තමිල්නාඩු දේශපාලන නායකත්වය යළිත් නළුවකුට යන ලකුණු | සිළුමිණ

තමිල්නාඩු දේශපාලන නායකත්වය යළිත් නළුවකුට යන ලකුණු

ඉන්දියාවේ තමිල්නාඩුව තරම් නළු නිළියන්ට වන්දනාමාන කරන තැනක් තවත් නැත. ඔවුන්ට තම දේශපාලන නායකයන් තෝරා ගැනීමට අවශ්‍ය වන්නේ නායකත්වය අපේක්ෂා කරන පුද්ගලයාගේ මුහුණේ හුරුපුරුදු බව පමණක්මය. යම් හෙයකින් බලය අපේක්ෂා කරන පුද්ගලයා ජනතාවට හොඳින් මුහුණ හුරු පුරුදු නළුවකු හෝ නිළියක නම් ඡන්ද ෂුවර්ය. අඩුම තරමින් ප්‍රචාරක ව්‍යාපාර හෝ අවශ්‍ය වන්නේ නැත.

තමිල්නාඩුවට සැබවින්ම සිනමාව වන්දනීයය. සිනමා තිරයේ දුෂ්ටත්වයට එරෙහිව යන පුද්ගලයා සැබෑ ජීවිතයේද එසේම ක්‍රියාකරනු ඇතිය යන්න ඔවුන්ගේ බුද්ධි මට්ටමේ උපරිමයට දැනෙන සිතිවිල්ල වන අතර එවැනි පුද්ගලයන් කෙරෙහි තමිල්නාඩු ජනතාව උපරිමයෙන් විශ්වාසය තබති. ඔවුන් දෙවියන් මෙන්ය.

බලය ලබාදුන් පසු ඔවුන් කිනම් දූෂණ සිදුකළද ඒවා සම්බන්ධව ඔවුන්ට කනගාටුවක් නැත. අඩුම තරමින් ඔවුන්ගේම සුභසාධනයට වෙන් කෙරෙන රජයේ මුදල් ඔවුන් විසින්ම තෝරා දෙන පාලකයන් විසින් සොරා කෑවද ඔවුන්ට කණගාටුවක් නැත. කවදා හෝ දුෂ්ටත්වය පරදා ඔවුන් ජනතාව ගලවා ගන්නේය. මන්දයත් ඔවුන් සිනමාපට රාශියක එසේ කරනු ඔවුන් දැක ඇත්තේය.

එබැවින් තමන් පත් කළ තම පාලකයා කෙරෙහි පවත්නා විශ්වාසය ඔවුහු කෙසේවත් බිඳනොගන්නෝය.

තමිල්නාඩු ජනතාවගේ මේ චින්තන පරාසය සම්බන්ධව ප්‍රථමයෙන්ම මනාව අවබෝධ කර ගත්තේ තමිල්නාඩුවේ මහා නළු එම්. ජී. රාමචන්ද්‍රන්ය. ඔහු එම චින්තන පරාසයෙන් හොඳින් වාසි ලබා ගත් නමුත් ඔහුගේම සුරතලිය වූ ජයලලිතා තරම්ම වාසි ලබා ගැනීමට ඔහු සමත්වූයේ නැත. ජයලලිතා තමිල්නාඩු දේශපාලනයේ කොතෙක් ඉහළ නැංගේද යත් ඇය මුළු තමිල්නාඩුවේම ‘අම්මා’ බවට පත්වූවාය. ඇය මැතිවරණයකින් පරාජය කිරීම ඇයගේ විරුද්ධ පක්ෂය පහසු වූයේ නැත.

ඇයගේ දූෂණ, වංචා ගෙඩිපිටින් එළිදරවු වුවද තමිල්නාඩු ජනතාව ඇයට දිගින් දිගටම වන්දනාමාන කළහ. ඇයව නඩු අසා සිරගත කළ විට ඔවුහු හඬමින් අධිකරණයට ‍ෙදස් දෙවොල් තැබූහ.

තමිල්නාඩු ඡන්ද දායකයන්ගේ අතීතය ගැන එසේ මඳක් සිහිපත් කර සිටියේ දැන් තවත් නළුවකු තමිල්නාඩු දේශපාලනය ආක්‍රමණය කිරීමට සූදානම්වන බවට ලැබුණු පුවතක් හේතුවෙනි. ඒ නළුවා අන් කිසිවකු නොව මේ වන විටත් තමිල්නාඩුව තුළ දෙවියකු මෙන් වන්දනාවට ලක් වෙමින් සිටින මහා නළු රැජිනිකාන්ත්ය.

