ඉලක්කවලින් 70%ක් ඉටුකරගන්න හැකි වුණොත් මම දිනුම් | සිළුමිණ

ඉලක්කවලින් 70%ක් ඉටුකරගන්න හැකි වුණොත් මම දිනුම්

ශ්‍රී ලංකා රග්බි ආයතනයේ නව සභාපති

රිස්ලි ඉල්යාස්

ශ්‍රී ලංකා රග්බි නව සභාපති ලෙස නිතරගයෙන් පත්වූයේ රිස්ලි ඉල්යාස්ය. කලකට පෙර වැල්ලවත්ත පීටර්සන් ක්‍රීඩා සමාජයේ අංක අට ක්‍රීඩකයකු ලෙස ක්‍රීඩා කළ ඔහු රග්බි සභාපතිධුරයට පත්වීමට පෙර එහි ලේකම්වරයකු ලෙසත්, නියෝජ්‍ය සභාපතිවරයා ලෙසත් කටයුතු කර ඇත්තෙකි. බස්නාහිර පළාත් රග්බි සංගමයේ සභාපතිවරයා ලෙසද ක්‍රියාකළ ඔහු රග්බි සභාපතිධුරයට පත්වූයේ මෙරට රග්බි ඉතිහාසයේ පළමුවරට ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ද එළිදක්වමිනි.

රග්බි ක්‍රීඩාව නව යුගයක් කරා රැගෙන යන බව කියමින් සභාපතිධුරයට පත්වුණත් කෝ තවම මොකුත් නෑනේ?

තනතුර බාරගත්තට තරගාවලියක් පවත්වා ගන්න බැරි තත්ත්වයකයි මම ඉන්නේ. ඒ කොවිඩ් වසංගතයේ ප්‍රශ්නය නිසා. එහෙම නැතිව තරගාවලියක් පවත්වගන්න බැරිව හෝ අනුග්‍රාහකයෝ නැතිව නෙවෙයි.

තනතුර බාර ගන්න කළින් ප්‍රතිපත්ති ප්‍රකාශයකුත් එළි දැක්වූවා නේද ?

ඔව්. මම එහෙම කළා. මම කිව්වා දේශීය තරග සැලැස්ම වෙනස් කරනවා කියලා. මම කිව්වා පළාත් තරග සැලැස්ම වෙනස් කරනවා කියලා. කෙටි කාලීන හා දිගු කාලීන සැලසුම් ගොඩක් කිව්වා. ඒකට මට වෙලාව උවමනායි. ඒ අවස්ථාව විවෘත වෙනකල් තමයි මමත් බලාගෙන ඉන්නේ.

කවදද කොහොමද පටන් ගන්නේ ?

කොහොමද ආපහු පටන් ගන්නේ, කොහොමද ඉස්සරහට ජාතික තරගාවලියක් පවත්වන්නේ කියන එක තමයි සභාපතිවරයා හැටියට මා මුහුණදී ඇති අභියෝගය. ඕනෑම කෙනෙකුගේ ජීවිතයේ මේ වගේ අභියෝග එනවා. ඒවා ජයග්‍රහණය කරන්න අපි සැලසුම් කරන්න ඕනෑ.

මේ සැලසුම්වලට විධායක කමිටුවේ අනුමැතිය ලැබුණද ?

අපි හැමෝම එකතුවෙලා තමයි මේ යෝජනා හා සැලසුම් ගොඩනගලා තියෙන්නේ. දැන් ක්‍රීඩා අමාත්‍යාංශය අපෙන් ඉල්ලලා තියෙනවා කෙටි කාලීන, දිගු කාලීන වැඩසටහන් මොනවද කියලා.

ඔබ සභාපතිධුරයට යෝජනා කළේ බස්නාහිර පළාත් රග්බි සංගමය. ඒත් නිලවරණය වෙද්දී ඒ සංගමයේ සාමාජිකත්වය අහෝසි වෙලා තිබුණේ?

ඒක හිටපු සභාපතිවරයාගේ පෞද්ගලික මතවාදයක් නිසා සිදුවුණු දෙයක්.

ඒ වුණාට රග්බි ව්‍යවස්ථාවට අනුව ඒක හරි නේද ? සාමාජික මුදල් ගෙවලා නැත්තං කොහොමද සාමාජිකත්වය දෙන්නේ.?

ඒක ව්‍යවස්ථාවේ තිබුණට හරි විදිහට බැලුවොත් හැම පළාත් සංගමයක්ම මුදල් ගෙවලා තිබුණේ නෑ. වාර්ෂික මහ සභා රැස්වීම පවත්වන්න තියෙන අවශ්‍යතාව නිසා අපි ඒවා විවේචනය කරන්න ගියේ නෑ. අනික බස්නාහිර පළාත් සංගමය ඉලක්ක කරගෙන පමණයි මේ තත්ත්වය ඇතිවුණේ.

කොහොමද හරියටම කියන්නේ..?

