
ලොව ප්‍රථම කොවිඩ් එන්නත බ්‍රිතාන්‍යයෙන්
කොවිඩ් - 19 සඳහා මිනිසා විසින් නිපදවන ලද ප්‍රථම එන්නත වෙළෙඳපොළට නිකුත් කිරීමට බ්‍රිතාන්‍ය සමත් වී තිබේ. ඒ අනුව ලබන සතිය වන විට මේ එන්නත මිලදී ගැනීමේ අවස්ථාව ලොව පුරා රටවලට හිමිවීමට නියමිතය. එහෙත් ප්‍රමාණවත් එන්නත් වෙළෙඳපොළට නිකුත් කිරීමට තවත් මාස හයක පමණ කාලයක් ගතවනු ඇති බවටද අනාවැකි පළවී තිබෙන්නේ ඉල්ලුමට සාපේක්ෂව එන්නත නිපදවීමට සැලකිය යුතු කාලයක් ගතවන බැවිනි. බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක Pfizer/BioNTech සමාගම විසින් මේ එන්නත නිපදවා තිබේ. ලබන සතියේ සිට මේ එන්නත බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය සේවකයන්ට ලබා දීමට නියමිත අතර සෙසු යුරෝපා රටවලටද එන්නත ලබා දීමට හැකිතාක් උත්සාහ දරන බවට සමාගම ප්‍රකාශ කර තිබේ.
බලු සුරතල් බලන්නට ගොස් ජෝ බයිඩ්න් කකුල කඩාගනී
‘මේජර්’ නම් වන ජර්මන් ශෙපර්ඩ් වර්ගයේ සුනඛ සුරතලා සමඟ ක්‍රීඩා කරමින් සිටියදී හදිසි අනතුරකට ලක්වීමෙන් ඇමරිකාවේ ජනාධිපති ලෙස පසුගියදා තේරී පත්වූ ජෝ බයිඩ්න්ගේ පාදයේ අස්ථියේ පිපිරීමක් ඇතිවී තිබේ. මේ හේතුවෙන් ඔහුට තව මාස කිහිපයක කාලයක් පාදයට පලඳන ආධාරක සපත්තුවක පිහිට පැතීමට සිදුවනු ඇති බවට වෛද්‍යවරු පවසා තිබේ. බයිඩ්න් මේ අනතුරට මුහුණ පා ඇත්තේ පසුගිය සෙනසුරාදා දිනයේදීය.
ඔහුගේ සුරතල් සුනඛයා සමග ක්‍රීඩා කිරීමට ඔහු ඉතා ප්‍රිය කරන නමුත් ජෝ බයිඩ්න් මේ වන විට ඉතා වියපත් 78 හැවිරිදි වියේ පසුවන්නේය.
රැජින හෝදන්න ආසයිලු
මේ වන විට 94වැනි වියේ පසුවන බ්‍රිතාන්‍ය මහ රැජිනගේ චරිතයේ මෙතෙක් හෙළිදරවු නොවූ පැතිකඩක් හෙළිකරමින් රාජකීයන්ගේ ප්‍රධාන මෙහෙකරුවකු ලෙස වසර ගණනක් තිස්සේ සේවය කරන පෝල් බරල් පවසා ඇත්තේ මහරැජින වළන් පිඟන් සේදීමට ඉතා ප්‍රියකරන බවයි. බකිංහැම් මාලිගයේදී ඉතා රාජකීය ලෙස හැසිරෙන රැජින බැල්මෝරල් මන්දිරයේ විවේක ගැනීමට යන අවස්ථාවන්වලදී සේවිකාවන් සමඟ එක්ව ඉතා ආසාවෙන් වළන් පිඟන් සෝදන බව ඔහු පවසා තිබේ. සින්ක් තුළ පිරී ඇති වතුරට තම දෑත තෙත් කර ගනිමින් භාජන සේදීමට රැජින ඉතා ප්‍රියකරන බව පෝල් බරල් පවසා ඇත්තේ දශක තුනකට වැඩි ඔහුගේ සේවා කාලයේ අත්දැකීම් ඇසුරු කර ගනිමිනි.
කොවිඩ් නිසා ග්‍රීසියේ නත්තල් ගස් හිස්
වෙනත් වසරවලදී සිය ගණනින් නත්තල් ගස් ලෙස භාවිත කරන ‘ෆර්’ ගස් අලෙවි කරමින් ජීවිකාව ගෙන යන ග්‍රීසියේ වෙළෙන්දෝ මෙවර තවත් දින කිහිපයකින් හාස්කමකින් මෙන් කොවිඩ් අවසන්ව තම නත්තල් ගස් අලෙවි වනු ඇතැයි බලාපොරොත්තු තබා ගනිමින් සිටින බව වාර්තා වේ. මේ වන විට දැඩි සේ වයිරසය පැතිර යන බැවින් ග්‍රීසිය යළිත් වරක් මසක කාලයක් සඳහා සම්පූර්ණයෙන්ම වසා දැමීමට රජය තීරණය කර තිබේ.
නත්තල් කාලයේදී කපා අලෙවිය සඳහා තැබීම අරමුණු කර ගනිමින් ග්‍රීසියේ ගොවීහු ෆර් ශාක වගා කරන අතර මෙවර එසේ ගස් අලෙවි කර ගත නොහැකිව ජීවිකාව අහිමිව පීඩාවට පත්ව සිටිති. වෙනත් වසරවල නත්තල් ගස් අලෙවිය යනු ඉතා ලාභදායී ව්‍යාපාරයකි.
චීනය ආරම්භයේදී කොවිඩ් අනාගත් හැටි ලීක් වුණු වාර්තාවක් හෙළිකරයි
චීනයේ වූහාන් ප්‍රාන්තයේ කොවිඩ් වයිරසය පැතිර යෑම ආරම්භ වූ අවධියේ රෝගය අඩු තක්සේරු කිරීම හේතුවෙන් රෝගය පැතිර යෑමට හේතු වූ අන්දම සනාථ කෙරෙන වාර්තාවක් සීඑන්එන් පුවත් සේවය විසින් එළිදක්වා තිබේ.
එම වාර්තාවට අනුව චීනය ආරම්භයේදී ජනතාව විසින් ලබාදුන් දත්ත නිවැරදි නොවීම හේතුවෙන් ගැටලු රැසකට මුහුණ දී ඇති අතර, එයින් පසුව චීනය මුහුණ දී ඇත්තේ පීසීආර් පරීක්ෂණ වාර්තා ප්‍රමාද වීමයි.
ආරම්භයේදී චීනයේ වූහාන් හි සිදුකරන ලද පීසීආර් පරීක්ෂණ වාර්තා ලැබීමට සති තුනක කාලයක් ගත වී ඇති අතර එලෙස වාර්තා ප්‍රමාද වීම හේතුවෙන් ද ආසාදිතයන්ගේ සංඛ්‍යාව වර්ධනය වී තිබේ.
මේ තොරතුරු සහ දත්ත අඩංගු වී ඇත්තේ හුබෙයි ප්‍රාන්තයේ වසංගත පාලන ඒකකය විසින් නිකුත් කරන ලද වාර්තාවකය. පිටු 117කින් යුක්ත වූ එම රහසිගත වාර්තාව සීඑන්එන් පුවත් සේවයට ලැබුණේ කෙසේ දැයි වාර්තා වී නොමැත.