කැන­ඩා­වෙන් අන­තුරු ඇඟ­වී­මක් | Page 5 | සිළුමිණ

කැන­ඩා­වෙන් අන­තුරු ඇඟ­වී­මක්

 

සති කිහිපයකට පෙර මහා බ්‍රිතාන්‍යයේ අධිකරණයක් එරට රජය මගින් එල්ටීටීඊයට එරෙහිව පනවා ඇති තහනම නීති විරෝධී බවට කරනු ලැබූ අභියාචනා තීන්දුවෙන් සලිතවී සිටි දියෙස්පෝරා ක්‍රියාකාරීන්ගේ සතුටට හේතුවන කරුණක් පසුගිය සතියේදී කැනඩාවෙන් වාර්තා විය. මහා බ්‍රිතාන්‍යයේ ඒ එල්ටීටීඊ තහනම ඉවත්කර ගන්නට අභියාචනය ඉදිරිපත් කළ එල්ටීටීඊ ඉදිරි පෙළ සංවිධානයක් ලෙස හඳුන්වන දෙමළ ඊළම්හි අන්තර්ජාතික රජය හෙවත් ටී. ජී. ටී. ඊ සංවිධානය පසුගිය අගෝස්තුවේ දී කැනේඩියානු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබු පෙත්සම කැනේඩියානු රජය විසින් ප්‍රතික්‍ෂේප කරනු ලැබුවා. මේ පෙත්සම පිළිබඳව මා සති කිහිපයකට පෙර ලිපියක් ද පළ කරනු ලැබුවා ඔබට මතක ඇතැයි සිතමි. ඔන්ටාරියෝ ප්‍රාන්තයේ බ්‍රම්ප්ටන් නගරයේ සිට ඔටාවා අගනුවර දක්වා පා ගමනකින් ගොස් ටී.ජී.ටී.ඊ ක්‍රියාකාරීන් වන මහජයම් මහලිංගම්, විජිතරන් වරතරාජා, ඩේවිඩ් තෝමස් සහ යෝගේන්ද්‍රන් වයිසිගමගපති යන අයවලුන් විසින් එල්ටීටීඊයට පක්‍ෂපාතී පාර්ලිමේන්තු මන්ත්‍රී ගැරී ආනන්දසංගරී වෙත ලබා දුන් එම පෙත්සම ආනන්දසංගරී විසින් පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබුවේය.

සාමාන්‍ය කැනේඩියානු පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව නියමිත කාලයක් තුළ රජය විසින් එම පෙත්සමේ අඩංගු කාරණා සම්බන්ධයෙන් සිය ස්ථාවරය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත්කළ යුතු අතර පසුගිය ඔක්තෝම්බර් 02 වන දින සභාගත කරන ලද එම පෙත්සමට කැනේඩියානු ලිබරල් රජය විසින් සිය ස්ථාවරය පසුගිය නොවැම්බර් 16 වනදා කැනේඩියානු විදේශ අමාත්‍ය ප්‍රංශුවා-පිලිප් ෂැම්පේන් හරහා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කරනු ලැබුවේය. මහා බ්‍රිතාන්‍යයේදී සතුටුදායක පිළිතුරක් ලැබුණද කැනඩාවෙන් මෙවර ටී.ජී.ටී.ඊ.ය ට ලැබුණේ එතරම් හොඳ පිළිතුරක් නම් නොවෙයි. ශ්‍රී ලාංකික දියෙස්පෝරා ක්‍රියාකාරීන්ගේ සතුටට හේතුවුයේ මේ කරුණයි.

පෙත්සමින් ඔවුන් ප්‍රධාන කාරණා දෙකක් ඉල්ලා සිටිනු ලැබුවේය. එම කරුණු නම්, ජන සංහාර, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ, යුද අපරාධ, වධහිංසා පැමිණවීම සහ බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම වැනි ජාත්‍යන්තර අපරාධ සඳහා රාජ්‍යයන් සතුව පවතින ස්වෛරීභාවයේ මුක්තිය අහෝසි කිරීම සඳහා වන නීති රීති සැකසීමකට කැනේඩියානු රජයේ සහාය ලබා දීම, සහ බලහත්කාරයෙන් අතුරුදහන් කරවීමට එරෙහි සම්මුතියේ 32 වන වගන්තිය යටතේ පිහිටුවා ඇති කමිටුවට වෙත ශ්‍රී ලංකාව යොමු කිරීමයි.

