
බයිඩ්න් දුර්වල නායකයෙක්
- චීනය කියයි
ඇමරිකාවට නව ජනාධිපතිවරයෙක් පත්වී මේ වන විට මසක පමණ කාලයක් ගෙවී ගොස් තිබේ. එරට ව්‍යවස්ථාව අනුව නව ජනාධිපතිවරයා එළඹෙන ජනවාරි මස 20වැනි දින දිවුරුම් දීමට නියමිතය. ජනමතය අනුව ප්‍රතිඵල නිකුත්වීමෙන් පසුව පරාජිත අපේක්ෂකයා පරාජය පිළිගනිමින් අලුතෙන් පත්වූ ජනාධිපතිවරයාට සහයෝගය ලබාදීම මෙතෙක් ඇමරිකානු ඉතිහාසයේ දක්නට ලැබුණද මෙවර ඩොනල්ඩ් ට්‍රම්ප් දිගින් දිගටම තම පරාජය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් නව දේශපාලනික ගැටලු කිහිපයකට මුහුණ දීමට ජෝ බයිඩ්න් නව ජනාධිපතිවරයාට සිදුවී තිබේ.
මේ දක්වා තම පරාජය ට්‍රම්ප් ඍජුව පිළිගෙන නොමැති අතර එහෙත් ඔහු ධූරය හැර යෑම ප්‍රතික්ෂේප කිරීමක්ද සිදුකර නැත. මේ වන විට සාමාන්‍යයෙන් ජයග්‍රහණය ලැබූ අපේක්ෂකයා තම පත්කිරීම් ක්‍රමිකව සිදුකරමින් සිටින කාලය වුවුද බයිඩ්න් ජනාධිපතිවරයාට තමන්ගේ නව පත්කිරීම් තම කාර්ය මණ්ඩලවලට අදාළව සිදුකිරීමේදී අපහසුතාවන්ට මුහුණ දෙමින් සිටින බව ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබේ.
මේ වන විට බයිඩ්න් ජනාධිපතිවරයා තම කැබිනට් මණ්ඩලය මෙන්මකොවිඩ් මැඬලීම සඳහා නව කාර්යසාධක බළකායක් පිහිටුවීමට කටයුතු කරමින් සිටින අතර ඒ සඳහා නව පත්කිරීම්ද කරමින් සිටින බව වාර්තා වේ. විරැකියාවට විසඳුම් සෙවීමටද බයිඩ්න් වෙනම කාර්ය මණ්ඩලයක් ස්ථාපිත කළ බවද සඳහන්ය.
මේ අතර බයිඩ්න් ජනාධිපතිධූරය ජයගැනීමෙන් පසු ඔහුට සුභපැතීමට එක්නොවුණු රුසියාව සහ චීනය මේ වන විට බයිඩ්න්ට වාග් ප්‍රහාර එල්ල කිරීමේ යෙදී සිටින බව පෙනී ගොස් තිබේ. ඒ යටතේ ප්‍රථමයෙන්ම නිහැඬියාව බිඳ දැමූ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසා ඇත්තේ තමන් ඇමරිකානු ජනාධිපති ලෙස ජෝ බයිඩ්න් පිළිනොගන්නා බවයි.
පසුගිය ඉරිදා රුසියානු ජාතික රූපවාහිනී නාළිිකාව සමඟ සාකච්ඡාවකට එළඹෙමින් පුටින් පවසා සිටියේ ඖනෑම රටක මහජන ඡන්දයෙන් නායකයකු පත්වූ විට ඔහු නායකයා ලෙස පත්වූ බව තහවුරු වන්නේ එරට විපක්ෂය පරාජය පිළිගත් පසුව බවයි.
ඇමරිකානු ජනතාව බහුතර මතයෙන් ජනාධිපති ලෙස තෝරා ගන්නා ඔනෑම කෙනෙකු සමඟ කටයුතු කිරීමට රුසියාව ඉදිරිපත් වන නමුදු මේ දක්වා ඩොනල්ඩ් ට්‍රම්ප් තම පරාජය ප්‍රකාශයට පත් කර නොමැති බැවින් ජෝ බයිඩ්න් ජයග්‍රහණය කළ බවද පිළිගත නොහැකි බව පුටින් පවසා තිබේ. ඒ හේතුවෙන්ම මේ දක්වා බයිඩ්න්ගේ ජයග්‍රහණයට ක්‍රෙම්ලිනය සුභපතා නොමැති බවද පුටින් පවසා තිබේ.
