිසියම් මූල්‍යමය වශයෙන් උදව් කරනවා. වුෂු කියන්නේ මගේ ජීවිතයේ කොටසක්. ඒත් මගේ වෘත්තීය ජීවිතය නොවෙයි. ඒ නිසා මම කවදාවත් වුෂූ ව්‍යාපාරයක් කරගන්නේ නෑ. නමුත් චීනය එක්ක හොඳම සම්බන්ධතාවයක් පවත්වන ශ්‍රී ලාංකිකයන් දස දෙනාට චීන රජය සම්මාන දෙද්දී ඒ අතර මානෙල් ධර්මකීර්තිත් හිටියා.

සී.අයි.ඒ. කාරයෝ, රෝ ඔත්තු කාරයෝ, කේ.ජී.බී. කාරයෝ රටවල්වල ඉන්නවා. ඔවුන්ට ඒ රටවලින් සම්මානත් ලැබෙනවා?

ඔබ කියන්න හදන්නේ මම චීන ඔත්තුකරුවෙක් කියලද? මම දන්නෙ නෑ චීනයට එහෙම ඔත්තුකරුවෝ වුවමනාද කියලා. අනෙක එහෙම කරනවා කියලා හිතමු. ඒත් ඔවුන් මානෙල් වගේ සාමාන්‍ය මනුස්සයෙක්ගෙන් එවැනි ප්‍රයෝජනයක් ගන්න හිතනවද? ඔවුන් මාව ඇගයූවේ චීන සංස්කෘතික ක්‍රීඩාවක් අපේ රට තුළ ව්‍යාප්ත කරන්න මා කළ සේවයට උපහාරයක් වශයෙන් මිසක් ඔත්තුකරුවෙක් ලෙස නොවෙයි.

ඔබට මිලියන ගණන් වුෂු ආධාර ලැබෙනවා නම් මානෙල් චීනය වැනි විදේශ රටවලින් යදින්නෙක් කියලා කිව්වොත් මොකද කියන්නෙ?

මම යදින්නෙක් නෙවෙයි. මගේ පෞරුෂයෙන් මම සහයෝගය ලබාගන්නවා. උදාහරණයකට අන්තර් ජාතික ඔලිම්පික් උප සභාපතිවරයෙක් තමයි චීනයේ වුෂූ සභාපති වුණු හා නියෝජ්‍ය ක්‍රීඩා ඇමැතිවුණු යූ සායිං කියන්නේ එයා මගේ හොඳ මිත්‍රයෙක්. එවැනි ප්‍රබල මිතුරෝ මට ඉන්නවා. යදින්න අවශ්‍ය නෑ මම ඉලද්දි උපකාර කරනවා.

ඔබ අලෙවි අධ්‍යක්ෂවරයෙක් වුණාට තවමත් වුෂූ සංගමයට අනුග්‍රාහකයෙක් නෑ?

අපේ වගේ රටක වුෂූ වගේ ක්‍රීඩාවකට අනුග්‍රාහකයෙක් සොයාගන්න දුෂ්කරයි. ලෝකේ අනෙත් රටවල පෞද්ගලික සමාගම් තමයි ක්‍රීඩාව දියුණු කරන්නේ. නමුත් ලංකාවේ පෞද්ගලික සමාගම් කීයෙන් කීයද ක්‍රීඩාවට උපකාර කරන්නෙ. ශ්‍රී ලංකාවේ ලොකුම ව්‍යාපාරිකයෝ බොහෝ දෙනෙක් ක්‍රීඩාව වෙනුවෙන් මුදල් වැයකරන්නේ නෑ. රොහාන් ද සිල්වා, ඩයන් ගෝමස් වගේ ඉතා සීමිත පිරිසක් පමණයි ක්‍රීඩාව වෙනුවෙන් මෙහෙම උපකාර කරන්නෙ. හැබැයි වුෂූවලට අනුග්‍රාහකයෝ නෑ කියලා ක්‍රීඩාව ආපස්සට ගිහින් නෑ. එහෙම යන්න දෙන්නෙත් නෑ.

