එල්.පී.එල්. දිග හරින තල් අරඹේ කෙළි වරුණ | සිළුමිණ

එල්.පී.එල්. දිග හරින තල් අරඹේ කෙළි වරුණ

'ක්‍රීඩාවට දිශාව සම්බන්ධයෙන් අර්බුදයක් නොවේ. එය උතුර වේවා, දකුණ හෝ වෙනයම් ප්‍රදේශයක් වේවා වෙනසක් නැත්තේය. එල්.පී.එල්. හෙවත් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය නියෝජනයට උතුරු පළාතෙන් යොවුන් ක්‍රීඩකයන් එක්වන්නේ එහෙයිනි. මේ ඔවුන් ගැන කෙටි සටහන උතුරුකරයේ ක්‍රීඩා නැගිටීමක් ගැන කියන්නටය.'

මීට දසකයකට පෙර උතුරේ තරුණයන් නැගී සිටියේ අවි අමෝරාගෙනය. තාරුණයේ ජවය, ශක්තිය, අධිෂ්ඨානය ඔවුන් මෙහෙයවූයේ කුරිරු, ම්ලේච්ඡ, ලේ පිපාසිත යුද්ධයකටය. දැන් උතුරේ තරුණයන් මිනිසත්කම නොහඳුනන, භයංකර ගිනි අවි වෙනුවට දැන් අමෝරාගෙන සිටින්නේ ක්‍රිකට් පිතිය. ආදරය මතුකරන ක්‍රීඩා උපකරණය. මේ උතුරු කොණේ ක්‍රීඩා නැගිටීමක සුවිශේෂී මතුවීමක් ගැනය.'

'එල්.පී.එල්. තරගාවලිය' වෙනුවෙන් උතුරු දිශාව නියෝජනය කරමින් 'ජැෆ්නා ස්ටැලියන්ස්' යනුවෙන් කණ්ඩායමක් නිර්මාණය විණි. එයට යාපනය දිශාවෙන් එක්ව ඇති ළාබාල දක්ෂ යොවුන් ක්‍රීඩකයින් සිව්දෙනෙක් ද වෙති. ඔවුන් අතරින් ශාන්ත ජෝන් විද්‍යාලයේ තේවේන්ද්‍රම් ඩිනෝෂන් (19) සහ යාපනය මධ්‍ය මහා විද්‍යාලයේ විජයකාන්ත් වියස්කාන්ත් (19) මෙන්ම ශාන්ත ජෝන් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන කනරගත්නම් කබිල්රාජ් (21) කැඳවුම් ලබා ඇත. ඊට අමතරව පලෙයි මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන කිලිනොච්චි එක්ස්ප්‍රස් යනුවෙන් හැඳින්වෙන සෙබස්තියම්පිල්ලේ විජයරාජ් (27) ද ඊට එක්කර තිබේ.

තේවේන්ද්‍රම් ඩිනෝෂන් වයස අවුරුදු 13න් පහළ සිට මේ දක්වා දකුණත් මැද පෙළ පිතිකරුවකු ලෙසත් දකුණත් මද වේග පන්දු යවන්නකු ලෙසත් තම පාසලට දායකත්වය ලබා දීමට ඔහු සමත්විය. පළමු වරට අවුරුදු 13න් පහළ ක්‍රිකට් පිලට එක්වූ ඩිනෝෂන් වයස අවුරුදු 15න් පහළ තරගාවලියේ ශතක 3ක් රැස් කිරීමට සමත්විය. යාපනය දිස්ත්‍රික් සහ උතුරු පළාත් වයස අවුරුදු 15න් පහළ පිල නියෝජනය කළ ඩිනෝෂන් සුපිරි පළාත් 19න් පහළ තරගාවලියේදී දඹුල්ල පිල නියෝජනය කළ දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකි. අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගවාර 3ක තරග 38කදී ශතක 4ක් සහ අර්ධ ශතක 6ක් සමගින් ලකුණු 1691ක් රැස් කරමින් දක්ෂතා දක්වා ඇත.

විජයකාන්ත් වියස්කාන්ත් දහනව වියැතිය. යාපනය මධ්‍ය මහා විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට බට ඔහු දකුණත් පිට දඟ පන්දුයවන්නෙකි. මෙවර පාසල් ක්‍රිකට් තරගවාරයට ද ක්‍රීඩා කිරීමට නියමිතව සිටින ඔහු ක්‍රිකට් අරඹා ඇත්තේ දහතුනෙන් පහළ කණ්ඩායමටය. පාසල් පිලට නායකත්වය ලබාදුන් අතර, තෙවැනි කොටස යටතේ තරග වදින තම පාසල වෙනුවෙන් සහභාගිවූ තරග 16කදී කඩුලු 53ක් බිඳ හෙළීමද මේ අතර කැපීපෙනෙයි. ඔහුගේ ක්‍රිකට් ජීවිතයේ අමතක නොවන සිද්ධියක් වශයෙන් 2019 වාර්ෂික මහා ක්‍රිකට් තරගයේදී තරගයේ වීරයා ලෙස සම්මානය හිමිකරගැනීම දැක්විය හැකිවේ.