මෙහි පළමු ඉල්ලීම නම් රාජ්‍යයක් වෙතින් නොඉල්විය යුතු ඉතා ඔලමොට්ටල ඉල්ලීමක් හැටියට සැලකිය හැකියි. පිරිසක් හෝ සංවිධානයක් රජයකින් නොඉල්ලිය යුතු යම් කරුණක් වේද මෙය ඒ කරුණු අතර ප්‍රධාන කරුණක් වේ. එනම් රාජ්‍යයන් සතු ස්වෛරීභාවයේ මුක්තිය රජ්‍යයන්ගේ පැවැත්මට ඉතා අත්‍යාවශ්‍ය කාරණාවකි. මෙම මුක්තිය නොතිබුණා නම් අතීතයේ තිබු බලවන්තයා ජයගනී යන යටත් විජිත ක්‍රියාදාමය තවදුරටත් ලොව පුරා ප්‍රචලිත ව තිබෙන්නට ඉඩ තිබුණි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බිහි වීමෙන් පසුව රජ්‍යයේ ලොකු කුඩා භාවය නොසලකා එම රාජ්‍යයන්ට හිමිවූ ස්වෛරීභාවය හේතුවෙන් එම රාජ්‍යයන්ට සමසේ සැලකීමටත් රාජ්‍යයන්ගේ පැවැත්ම තහවුරු වීමටත් මෙම "ස්වෛරී සමානාත්මතාවයේ මූලධර්මය" හේතුවී තිබුණි.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අංක 2:1 ප්‍රඥප්තියට අනුව සංවිධානය සිය සියලුම සාමාජිකයන් ස්වෛරී සමානාත්මතාවයේ මූලධර්මය මත පදනම් විය යුතුය. ආනන්ද සංගරී මන්ත්‍රීවරයා විසින් කැනේඩියානු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද මෙම ඔලමොට්ටල ඉල්ලීමට කැනේඩියානු විදේශ ඇමතිවරයාගේ පිළිතුර වුයේ "අපරාධ වගකීම පැවරිය හැක්කේ පුද්ගලයන්ට පමණක් මිස රාජ්‍යයන්ට නොවන බවයි". මෙම පිළිතුර මම දකින්නේ එක්තරා ආකාරයකින් ඔබ මෝඩයකු බව දන්නවා; එහෙත් එය නොපෙන්නුවා නම් වඩා හොඳ යැයි වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ප්‍රකාශ කිරීමක් ලෙසයි. දැනටමත් ස්වදේශිකයන් සමුලාඝාතනය කිරීම යන චෝදනාව එල්ල වී ඇති කැනේඩියානු රජයෙන් තවත් රජයක ස්වෛරී භාවයේ මුක්තිය ඉවත්කරගන්නා ලෙස ඉල්ලාසිටිම සිහිබුද්ධිය සහිත පුද්ගලයකු නොකරන දෙයකි.

මීට අමතරව පෙත්සම මගින් ඉදිරිපත් කරන ලද දෙවන කාරණාව සම්බන්ධයෙන් විදේශ ඇමතිවරයා කියා සිටියේ බලහත්කාරයෙන් අතුරුදහන් කරවීමට එරෙහි සම්මුතිය යටතේ පිහිටුවන ලද කමිටුවට කැනඩාව විසින් ශ්‍රී ලංකාව යොමු කරන ලෙස කරන ලද ඉල්ලීම ඉදිරිපත් කිරීමට නම් එලෙස ඉල්ලීම ඉදිරිපත් කරන්නාවූ රාජ්‍යය එම සම්මුතියට එකඟවී ඇති රාජ්‍යයක් විය යුතු බවත් එහෙත් කැනඩාව එලෙස එම සම්මුතියට අත්සන් තබා ඇති රටක් නොවන බැවින් එලෙස කල නොහැකි බවත් ය. මේ හැරුණුකොට ශ්‍රී ලංකාවේ දේශීය සහජීවන ක්‍රියාවලියක් සඳහා වන ශ්‍රී ලංකා රජයේ සැලසුම් දිගටම ක්‍රියාත්මක කිරීමට කැනේඩියානු රජයේ සහාය ලබාදීමට කටයුතු කරන බව ද විදේශ අමාත්‍යවරයා පාර්ලිමේන්තුව ඉදිරියේ තව දුරටත් කියා සිටියේය.

මේ නිසා කැනඩාවෙන් කිසි සහයක් නොලැබෙන බව දැන ටී.ජී.ටී.ඊ ක්‍රියාකාරීන් එම සම්මුතියට අත්සන් තබා ඇති වෙනත් රජයක් මගින් මෙම දෙවන යෝජනාව නැවත ඉදිරිපත් කිරීමට ද ඉඩ තිබේ. මේ හේතුවෙන් මෙම එල්ටීටීඊ ඉදිරි පෙළ සංවිධානයේ කටයුතු අඩාළ කිරීම ඉතා ඉක්මනින් සිදුවිය යුතුය. මෙම බලහත්කාරයෙන් අතුරුදහන් කර වීමට එරෙහි සම්මුතිය පැරීසියේදී අත්සන් සඳහා විවෘත කරන විට සම්මුතියට අත්සන් 57 ක් ලැබුණි. මතභේදාත්මක ලෙස, එක්සත් ජනපදය "අපේ අපේක්ෂා සපුරාලන්නේ නැත" යැයි කියමින් සම්මුතියෙන් මගහැර ගිය නමුත් එක්සත් රාජධානිය එයට අත්සන් තැබීය. ඒ අනුව ශ්‍රී ලංකාවට එරෙහි කටයුතු අතර ඉහළින්ම සිටින එක්සත් රාජධානියේ ඉදිරි කම්කරු පක්ෂ රජයකදී ශ්‍රී ලංකාවට එරෙහි මෙම යොමුව සිදුවිය හැකිය. ශ්‍රී ලංකාවේ එවක පැවති යහපාලන රජය විසින් 2015 දෙසැම්බර් 10 වනදින මෙම ගිවිසුමට අත්සන් තබා ඇති අතර ඒ සඳහා අවශ්‍ය දේශීය අණ පනත් ද දැනටමත් සම්මත කොට ඇති බැවින් මෙම යෝජනාව වෙනත් රටක් හරහා පැමිණීම සිදුවුවහොත් ශ්‍රී ලංකාවට ඉන් ඉවත් වීමට කලක් නොමැති වනු ඇත.

එසේ හෙයින් කැනේඩියානු රජය මෙලෙස ටී.ජී.ටී.ඊ. පෙත්සම ප්‍රතික්ෂේප කිරීමෙන් ලබා දුන්නේ ශ්‍රී ලංකා රජයට වහා ක්‍රියාත්මක වීම සඳහා වන අනතුරු ඇඟවීමක් බව මගේ හැගීමයි. එනිසා මෙම අනතුරු හැඟවීම බරපතළ ලෙස සලකා කටයුතු කිරීම ශ්‍රී ලංකා රජයේ වගකීමකි.

 

ඔබේ අදහස් යොමු කරන්න:

sldiasporatalks@gmail.com

Comments