ඉතින් සෙසු දේශපාලනඥයන්ට දුවන්නට ඉඩ මදිවනු ඇති බවට අනාවැකි පැවසිය යුතු නැත. තමිල්නාඩු ජනතාව මේ වන විටත් රැජිනිකාන්ත්ට කතිරය ගැසීමට පුලපුලා බලාසිටිනු නොඅනුමානය.

රැජිනිකාන්ත් රඟපෑ සිනමාපට සියල්ලම පාහේ තමිල්නාඩුවේ ආදායම් වාර්තා පිහිටවීය. අසූව දශකයේ සිට මේ දක්වා රැජිනිකාන්ත් ද්‍රවිඩ සිනමාව ජයගත්තේ හුදකලා වීරයා වෙමිනි.

හින්දි සිනමාවේ අමිතාබ් බච්චන් මෙන් ඔහු දශක කිහිපයක්ම ද්‍රවිඩ සිනමාවේ තනි වීරයා වූයේය. තවත් ඔහුට සිනමාවේ ජයගත යුතු ඉසව්වක් නොමැතිය. එබැවින් ඔහු මේ වන විට ක්‍රමිකව දේශපාලනයට අවතීර්ණ වෙමින් සිටින්නේය.

රැජිනිකාන්ත්ගේ නමින් බිහිකර ඇති රැජිනි මක්කල් මන්ඩ්‍රම් පදනම පසුගියදා නිවේදනයක් මගින් පවසා සිටියේ 2021 වසරේදී තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයට තරගවැදීමේ අදහසක් රැජිනිකාන්ත් සතුව පවතින බවයි. මේ වන විට රැජිනිකාන්ත් තමිල්නාඩුව තුළ හඳුන්වන්නේ තලෙයිවර් යන අන්වර්ත නමිනි. එහි අර්ථය ‘නායකයා’ යනුයි. ඔහුට මේ නම සිනමාවේදී ඉතා හොඳින් ගැළපුණු අතර ඔහු දැන් එම නාමය දේශපාලනයේදීද සුදුසු ලෙස භාවිත කිරීමට සූදානමින් සිටින්නේය.

ඔහුට පෙර මේ ‘තලෙයිවා’ (ශබ්ද කිරීමේ වෙනසක් පැවතියද මේ නම් දෙකේම අර්ථය වන්නේ නායකයා යනුයි) නාමය ඉතා සාර්ථක ලෙස භාවිත කරනු ලැබුවේ එම්ජිආර් විසිනි. ඔහුද තමිල්නාඩු සිනමාවේ මෙන්ම දේශපාලනයේද ජයකෙහෙලි නැංවීමට සමත් වූයේය.

ඔහු පසුගිය වසරේද දේශපාලනයට ප්‍රවිෂ්ට වන බවට පුවත් පැතිර ගිය නමුත් දුර්වල ‌සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ඔහු එම තීරණය මඳක් කල් දැමීමට කටයුතු කළේය. මේ වන විටත් රැජිනිකාන්ත් තමිල්නාඩුවේ පාලක ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් හෙවත් ඩීඑම්කේ පක්ෂයට සහය දක්වමින් සිටින්නේය. ඔහු ඉදිරියේදී දේශපාලනයට එක්වනු ඇත්තේද එම පක්ෂයෙන් බවට අනුමාන දක්නට තිබේ.

එය බොහෝවිට පක්ෂයේ ආධාරකරුවන්ට සුභදායී පුවතක් වනු ඇත. ඒ නොඅනුමානවම රැජිනිකාන්ත් හේතුවෙන් පක්ෂය ජයග්‍රහණය කරනු ඇති බැවිනි. එහෙත් රැජිනිකාන්ත්ගේ දේශපාලන ආගමනය ඩීඑම්කේ පක්ෂයේ නායකයන්ට නම් සුභදායී පුවතක් නොවනු ඇත්තේ රැජිනිකාන්ත් යනු තලෙයිවර් (නායකයා) ද වන බැවිනි.

 

Comments