අපේ රටේ ක්‍රීඩා පනතට අනුව ජනමාධ්‍යයකට සම්බන්ධ කිසිවකුට ක්‍රීඩා සංගම් තනතුරු දරන්න බෑ. ඒත් ඔබට මේක ගැටලුවක් නොවෙයි?

එය බලපාන්නේ ජනමාධ්‍ය හිමිකරුවකුට හෝ ජනමාධ්‍යවේදියකුටයි. මම මාධ්‍ය ආයතනයක අලෙවි අධ්‍යක්ෂවරයෙක් වශයෙන් කටයුතු කර තිබෙනවා. ඒත් ක්‍රීඩා සම්මේලනයක තනතුරු දැරීමට එය බලපාන ආකාරය ගැන නීතිපතිවරයාගෙන් කළ මත විමසීමකදී මට කිසිම නීතිමය බාධාවක් නැතිබව තහවුරු කර තිබෙනවා.

ආසියාව දිනන්න යන ගමනේදී අපේ වුෂූ තාක්ෂණය ගැන මොකද ඔබ හිතන්නෙ?

ඒක ප්‍රමාණවත් නෑ. අපි එය ජාතික ක්‍රීඩා සභාවේ ඉහළ දක්ෂතා කළමනාකරණය පිණිස පත්කර ඇති කමිටුවට කිව්වා. ඔවුන් එය පිළිගත්තා. ලෝකයේ ඇති තාක්ෂණය හා අපි භාවිත කරන පුහුණු තාක්ෂණයේ විශාල අඩුපාඩු තිබෙනවා. අඩුම තරමේ අපිට පුහුණු වෙන්න ස්ථිර තැනක් පවා නැහැ.

සන්දා ඉසව්වට ඇති පාසල් තහනම ඉවත් කරගන්න ඔබ කතාකරනවා?

ඔව්. සන්දා තමයි අපිට ජාත්‍යන්තරය දිනන්න තියෙන හොඳම අංශය. ඒක වසර දොළහක් තිස්සේ ශ්‍රී ලංකාවේ පාසල් තුළ තහනම්.

ඒ පාසල් ක්‍රීඩකයෙක් සන්දා ඉසව්වේදී මියගිය නිසානෙ.

ක්‍රීඩාව නිසා ලංකාවේ මියගිය එකම ශිෂ්‍යයා සන්දා ක්‍රීඩා කරලද සිදුවුණේ? ඇයි රගර්, ක්‍රිකට්, බොක්සිංවලින් එහෙම නැත්නම් මලල ක්‍රීඩා වලදී සිද්ධ වුණේ නැද්ද? එහෙනම් ඒවත් තහනම් කරන්න එපායැ. අනිත් කිසිම ක්‍රීඩාවක් අවුරුදු 12ක් තිස්සේ තහනම් කරලා තියෙනවද? අනෙක නිවැරදි විනිසුරු තාක්ෂණය නොදත් විනිසුරුවන් සිටි නිසයි මේ කියන අවාසනාවන්ත තත්ත්වය මතුවුණේ. දැන් එහෙම නෑ.

පාසලේ සන්දා පටන් ගත්තොත් ඔබ පාසල් ක්‍රීඩකයන්ට වගකියනවාද?

ඔව්. අපි තාක්ෂණ දැනුම ඉතාමත් ඉහළ තලයකට ගෙනැවිත් තිබෙනවා. අපේ අධීක්ෂණය යටතේ එය සිදුවිය යුතුයි. අනෙක දැන් ඉන්න පාසල් සංගමයත් සම්මේලනය සමඟ හොඳ සම්බන්ධතාවයක් පවත්වන ඉතා දක්ෂ නිලධාරීන්ගෙන් සමන්විත ආයතනයක්.

 

ඡායාරූප - ජගත් ඉරෝෂණ

Comments