ජැෆ්නා සැටැලියන්ස් පිල නියෝජනය කරන කනගරත්නම් කබිල්රාජ් විසි එක් හැවිරිදිය. යාපනය ශාන්ත ජෝන් විද්‍යාලයෙන් පාසල් ක්‍රිකට් පිටියට එක්වුණු ඔහු 2017/18 පාසල් ක්‍රිකට් තරගවාරයේදී උප නායකත්වය දැරීය. අවුරුදු 23න් පහළ අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේදී පොලිස් ක්‍රීඩා සමාජ පිල නියෝජනය කළ කබිල් රාජ්, මේ වන විට ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය නියෝජනය කරයි. වයස අවුරුදු 13න් පහළ සිට මේ දක්වා තම පාසලට තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙසින් දායකත්වය ලබා දුන් කබිල්රාජ් පළමු වරට අවුරුදු 13න් පහළ ක්‍රිකට් පිලට එක්වූයේ කඩුලු රකින්නකු ලෙසිනි. එය පන්දු යවන්නකු බවට වෙනස් වූයේ වයස අවුරුදු 15න් පහළ සීමාවේදීය. වයස අවුරුදු 15න් පහළ යාපනය දිස්ත්‍රික් සහ උතුරු පළාත් පිල නියෝජනය කළ කබිල්රාජ් එතැන් සිට දකුණත් පසු පෙළ පිතිකරුවකු ලෙසත් දකුණත් මද වේග පන්දු යවන්නකු ලෙසින් තම පිලට දායකත්වය ලබාදුන්නේය. අන්තර් පළාත් 19න් පහළ දෙදින සහ එක්දින තරගාවලි වෙනුවෙන් උතුරු පළාත් පිල නියෝජනය කළ කබිල්රාජ් 23න් පහළ පළාත් තරගාවලියේදී උතුරු පළාත් පිල නියෝජනය කළේය. පාසල් තරගවාර 4ක තරග 34කදී කඩුලු 112ක් දවාලීමට ද ලකුණු 525ක් රැස් කිරීමට ඔහුට හැකිවිණි.

සෙබස්තියම්පිල්ලේ විජයරාජ් කිලිනොච්චි පලෙයි මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන සෙබස්තියම්පිල්ලේ විජයරාජ් (27) ලසිත් මාලිංගගේ ඉරියව්වට සමාන ඉරියව්වෙන් පන්දුයවයි. පැයට කිලෝමීටර් 130ක පමණ වේගයට පන්දු යැවීමටද ඔහුට හැකිය. පාසලේදී සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදීමෙන් ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට යොමුවූයේය. පාසල් ක්‍රිකට් ලෙදර් පන්දු තරග හෝ අන්තර් සමාජ ලෙදර් පන්දු තරග සඳහා ඉදිරිපත් වීමට අවස්ථාවක් නොලැබුණු ඔහු අද වන විට කිලිනොච්චි එක්ස්ප්‍රස් ලෙසින් උතුරු පළාතේ බෙහෙවින් ජනප්‍රිය වී ඇත.

කුරිරු යුද්ධයත් දැඩි දරිද්‍රාතාවයත් හේතුවෙන් දහසක් දුක්කම්කටොළු මැද විශේෂයෙන්ම තම මවගේ පෙළඹවීමෙන් දැඩි කැපවීමකින් සිදුකරන ලද පුහුණුව තුළින් ඔහු වර්තමානයේ ජාතික තලය වෙත ළඟාවෙමින් සිටී. එම පුහුණුවේ ප්‍රතිඵලයක් ලෙසින් විජයරාජ්ගේ පන්දු යැවීමේ ඉරියව්වත් පන්දුවේ වේගයත් අනුව දැල් තුළ පන්දු යවන්නකු (Net bowler) ලෙසින් යාපනය පිලට සහාය වීමට කැඳවූ නමුත් ඔහුගේ දක්ෂතාවය දුටු පුහුණුකරු තිළිණ කණ්ඩම්බි ඇතුළු යාපනය Stallions බලධාරීන් ඔහුට සංචිතයේ ස්ථානයක් හිමි කර දීම විශේෂත්වයකි.

ක්‍රීඩා කිරීමේ යටිතල පහසුකම් උතුරු කරයේ ඉහළ දමන්නේ නම් දක්ෂ ක්‍රීඩකයින් රැසක් බිහිවීම වැළැක්විය නොහැක.

 

Comments