මමත් එතන හිටියේ නියෝජ්‍ය සභාපති විදිහට. අපි මව් සංගමය විදිහට පළාත් සංගම්වලට දන්වලා තිබුණෙත් නෑ සාමාජික මුදල් ගෙවන්න කියලා. මම හිතන්නේ අවුරුදු 5කට 6කට විතර කළින් තමයි ඒ වගේ දැන්වීමක් යැව්වේ. හරියට බලනවානම් කවුරුවත්ම මුදල් ගෙවලා තිබුණේ නෑ.

එහෙනං මොකක්ද මේ සිද්ධිය ?

මෙහෙමයි. කවුරුහරි ගිහින් පළාත් සංගම් වෙනුවෙන් මුදල් ගෙවලා තියෙනවා එකපාර හයදාහක්, හත්දාහක් විතර තමයි ගෙවලා තිබෙන්නේ. පස්සේ රිසීට් අරගෙනත් තියෙන්නේ මේ ගෙව්වේ අහවල් අහවල් පළාත් සංගම්වලටයි කියලයි. එතැනදී බස්නාහිර පළාත් සංගමය මඟ හැරලා තිබුණා.

කොහොමද දැන ගත්තේ ?

අපි මේවා වාර්ෂික මහ සභා රැස්වීමෙන් පස්සේ හොයලා බැලුවා. අපිට තේරුණා මේක පස්සේ මොකක් හරි සැලසුමක් තිබිලා තියෙනවා කියන එක. බස්නාහිර පළාත් සංගමය අයින් කරන්න තමයි කාටහරි ඕන කරලා තිබුණේ කියන එක අපි තේරුම් ගත්තා. ඒත් අන්තිමට අනිත් පළාත් සංගම් එකතුවෙලා බස්නාහිර පළාත් සංගමයෙන් යෝජනා කළ ගොඩාක් අයව පත් කරගත්තා.

ඒ කියන්නේ දැන් බස්නාහිර පළාත් සංගමයට ආපසු සාමාජිකත්වය දුන්නා කියන එකද?.

අපි වාර්ෂික මහා සභාවට කළින් විධායක කමිටු රැස්වීමක් පැවත්වුවා. එතැනදී හිටපු සභාපතිතුමයි, ලේකම්තුමායි පිළිගත්තා බස්නාහිර පළාත් සංගමය මුදල් ගෙව්වා කියලා. ඉන් පස්සේ අලුත් කමිටුවට ඒවා ඉදිරිපත් කළා. අපි ක්‍රීඩා අමාත්‍යාංශයත් දැනුවත් කරලයි තිබුණේ. මේ වෙද්දී බස්නාහිර පළාත් රග්බි සංගමයට ආපහු සාමාජිකත්වය ලැබිලා තියෙනවා. එයාලාට වෙන ගැටලු තිබ්බේ නෑනේ. සාමාජිකත්ව මුදල් ගෙවලා නෑ කියන එකනේ තිබ්බේ. දැන් ගෙවලා තියෙන්නේ.

ඔබ පත්වුණේ අවුරුදු 2කට ද ?

සාමාන්‍යයෙන් අපේ ව්‍යවස්ථාවේ තියෙනවා සභාපතිවරයකුට අවුරදු 4ක් දක්වා යන්න පුළුවන් කියලා. ඒක ප්‍රශ්නයක් නෑ. ඉතින් මම හිතන්නේ දැන් ගෙවන්නේ අභියෝගාත්මක කාලයක්.

හිටපු සභාපති ගියාට පරණ අය වැඩිදෙනෙක් තවමත් ඉන්නවානේ?

සභාපති කෙනෙක් ගියා කියලා විධායක කමිටුවේ හැම කෙනාම යන්න ඕනෑ කියලා එකක් නෑනෙ. උපසභාපති හා කවුන්සිල් සාමාජිකයෝ තව දුරටත් ඉන්න පුළුවන්.

ප්‍රතිපත්ති ප්‍රකාශනයක් එළි දැක්වුයේ මොකටද ?

ඒක හොඳයි නේ. එක අතකට ඒක මටම කරගත්තු අභියෝගයක්. ඒත් මම කියූ දේවල් මට ඉෂ්ඨ කරන්න පුළුවන් කියලා මට හොඳ විශ්වාසයක් තියෙනවා.

බැරිවුණොත් ඔබ අසමත් ?

මෙහෙමයි. අපි හැම ක්‍රීඩාවේම බලනකොට සියයට සීයක් බලාපොරොත්තු ඉටු කරලා තියෙනවද? ඒක වෙන්නේ නෑනේ. එකෙන් සියයට පනහක්. නැත්තං හැටපහක්, හැත්තෑවක්. හැත්තෑවකට ආවෝත් ඒක මගේ දිනුමක්. ඉතින් මම ඒ මතයේ ඉන්නේ.

හොඳටම විශ්වාස ද?