මේ හේතුවෙන් අනාගතයේදී රුසියාව සහ ඇමරිකාව අතර ද්වීපාර්ශ්වික සබඳතාවල කිසියම් බිඳවැටීමක් ඇතිවනු ඇතිදැයි ඇසූ ප්‍රශ්නයට පුටින් පවසා ඇත්තේ දෙරට අතර සබඳතාවල අමුතුවෙන් බිඳ වැටීමට දෙයක් ඉතිරි වී නොමැති බවත්, එම සබඳතා නටබුන් වීඇති බවත්ය.
2016 වසරේදී ට්‍රම්ප්ගේ ජයග්‍රහණයට රුසියාව සහය දුන් බවට චෝදනාද එල්ල වී තිබුණේ ඩිමොක්‍රටික් පක්ෂයෙනි.
කෙසේ වුවද මේ දක්වා ජනාධිපති බයිඩ්න්ට සුභ පැතීමට ලොව ඇතැම් රටවල රාජ්‍ය නායකයන් ඉදිරිපත් නොවීම සැලකිය යුතු කරුණක් වී තිබේ.
මේ අතර චීන සමකාලීන දේශපාලන අධ්‍යයන අංශයේ අංශාධිපතිවරයා පවසා ඇත්තේ ජෝ බයිඩ්න් යනු දුර්වල පාලකයකු බවයි. ඇමරිකාවේ පැරණි යහපත් කාලය අවසන් වී ඇති බව පවසා සිටින අංශාධිපති ෂෙං යොන්ග්නියන් පවසා සිටින්නේ බයිඩ්න්ගේ පැමිණීමෙන් පසු ඇමරිකානු සමාජය තීරුවලට ඉරී යනු ඇති බවය.
මින් ඉදිරියට ඇමරිකාවේ බලය හොබවනු ඇත්තේ සීතල යුධ උකුස්සන් විසින් බවත්, ලොව පුරා යුද ගිනිදැල් ඇවිල යනු ඇති බවත්, ඒ සම්බන්ධව බයිඩ්න්ට කිසිවක් කරකියාගත නොහැකි වනු ඇති බවත් ෂෙං යොන්ග්නියන් වැඩිදුරටත් පවසා තිබේ.
“බයිඩ්න් සැබවින්ම දුර්වල පාලකයෙක්. ඔහුට තම රටේ අභ්‍යන්තර ප්‍රශ්න පවා විසඳා ගැනීමට නොහැකි වනු ඇති. ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස ස්ථාපිත කිරීමට ට්‍රම්ප්ට නොහැකි වූවා සේම බයිඩ්න්ටත් නොහැකි වනු ඇති. එහෙත් ට්‍රම්ප් යුදවාදියකු නොවෙයි. නමුත් බයිඩ්න්ගේ පාර්ශ්වය නිතරම යුද්ධයට කැමැත්ත දැක්වූ අයයි. එබැවින් ඉදිරියේදී යුද්ධ ඇතිවනු ඇති. ෂෙං වෙන්ග්ලින්ග් වැඩිදුරටත් එසේ පවසා තිබේ.
චීනයේ ස්ථාවරය අනුව බොහෝවිට වෙනත් රටවල් සම්බන්ධව විවාදාපන්න අදහස් එරට රාජ්‍ය නායකයා හෝ වගකිවයුතු බලධාරීන් විසින් කිසිවිටෙකත් ප්‍රකාශ කරනු දක්නට නොලැබේ. කිනම් අවස්ථාවක් යටතේ වුවද චීන රාජ්‍ය නායකයා නිහඬවම සිටිනු වැඩි වශයෙන් දැකගත හැකිය. එහෙත් ඒ අතරතුර සිදුකෙරෙන මෙවැනි ප්‍රකාශ චීන නායකත්වයේ අදහස් ලෙස සැලකීමට බාධාවක් නැත.
කෙසේ වුවද පහසු මැතිවරණ ජයග්‍රහණයකින් වුවද අපහසුවෙන් ජය වාර්තා කළ බයිඩ්න්ට ස්වකීය පාලන කාලය පහසු එකක් නම් නොවනු ඇති බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත.