
ඉංග්‍රීසින්ගේ ක්‍රිකට් ක්‍රීඩාව ලාංකික තරුණ පරපුර අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්වීමට සිංහල ක්‍රිකට් විස්තර විචාරය දැඩි බලපෑමක් වූ බව නොරහසකි. 60-70 දශකයේ තරුණ පරපුර ක්‍රිකට් ක්‍රීඩාවට ආශක්ත වූයේ එවකට ගුවන් විදුලියෙන් සජීවිව සිදු කෙරුණු ක්‍රිකට් තරග විස්තර විචාරය තුළිනි. රූපවාහිනි හෝ අන්තර්ජාල පහසුකම් නොතිබූ අවධියක ක්‍රිකට් වැනි ක්‍රීඩාවක් ශ්‍රාවකයාගේ මනසෙහි විචිත්‍රවත් කිරීමට විස්තර විචාරකයා සතුව ක්‍රිකට් ක්‍රීඩාවේ දැනුමකුත්, අසන්නන් ඇද බැඳ තබාගැනීමට තරම් ජවසම්පන්න හඬකුත් තිබිය යුතු විය. මේ සියලු සංයෝග කැටිවූ හඬකට උරුමකම් කී අපූරු පුද්ගලයන් දෙදෙනකු එවකට මේ හපන්කම ඉහළින්ම සිදු කළහ. මේ දෙදෙනාම දශක පහකට වැඩි කාලයක් පුරා ක්‍රීඩාවේ අතිවිශාල අත්දැකිම් සම්භාරයක් එක්තැන් කරමින් තව දුරටත් මෙරට ක්‍රිකට් ලෝලීන්ගේ හදවත් තුළ ගෞරවයට හා කීර්තියට පත්වී සිටිති.
ඉන් ජ්‍යෙෂ්ඨතමයා පාලිත පෙරේරා මහතාය. ඔහුගේ අඩිපාරේ යමින් ක්‍රිකට් විස්තර විචාරයට එක්වූ අනිත් පුද්ගලයා ප්‍රේමසර ඈපාසිංහ ය. දෙදෙනාම මෙරට ගුවන් විදුලි ශ්‍රාවකයන් අතර අතිශය ජනප්‍රිය විස්තර විචාරකයෝය. ක්‍රීඩාවේ දැනුමත්, සිංහල සාහිත්‍යයේ දැනුමත් මුසු කරමින් ක්‍රිකට් ක්‍රීඩාවට දේශිය මුහුණුවරක් ලබා දීමට උර දුන් මේ කීර්තිමත් පුද්ගලයන් දෙදෙනාම අද වනවිට ජීවිතයේ සැදෑ සමය භුක්ති විඳමින් සිටිති. පාලිත පෙරේරා 78 හැවිරිදි වියෙහි පසුවන අතර, ප්‍රේමසර ඈපාසිංහට දැන් අවුරුදු 83කි.
වර්තමානයේ මෙරට සිටින ජ්‍යෙෂ්ඨතම සිංහල ක්‍රිකට් විස්තර විචාරක, මාධ්‍යවේදි පාලිත පෙරේරා මුලින්ම සිංහලෙන් ක්‍රිකට් විස්තර විචාරයක් ඉදිරිපත් කරනු ලැබුවේ 1963 වසරේදීය. ජවසම්පන්න හඬින් ක්‍රිකට් පිටිය ශ්‍රාවකයාගේ මනසේ සිතුවම් කළ ප්‍රේමසර ඈපාසිංහ විස්තර විචාරයට එක්වූයේ 1971 වසරේ රාජකීය - සාන්ත තෝමස් පාසල් මහා ක්‍රිකට් තරගයේ විස්තර විචාරය සජිවීව ඉදිරිපත් කරමිනි. දෙදෙනාම ‘රේඩියෝ මහගෙදර‘ වන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් ක්‍රිකට් විස්තර විචාරයට එක්වූවෝ වෙති.
සුද්දන්ගේ ක්‍රීඩාවට දේශීය මුහුණුවරක් ලබා දෙමින් සිංහල සාහිත්‍යයට ක්‍රිකට් ක්‍රීඩාව මුසු කළ මේ අසිරිමත් පුද්ගලයන් දෙදෙනාම කොළඹ නාලන්දා මෑණියන්ගේ පුතුන් වීම විශේෂත්වයකි. එමෙන්ම ආනන්ද - නාලන්ද සුලෝහිත සංග්‍රාමයට දායකත්වය ලබාදුන් ක්‍රීඩකයෝ වෙති.
28 වැනි සුලෝහිත සංග්‍රමයට ක්‍රීඩා කළ ප්‍රේමසර ඈපාසිංහ කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ලෙස මෙන්ම කඩුලු රකින්නා ලෙසත් කටයුතු කළ අතර, 32 වැනි සුලෝහිත සංග්‍රාමයට ක්‍රීඩා කළ පාලිත පෙරේරා එම කණ්ඩායමේ ප්‍රබලතම ක්‍රීඩකයකු විය.
මනා ක්‍රිකට් දැනුමක් සහ සිංහල සාහිත්‍ය දැනුමකින් පෝෂණය වී සිටි මේ දෙදෙනාම විස්තර විචාරයට අමතරව ලේඛකයන් ලෙසත් පාඨකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත් වූවෝ වෙති.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලැබූ ප්‍රේමසර ඈපාසිංහ මහතා කලක් ගුරුවරයකු ලෙසත් රැකියාව කළ අතර, පුවත්පත් මාධ්‍යවේදියකු ලෙසත් කටයුතු කළේය. ගුවන් විදුලියේ විවිධ නිලතල හොබවමින් සිංහල සේවා අධ්‍යක්ෂ තනතුර දක්වා කටයුතු කළ පාලිත පෙරේරා මහතා ප්‍රකට ගත් කතුවරයෙකි. දෙදෙනාම සිංහල බසට අමතරව ඉංග්‍රීසි බසින් ද සිය ක්ෂේත්‍රය තුළ සමත්කම් දැක්වූහ. එමෙන්ම ක්‍රිකට් විස්තර විචාරය තුලින් අන්තර්ජාතික මට්ටමේ ගෞරවයට ලක්වූවෝ වෙති.
පාලිත පෙරේරා සහ ප්‍රේමසර ඈපාසිංහ ලාංකික ක්‍රිකට් වංශ කතාවේ නොමැකෙන චරිත දෙකකි. සිංහල ක්‍රිකට් විස්තර විචාරයෙන් මෙරට ක්‍රිකට් ලැදි ලක්ෂ සංඛ්‍යාත ගුවන් විදුලි ශ්‍රාවකයන් අතර ආදරය දිනූ මේ දෙපළ දශක පහකට අධික කාලයක් ක්‍රීඩාව වෙනුවෙන් සිදුකළ මහඟු සේවය අගයමින් පසුගියදා සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උලෙළේ දී රන් සම්මානයෙන් පිදුම් ලැබූහ. සබුද්ධි සාහිත්‍ය කවය විසින් සංවිධාන කරනු ලැබූ එම උලෙළේ දී ජීවිතයේ එක් වතාවක් පමණක් පිරිනැමෙන සබුද්ධි රන් සම්මානය සඳහා පාලිත පෙරේරා සහ ප්‍රේමසර ඈපසිංහ මහත්වරු තෝරා ගැනීම ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් මාධ්‍යවේදීන් ලෙස ඔවුන් විසින් සිදුකරන ලද අනුපමේය සේවයට ප්‍රණාමය පුද කිරීමකි.