ක්‍රීඩා අමාත්‍යාංශයේ සහයෝගය තියෙනවා. ලෝක රග්බි සම්මේලනයේ සහයෝගය තියෙනවා. මානසිකව මමත් සූදානම්. ඉතින් මම හිතන්නේ නෑ එ් විධිහට කිසිම ගැටලුවක් තියේවි කියලා.

රග්බි ක්‍රීඩකයන් ගැන හොයලා බලන්නේ නැද්ද.? කොවිඩ් වසංගතයත් එක්ක ඔවුන් පවා අසරණ වෙලා ඉන්නවා නේද?

මම පුද්ගලිකව කණ්ඩායම් නායකයන් එක්ක කතා කළා. ක්‍රීඩකයන් හොඳ තත්ත්වයේ ඉන්නවා. හැබැයි ක්‍රීඩකයන් 20ක් විතර රස්සා නැතිව ඉන්නේ. මොකද එයාලා රැකියාව කළ සමාගම් එයාලා රග්බි වෙනුවෙන් විතරයි ගත්තේ. අනිත් එක දැන් කොවිඩ් ප්‍රශ්නයත් එක්ක ඒ සමාගම් පවා ගැටලුවලට මැදිවෙලා ඉන්නේ.

ක්‍රීඩකයන් කොන්ත්‍රාත්ගත කරලා තිබුණානම් මේ වගේ තත්ත්වයක් මතුවෙන්නේ නෑ නේද?

එහෙම වුණත් ඉතින් අපිට ආදායම් මාර්ගයක් තියෙන්න ඕනෑනේ. එහෙම වුණානම් සංගමයේ සල්ලි තියෙන්න උවමනායි. ක්‍රීඩා අමාත්‍යාංශයේ සල්ලි තියෙන්න ඕනෑ. අනුග්‍රාහකයන්ගෙන් සල්ලි එන්න ඕනෑ. ඒවා පවා දැන් අත්හිටුවලා තියෙන්නේ. එහෙම තත්ත්වයක් තුළ කොන්ත්‍රාත්ගත කරලා තිබුණා කියලා වැඩක් වෙන්නෙත් නෑ. මේක අපිට විතරක් නෙවෙයි ජාත්‍යන්තරයේත් එහෙම තත්ත්වයක් තියෙන්නේ.

ඔබ සභාපති තනතුර බාර ගනිද්දී රුපියල් මිලියන 30ක විතර මුදල් හිඟයක් තිබුණ ද?

ඔව් ඒක දැනගෙන තමයි බාර ගත්තේ. ඒක තමයි අභියෝගය. නමුත් කොවිඩ් තත්ත්වයත් එක්ක මොකුත් කරන්න බැ. නැත්තම් මම සූදානමින් ඉන්නේ.

ලබන වසරේදිත් මේ කතාවම කියන්න වේවිද?

නෑ. ඇමැතිතුමා අපිට කිව්වේ ලබන ජනවාරි වෙනකොට සත්සාමාජික තරගාවලියක් පටන් ගන්න කියලා. ඒකට අවශ්‍ය වාර්තාවක් දෙන්න කිව්වා. ගාල්ල හරි මහනුවර හරි ඒක තියනවා. කොළඹ නම් බැරිවේවි. ඒක ක්‍රීඩා සමාජ එක්ක සාකච්ඡා කරලා සතියක විතර නිරෝධායන කාලසීමාවක් දාලා පටන් ගන්නවා. ඒකට අවශ්‍ය පසුබිම අමාත්‍යාංශයෙන් කරලා දෙනවා. ඒකට අවශ්‍ය සෞඛ්‍ය පසුබිම හරියට දැඩි විදිහට හදාගන්න වෙනවා. මොකද මේ කොවිඩ් වසංගතයත් එක්ක රග්බි ක්‍රීඩාව සලකන්නේ 4 වැනි අදියරේ දැඩි අවදානම් තත්ත්වයේ ක්‍රීඩාවක් හැටියටයි.

ඔබ මීට පෙර මේවගේ අභියෝගවලට මුහුණ දීලා තියෙනවද?

එහෙම තමයි සමහරු කියන්නේ. නමුත් මගේ ජිවිතයේ මම අසමත් වෙලා වැටිලා ආපහු නැගිට්ට මිනිහෙක්. මට ශක්තියක් තිබ්බා ආපහු නැගිටින්න. අසමත් වෙන්නේ ආපහු නැගීටින්න බැරිවුණාමයි.

දැනටමත් අසමත් කියලා මම කිව්වොත් ?

එහෙම වෙන්නේ කොහොමද? කෝවිඩ් වසංගතය නිසානේ මේ හිරවෙලා ඉන්නේ එච්චරයි. තේරුම් ගන්න. ඉස්සරහට බලන්නකෝ අපි රග්බි දියුණු කරන හැටි.

 

 

ඡායාරූප - වාසිත පටබැඳිගේ

Comments