කැනඩා ඉංජිනේරු ශිෂ්‍යාවෝ දිවිපුදා දිනා දුන් කාන්තා හිංසන පිටුදැකීමේ දිනය | සිළුමිණ

කැනඩා ඉංජිනේරු ශිෂ්‍යාවෝ දිවිපුදා දිනා දුන් කාන්තා හිංසන පිටුදැකීමේ දිනය

මානව ශිෂ්ටාචාරයේ බොහෝ මෑත කාලය වනතෙක්ම පිරිමින් කාන්තාවන් සම්බන්ධව අදහස් කර සිටියේ ඔවුන් දරුවන් වැදීමේ සහ හැදීමේ ක්‍රියාවලිය වෙනුවෙන් පමණක් ජීවත්වන පිරිසක් වශයෙනි. ඔවුන්ට අනුව කාන්තාවන්ට ස්වාධීනව ජිවත්වීමේ අයිතියක් හෝ අවශ්‍යතාවක් නොවූ අතර ඔවුන් පුරුෂයන්ගෙන් ඔවුන් වෙත ලැබෙන කිනම් ගැහැටක් හෝ උසුලා දරා ගත යුතු විය.

ලෝකයේ බොහෝ රටවල් ඡන්ද බලය සමාජය තුළට හඳුන්වාදීමේදී කාන්තාවන් අත්හැර පිරිමින්ට පමණක් ඡන්ද බලය හිමි කර ගත්තේ කාන්තාවන් යනු ස්වාධීන මිනිසුන් කොට්ඨාසයක් ලෙස නොසැලකූ බැවිනි. මේ තත්ත්වය වෙනස් කිරීම සඳහා කාන්තාවන්ගේ අප්‍රතිහත ධෛර්ය මෙන්ම වඩා පුළුල් අදහස් සහිත පිරිමින්ගේ දායකත්වය සමානව ලැබුණු බව සඳහන් කළ යුතුය. එහෙත් පිරිමින් අතින් කාන්තාවන් පීඩනයට ලක්වීම මේ දක්වා වැඩි වෙනසකට ලක් වී නොමැති බව කනගාටුවෙන් වුවද සඳහන් කළ යුතුය. මානව ශිෂ්ටාචාරය විසිඑක්වැනි සියවස දක්වා පැමිණ තිබුණද, ඒ එන ගමනේ දියුණු යැයි පැවසිය හැකි බොහෝ කඩඉම් පසුකර තිබුණද තවමත් කාන්තාවන් අතවරයට, වධ හිංසාවන්ට ලක්වන බව කනගාටුවෙන් වුවද සඳහන් කළ යුතුව තිබේ. ඇතැම් අවස්ථාවල එය හුදෙක් පිරිමින්ගේ කායශක්තිය කාන්තාවන්ට එරෙහිව යොදා ගැනීමකි. ඇතැම් අවස්ථාවල එය ලිංගික පීඩාවක් හෝ දූෂණ කිරීමකි. තවත් අවස්ථාවක එය තර්ජනය කිරීමක් හෝ මානසික පීඩාවක් විය හැකිය. ඒ කිනම් අන්දමකින් වුවද කාන්තාවන් හිංසනයට පත්වන්නේ නම් වහා එයට පිළියම් යෙදිය යුතුය. එක්සත් ජාතීන්ගේ සංවිධානය සෑම වසරකම නොවැම්බර් 25වැනිදා ‘ලෝක කාන්තා හිංසන පිටුදැකීමේ දිනය’ වශයෙන් නම් කර ඇත්තේ එබැවිනි.

මේ කිනම් අන්දමකින් අවධාරණය කළද කාන්තා හිංසනය අවසන් නොවන බැවින් ඒ සම්බන්ධව ලෝකවාසීන්ගේ දැඩි අවධානය ලබා ගැනීමට ගෙන ඇති ක්‍රියාමාර්ග කිහිපයකි. නොවැම්බර් 25 ලෝක කාන්තා හිංසනය පිටුදැකීමේ දිනයේ සිට දෙසැම්බර් 10 ලෝක මානව හිමිකම් දිනය දක්වා සති දෙකක කාලය කාන්තා ආරක්ෂාව වෙනුවෙන් මතවාදයක් ඇති කිරීමට වෙන් කිරීම ඒ අතරින් එක් ක්‍රියාමාර්ගයක් පමණි.

නොවැම්බර් 25 කාන්තා හිංසන පිටුදැකීමේ දිනය ලෙස නම් කරනු ලැබීම පිටුපස ඇත්තේ ද හද දවන කතාවකි. එහි ආරම්භය සනිටුහන් වන්නේ 1960 වසරේය. එවකට ඩොමිනිකන් රිපබ්ලික් හි රාජ්‍ය නායකයා වූයේ ටෘජිලෝය. ඔහු අත්‍යන්තයෙන්ම ඒකාධිපතියකු වූයේ රටවැසියන්ගේ නිදහස දරුණු ලෙස සීමා කරමිනි. පීඩනය දරා ගත නොහැකි වූ ජනතාව අවසානයේ ටෘජිලෝට එරෙහිව විරෝධතා ඇරඹූ අතර ඒවායේ ඉදිරිපෙළ නියෝජනය කරනු ලැබුවේ පිරිමින් විසිනි.

