
තායිලන්තයේ උද්ඝෝෂණ වැඩිවේ
පසුගිය මාස කිහිපය පුරා තායිලන්ත ජනතාව එරට රජුට සහ පාලකයන්ට එරෙහිව උද්ඝෝෂණ පවත්වමින් සිටි අතර මේ වන විට එම උද්ඝෝෂණ වඩාත් ප්‍රචණ්ඩව වර්ධනය වෙමින් පවතින බව වාර්තා වේ. මේ උද්ඝෝෂණ සඳහා සහභාගී වූ පිරිස අතරින් 6 දෙනෙකු පසුගිය සතියේදී පමණක් පොලිස් වෙඩිපහරින් මරුමුවට පත්වී තිබේ.
තායිලන්ත රජුට සහ රාජාණ්ඩුවට විරුද්ධව අදින් මාස හතරකට පමණ පෙර මේ උද්ඝෝෂණ ඇරඹුණු අතර එයට නායකත්වය දෙනු ලැබූවේ එරට ශිෂ්‍ය ප්‍රජාව විසින්. එම සටන් ව්‍යාපාරය ‘රතු කමිස’ ලෙස නම් කරනු ලැබ තිබිණි.
මෙලෙස වීදි බසිමින් සිටින ජනතාව මේ වන විට එරට අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ රාජාණ්ඩුව අහෝසි කරමින් නව ව්‍යවස්ථාවක් ගෙන එන ලෙසයි.
‘පවුල කැඩේවි යැයි බයවුණා’ ඔබාමා කියයි
තමන් ජනාධිතිධූරය හොබවන සමයේදී තම පවුල කැඩීයාවි යැයි තමන් වරෙක බිය වූ බව හිටපු ජනාධිති බරැක් ඔබාමා පීපල්ස් සඟරාවට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් පවසා තිබේ. තමන් රටේ අභ්‍යන්තර ගැටලු මෙන්ම විදේශ අර්බුද සමඟ ගැටෙමින් සිටින විට තම බිරිය මිෂෙල්ට හුදකලාව දරා ගැනීමට සිදුවූ බවත්, ජනාධිපති ආර්යාව ලෙස සියල්ල තිතටම නිවැරදිව කිරීමට සිදුවූ බැවින් ඇය මහත් මානසික පීඩාවටත් පත්ව සිටි බවත් ඔහු පවසා තිබේ. ඇතැම්විට ඇයට මේ පීඩාව දරා ගැනීමට නොහැකි වේ යැයි තමා බියවූ නමුත් ඉඩක් ලැබුණු සෑම විටෙකම තම දරුවන් ලොකුමහත්වනු බලා තමන් දෙදෙනා ඉතා සතුටට පත්වූ බවත් ඔහු සඳහන් කර තිබේ.
කුවේට් රස්නේ දරාගන්න බෑ
ලෝකයේ උණුසුම අධිකතම රටවල් කිහිපය අතරින් එකක් වන කුවේට් හි උෂ්ණත්වය තවදුරටත් ඉහළ යමින් පවති බව වාර්තා වේ. 2016 ජූලි 21වැනිදා වයඹ දිග කුවේටයේ මිට්රිබාහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 53.9ක් වූ අතර එය එතෙක් ලෝකයේ වාර්තා වූ වැඩිම උෂ්ණත්වයන් අතරින් තුන්වැනි තැන ලෙස සඳහන් විය. ඉරාකය සහ සෞදි අරාබිය අතර මැදිව පිහිටා ඇති තෙල් නිධිවලින් පොහොසත් මේ දේශයේ ජනතාව අධික උෂ්ණත්වය මගහරවා ගැනීමට විවිධ තාක්ෂණික ක්‍රම භාවිත කළද විදේශයන්ගෙන් සේවය පිණිස පැමිණෙන වැඩිදෙනෙකුට එම වාසනාව නොලැබෙන බවද සඳහන්ය. එමෙන්ම පාරිසරික විද්‍යාඥයන් පෙන්වා දී ඇත්තේ මේ භූ ප්‍රදේශයේ උෂ්ණත්වය දිනෙන් දින ඉහළ යමින් පවතින බවයි.
නිවර් තමිල්නාඩුවට පහර දෙයි
නිවර් සුළි කුණාටුව පසුගිය බදාදා දවස් කාලය වන විට තමිල්නාඩුවට ඇතුළු විය. සුළි කුණාටුවේ ගමන්මග කල්තබා හඳුනාගත් ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් එරට ජනතාවට අනතුරුඇඟවීම් සිදුකළේය. අන්ද්‍ර ප්‍රදේශයේ කොටසක්, තමිල්නාඩුවේ වෙරළබඩ කලාපය සුළි කුණාටුවේ ඍජු පහරදීමට මුහුණ දෙන ප්‍රදේශ ලෙස හඳුනාගෙන තිබිණි. සුළි කුණාටු ඒවායේ ප්‍රභලත්වය අනුව කොටස් හතකට බෙදා ඇති අතර මේ නිවර් සුළි කුණාටුව ප්‍රබලත්වය අතින් පස්වැනි තැන ගන්නා සුළි කුණාටුවක් ලෙස නම් කර තිබේ. පසුගිය මැයි මාසයේ ඉන්දියාවට සහ බංග්ලාදේශයට කඩා වැදුණු අම්පන් සුළිකුණාටුව හේතුවෙන් පුද්ගලයන් 110ක් ජීවිතක්ෂයට පත්විය.
කැනඩාවේ අගමැතිට රුසියාවෙන් ‘විහිලුවක්’
රුසියාවේ ප්‍රසිද්ධ විහිළුකරුවන් දෙදෙනෙකු ලෙස නම් දරා සිටින වොවන් සහ ලෙක්ස් කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝට තිගැස්මට පත්වන අන්දමේ ‘විහිළුවක්’ කර තිබේ. ඒ ඔවුන් ග්‍රේටා තන්බර්ග් ලෙස පෙනී සිටිමින් අගමැතිවරයාට දුරකතන ඇමතුමක් ලබා දෙමිනි. ග්‍රේටා තන්බර්ග් යනු ලෝකයේ ගෝලීය උණුසුම සම්බන්ධව විශේෂ මෙහෙයක් කැපවීමක් කරන නෝර්වීජියානු පාසල් දැරියකි.ග්‍රේටා ලෙස පෙනී සිටිමින් අගමැතිවරයා ඇමතූ මේ දෙදෙනා පවසා ඇත්තේ ‘වහාම නේටෝ සංවිධානයෙන් ඉවත් වන’ ලෙසයි. එය ඇසූ වහාම අගමැතිවරයා පුදුමයෙන් පුදුමයට පත්වූ බවද සඳහන්ය. මීට පෙර මේ රුසියානු ‘විහිළුකරුවන් දෙදෙනා’ රුසියානු අගමැති ව්ලැඩිමීර් පුටන් ලෙස පෙනී සිටිමින් සුප්‍රසිද්ධ ගායක එල්ටන් ජෝන්ද රැවටීමට ලක් කර තිබේ.