
"රටක ක්‍රීඩාවේ පැවැත්ම තීරණය වන්නේ ක්‍රීඩකයා මතයි. ඇමැති මොනවා කළත් ක්‍රීඩකයා දක්ෂතා නොදැක්වූවොත් කිසිම වැඩක් නෑ. කොතරම් ක්‍රීඩාංගණ හැදුවත්, ක්‍රීඩකයෝ තරගවලට යැව්වත්, ඇමැතිවරයාගේ සාර්ථකත්වය තීරණය කරන්නේ ක්‍රීඩකයා දක්වන ප්‍රතිඵලයෙනුයි. ඒ නිසා ක්‍රීඩා අමාත්‍යාංශයේ වීරයා ක්‍රීඩා ඇමැති නොව ක්‍රීඩකයායි. මොකද ඇමැතිවරු ඉන්නෙ ප්‍රතිපත්ති හදන්න පමණයි."
ක්‍රීඩා සහ තරුණ කටයුතු ඇමති නාමල් රාජපක්ෂ පැවැසූයේ පසුගිය සතියේ 'ක්‍රීඩා' හා සංවාදයට එක්වෙමිනි.
තරුණ අමාත්‍යවරයකු වශයෙන් අමාත්‍යවරයා සිදු කරන මෙම ප්‍රකාශය සුවහසක් ක්‍රීඩාප්‍රේමීන් තුළ ඇති කරන්නේ ප්‍රශංසනීය අපේක්ෂාවකි. එහෙත් ඔහු පවසන ආකාරය5ට එය තීරණය වන්නේ අනාගතයේ එකෝමත් එක දවසකය. තවත් ආකාරයට ඔහු ක්‍රීඩා ඇමැති ධුරයේ වගකීම් අතහැර නැවත එකී ධුරය දෙස හැරී බලන දිනකය.
ඇමතිවරයා එහිදී මෙසේද පවසයි:
"වසරක් තුළ අපට කළ හැකි වැඩ ගැන අපි ඉලක්ක කරනවා. යටිතල පහසුකම් හදද්දී ප්‍රේක්ෂකගාරයට නොවෙයි අපි තැන දෙන්නේ ක්‍රීඩාංගණයටයි, ක්‍රීඩකයාගේ මූලික අවශ්‍යතා ඉටු කරගත හැකි පහසුකම් වැඩිදියුණු කරන්නයි. මෙතෙක් කාලයක් ක්‍රීඩාංගණ එකකට දෙකකට කෝටි ගණන් වෙන් කළ මුදල් වෙනුවට අපි රට පුරා ක්‍රීඩාංගණ කෙරෙහි අවධානය යොමුකරනවා."
අතීත කීර්තිය මත යැපෙන ක්‍රීඩකයන්, පුහුණුකරුවන් වෙනුවට දක්ෂතා පදනම් කරගනිමින් හා ඒවායේ වර්ධනය ඉලක්ක කරගනිමින් ක්‍රීඩකයන්ට පමණක් නොව පුහුණුකරුවනට දීමනා ලබාදීමේ ක්‍රමවේදයක් ඇති කිරීමද අගනා තීරණයකි. විදේශීය පුහුණුකරුවන්ගෙන් දේශීය පුහුණුකරුවන් හා ජාතික පාසල්වල සිටින ක්‍රීඩකයින්ගේ පුහුණුව සම්බන්ධව ඉටු කිරීමට වගකීමක් බාරදීමට යාමද විශිෂ්ටය. මේ ඇගයීම අප දෙන්නේ වත්මන් ඇමතිවරයාට සුදු හුණු ගාන්නට හෝ ඔහු මුරුංගා අත්තේ තබන්නට නොවේ. එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නට දිරි දෙන්නටය.
කෙසේ නමුත් ක්‍රීඩා සංගම් හා සම්මේලන බොහොමයක සිටින්නේ පුද්ගලයන් ඇන්දවීමේ ඉහළම සුදුසුකම් ලබාගත් කණ්ඩායම්ය. ඔවුන් රූපලාවණ්‍ය පාඨමාලාවලට සහභාගි වී සුදුසුකම් සම්පූර්ණ කර ඇත්තේ මනාලියන් නොව පුද්ගලයන් ඇන්දවීමටය. ඒ සම්බන්ධයෙන් ඉහළම වෘත්තීය කුසලතා (එන්.වී. කිව්.) සහතිකද ඔවුන් සතුය. නිලවරණ පරාජය ලැබ බලය අහිමිව සිටින කණ්ඩායමද ඊට දෙවැනි නැත. කකුලෙන් ඇදීමේ ප්‍රවීණතා සහතිකය හා ගතු කීමේ සහතික පිට සහතික ඔවුහු දිනා ඇත. මෙවැනි තත්ත්වයක් මත පත්වන ක්‍රීඩා ඇමැතිවරුන්ට යන්නට ඇත්තේ අතුරේ යැයි අප කියන්නේ එහෙයිනි.
මෑත ඉතිහාසයේ වඩාත් සාර්ථකම ක්‍රීඩා ඇමැති ලෙස සැලකිය හැක්කේ එස්.බී. දිසානායක මහතාය. ඔහු ඒ ගමන ගියේ විශිෂ්ටයන් රැසක් පෙරමුණේ තබාගෙනය. කේවට්ටයන් නොවන උපදේශකයන් සමඟය. එහෙත් එම යුගයේ තිබූ විශාලතම අඩුපාඩුව වනුයේ සමස්ත ක්‍රීඩා පිබිදීමට වඩා මලල ක්‍රීඩාව පමණක් හිස එසවීමය. වත්මන් බලධාරීන් ඒ සියලු දේ සිහිතබාගත යුතුය.
ක්‍රීඩාවට වෙනස් නොවන ප්‍රතිපත්තියක් සැකසීමට සියලු ඇමතිවරු ප්‍රතිඥා දෙති. එහෙත් මඳ කලකින් එය ඉටු නොවූ අපේක්ෂාවක් බවට පත් වේ. එනිසා කියන දේ ප්‍රායෝගිකව ඉටු කිරීමට දේශපාලනඥයන් සමත් විය යුතු සේම ඒ අනුව ඔවුන්ගේ නාමයද අප අතර ඉතිරි වීම/ නොවීම තීරණය වනු ඇත.
සංස්කාරක