එහෙත් තමන්ටද පිරිමින් හා සමානවම හැඟීම් දැනීම් මෙන්ම බුද්ධියද, ශක්තියද සහිත බව පෙන්වා සිටි එකම පවුලේ සහෝදරියන් තිදෙනෙකු වූ පැට්රීෂියා, මරියා තෙරේසා සහ මිනර්වා ටෘජිලෝට එරෙහි සටනේ මුල් පෙළ නියෝජනය කළහ. තමන්ට එරෙහිව කාන්තාවන්ද පෙරමුණ ගැනීම ටෘජිලෝ කෙසේවත් ඉවසුවේ නැත. ඔහු මේ සහෝදරියන් තිදෙනාට තම දාමරිකයන් ලවා වද හිංසා පමුණුවා මරණයට පත් කිරීමට කටයුතු කළේය.

මේ ඝාතන හේතුවෙන් ජනතාව කුපිත වූ අතර එහි ප්‍රතිඵලය වූයේ එයින් වසරකට අඩු කාලයකදී එනම් 1961 මැයි මාසයේදී ටෘජිලෝද ඝාතනයට ලක්වීමය. එම ඝාතන සඳහා සීඅයිඒ සංවිධානයේ සහය හිමිවීම වෙනම කතාවක් වුවද ටෘජිලෝගේ වැඩපිළිවෙළ ජනතාව මුළුමනින්ම එපා වීමට සහෝදරියන් තිදෙනාගේ ඝාතන ඍජුවම ඉවහල් වූ බව පැහැදිලිය.

මෙවැනිම හද සසල කරවන තවත් සිදුවීමක් ලෙස 1989 වසරේ කැනඩාවේ මොන්ට්‍රියල්හි සිදුවූ ඉංජිනේරු සිසුවියන්ගේ ඝාතනය දැක්විය හැකිය. අදින් වසර තිහක් යනු එතරම් කාලයක් නොවේ. එමෙන්ම කැනඩාව යනු දියුණූ යැයි සම්මත, ශිෂ්ට සම්පන්න මිනිසුන් වෙසෙන රටක් බව පොදු පිළිගැනීම විය. එවන් වූ රටක සිදුවූ මේ මහා මිනිස් ඝාතනය සැබවින්ම ඇදහිය නොහැකි තරම්ය.

එදින කැනඩාවේ ක්වීබෙක් ප්‍රාන්තයේ මොන්ට්‍රියල්හි ඉංජිනේරු ශිෂ්‍යාවන් ඉලක්ක කරමින් මහා වෙඩි වරුසා එල්ල වූ අතර එයට එකම හේතුව වූයේ එතෙක් පුරුෂයන් විසින් පමණක් හදාරනු ලැබූ ඉංජිනේරු පාඨමාලාව සඳහා කාන්තාවන්ද බඳවා ගැනීමය. මේ සම්බන්ධව දැඩි කෝපයෙන් පසුවූ ම්‍රැක් ලෙපිනේ නම් වූ ඉංජිනේරු ශිෂ්‍යයා මේ මහා ඝාතනයේ වගකිවයුත්තා විය. ඔහු තමා සමඟ පාඨමාලාව හදාරමින් සිටි ශිෂ්‍යාවන් දහ හතර දෙනෙකුට වෙඩි වරුසා එල්ල කළ අතර තවත් එක් ශිෂ්‍යාවක් මරා දමනු ලැබුවේ කිනිස්සකින් ඇනීමෙනි.

මිනිස් සිත් සසල කළ මේ මහා ඝාතන සිහිපත් කරනු අරමුණු කර ගනිමින් නොවැම්බර් මස 25වැනිදා ලෝක කාන්තා හිංසනය පිටු දැකීමේ දිනය ලෙස නම් කර තිබේ. එතැන් සිට සති දෙකක කාලයක් කාන්තා අයිතීන් වෙනුවෙන් අවධානය යොමු කිරීම අරඹයා වෙන් කර තිබුණද මේ කිසිවක් කාන්තාවන්ට හිංසනයෙන් ගැලවීමට මේ දක්වා උපකාර වී නොමැති බව සඳහන් කළ යුතුය.

උදාහරණයක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ වසරකට ලොව පුරා කාන්තාවන් 50,000ක් නොයෙක් වධ හිංසාවලට ලක්වීමෙන් මියයන බවය. අවාසනාව වන්නේ මෙලෙස මිය යන කාන්තාවන් හිංසනයට ලක් වන්නේ වැඩි වශයෙන් ඔවුන්ගේම පවුල්වල සමීප ඥාතීන් අතින් වීමය.

මේ 2018 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ දත්ත වාර්තාවක උපුටනයකි. එමෙන්ම මහාද්වීප වශයෙන් සලකා බැලූ කළ වැඩිම කාන්තා හිංසන සිදුවීම් අප්‍රිකාවෙන් වාර්තා වන බවත් අඩුම කාන්තා හිංසන සිදුවීම් යුරෝපා මහාද්වීපයේ වාර්තා වන බවත් එක්සත් ජාතීන්ගේ සංවිධාන වාර්තාවේ සඳහන්ය.

මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුත්තේ කාන්තා හිංසන සිදුවීම් සියල්ල සිදුවන්නේ පිරිමින් අතින් පමණක්ම නොවන බවයි. තම පවුල්වල සමීප ඥාතී කාන්තාවන්ද මේ හිංසන ක්‍රියා සඳහා දායක වන බව තවදුරටත් රහසක් නොවන්නේය. 2017 වසරේදී ඉන්දියාවේ කාන්තාවන් 7000කගේ ඝාතනවලට හේතුව වී තිබුණේ පොරොන්දු ප්‍රකාරව දෑවැද්ද ලබා දීමට ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ට නොහැකි වීමය. මේ ඇතැම් ඝාතන සඳහා මන්ත්‍ර ගුරුකම් ආදියද යොදා ගෙන තිබූ අතර ඒ සඳහා ඍජු දායකත්වය ලැබී තිබුණේ පවුල්වල වයස්ගත කාන්තාවන්ගෙනි.

ඇමරිකා එක්සත් ජනපදයේ 2003 වසරේ සිට සිදු කරන ලද ගණනය කිරීම් අනුව මේ දක්වා හිංසනයට ලක්ව මියගොස් ඇති කාන්තාවන් සංඛ්‍යාව 18,000ක් බව පැවසේ.

මෙලෙස වාර්තා වන්නේ ඝාතනයන් පමණක් බවත්, දෛනිකව කාන්තාවන් තම සේවා ස්ථානයේදී, පොදු ප්‍රවාහනයේදී පමණක් නොව නිවෙස්වලදීද එකසේ පීඩාවට පත්වන බවත්, එම පීඩාවන් සංඛ්‍යා ලේඛන අතරට එක් නොවන බවත් සඳහන් කළ යුතුය.

අදින් වසර දෙකකට පමණ පෙර හොලිවුඩ් සිනමා කර්මාන්යේ නියැළි කාන්තාවන් විසින් #Metoo යනුවෙන් ඇති කරගත් සංවිධානය යටතේ තමන් වෘත්තියේ නියැළෙන අවස්ථාවන්හිදී මෙන්ම වෘත්තිමය සබඳතා හේතුවෙන්ද හිංසනයට, පීඩනයට ලක්වූ අන්දම ලොවට හෙළිදරවු කිරීමට දායක වූහ. මෙය ලොව පුරා ආන්දෝලනයක් ඇති කිරීමට හේතුවූ අතර ලොව පුරා සම්මානනීය නිෂ්පාදකවරු, අධ්‍යක්ෂවරුන්ගේ සැබෑ මුහුණු ලොවට හෙළිදරවු වන්නට විය. එහෙත් ඒ කිසිවක් කාන්තා හිංසනය සම්පූර්ණයෙන් නවතා දැමීමට සමත් වූයේ නැත. අදටත් හොලිවුඩ් සිනමා කර්මාන්තයද අන් සෑම ස්ථානයකදීම මෙන්ම කාන්තා හිංසනය නිහඬව සිදු කරමින් සිටින්නේය.

ඉන්දියාවේ කාන්තාවන්, කුඩා දැරිවියන් සමූහ දූෂණයට ලක්වීම සාමාන්‍ය කරුණක් තරම් සුලබ වී තිබෙන්නේය. ඇතැම් අවස්ථාවල මෙලෙස සමූහ දූෂණයට ලක්ව මිය ගිය දූගි පවුල්වල දැරිවියන්ගේ සිරුරු පොලීසිය විසින් ගිනිබත් කරමින් සිදුවීම අවසන් කර දැමීමට කටයුතු කරන්නේය.

හිංසනයට, දූෂණයට ලක්වීම වෙනුවෙන් ඔවුන් ලබන සාධාරණය එපමණක්මය. ශ්‍රී ලංකාවේ තත්ත්වයද ඉන්දියාව තරම්ම නොමැති වුවද වැඩි වෙනසක්ද නොමැත්තේය. එවන් ලොවක සති ගණන් කාන්තා හිංසනය වැළැක්වීමට කතා සාප්පු පවත්වා ඇති ප්‍රතිඵලය කුමක්දැයි විමසිය යුතුය.

එහෙත් හුදෙක් නිහඬව සිටීමට වඩා එක්ව හඬ නැගීම, උත්හාස කිරීම සහ අවසන ජයග්‍රහණය දක්වා ආකල්ප වෙනස් කිරීමට මේ දරන්නා වූ උත්සාහය හෝ අගය කළ යුතුය.

 

Comments