
විස්සයි20 තරග බිමට ගැලපෙන ආකාරයේ වේගවත් පිතිහරඹ රටාවකට හිමිකම් කියන නිරෝෂන් දික්වැල්ල දඹුල්ල වයිකින් කණ්ඩායමේ පිතිහරඹ තුරුම්පුව ය. ටෙස්ට් පිටියේදිත්, එක්දින පිටියේදිත් එක ලෙස දක්නට ලැබෙන දික්වැල්ලගේ මේ ප්‍රහාරාත්මක පිතිහරඹය එල්.පී.එල්. තරගාවලියේදී ප්‍රතිවාදී කණ්ඩායම්වල පන්දු යවන්නන්ට දරුණු හිසදරයක් ගෙන දෙනු නිසැකය. එමෙන්ම පන්දු රකින්නන් ද දැඩි වෙහෙසට පත් කරවමින් කඩුල්ල පසුපසට පන්දුව ඇදී යෑමට සලස්වමින් ලකුණු සොරාගන්නා දික්වැල්ල එවැනි රිවර්ස් ස්වීප් පහරවල්වලින් ප්‍රතිවාදීන් සතු තරගයේ ජයග්‍රහණය තම කණ්ඩායම දෙසට හරවා තැබූ අවස්ථාවන් ද නැත්තේ නොවේ. ජාත්‍යන්තර විස්සයි20 තරග 23කට ක්‍රීඩා කරමින් අර්ධ ශතකයක් සමග ලකුණු 429ක් රැස් කර ඇති දික්වැල්ලගේ ලකුණු ලබාගැනීමේ වේගය 138කි.
විස්සයි20 විශේෂඥ පිතිකරුවකු වන නායක දසුන් ශානක කෙටි මුහුණුවර යටතේ පැවැත්වෙන මේ තරග රටාවට සරිලන ආකාරයේ සටන්කාමී ක්‍රීඩකයෙකි. පසුගිය වසරේ පාකිස්තාන විස්සයි20 සංචාරය ඔහුගේ එම සටන්කාමීත්වයත්, නායකත්වයත් කදිමට විදහා පෑ අවස්ථාවකි. එවකට විස්සයි20 ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ පසුවූ පාකිස්තාන කණ්ඩායම ඔවුන්ගේ රටේහිදිම තරගාවලි පරාජයක් උරුම කරගත්තේ දසුන් ශානකගේ නායකත්වයෙන් තරග කළ ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේය.
ජාත්‍යන්තර විස්සයි20 තරග 40කට ක්‍රීඩා කරමින් අර්ධ ශතකයක් සමග ලකුණු 483ක් රැස් කර තිබෙන දසුන්ගේ ලකුණු ලබාගැනීමේ වේගය 111කි. ඔහු දේශීය විස්සයි20 තරග බිමේදිද වාර්තා තැබූ ක්‍රීඩකයෙකි. මීට වසර කිහිපයකට පෙර එස්.එස්.සී. ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ඔහු පළමුපෙළ විස්සයි20 තරගයකදී පිතිකරුවකු විසින් එල්ල කරන ලද දෙවැනි වැඩිම හයේ පහර සංඛ්‍යාවට හිමිකම් කීවේ සිය ඉනිමට හයේ පහර 16ක්ම ඇතුළත් කරගනිමිනි. පිටිය සිසාරා පන්දුව එල්ල කරමින් එදා දසුන් ශානක රැස් කළ ලකුණු සංඛ්‍යාව 123කි. දේශීය විස්සයි20 තරග 93කට ක්‍රීඩා කරමින් ශතක 3ක් සහ අර්ධ ශතක 6ක් වාර්තා කළ මේ පිතිකරුවා එහිදී ලකුණු ලබාගැනිමේ වේගය 144ක මට්ටමක රඳවා ගත්තේය. පන්දුවෙන් දස්කම් දක්වමින් ඔහු ජාත්‍යන්තර විස්සයි20 කඩුලු 11කුත්, දේශීය විස්සයි20 කඩුලු 23කුත් දවාගැනීමට සමත් විය.
දඹුල්ල වයිකින් පිලේ පිතිහරඹ පෙළගැස්ම ඉතා ශක්තිමත් එකකි. ප්‍රවීණ පිතිකරු උපුල් තරංග ද එම කණ්ඩායමේ සාමාජිකයෙකි. විස්සයි20 ජාත්‍යන්තර තරග 26ක අත්දැකීම් ඇති උපුල් තරංග කඩුල්ල ආරක්ෂා කරමින් කෙටි ලකුණු ලබාගැනිමේ රුසියෙකි. මෑත කාලයේ ජාතික කණ්ඩායමට එක්වෙමින් කැපී පෙනෙන දස්කම් පෑ ඕෂද ප්‍රනාන්දු ද දඹුල්ල කණ්ඩායමේ පිතිහරඹ අංශය ශක්තිමත් කරනු ඇත. දේශීය ක්‍රිකට් තරග බිමේ දස්කම් අතර සිටින ඇන්ජෙලෝ පෙරේරා, ඩිල්ෂාන් මුණවීර මෙන්ම පසුගිය අන්තර් සමාජ ප්‍රිමියර් ලීග් තුන්දින තරගාවලියේ දී මීගමුව ක්‍රීඩා සමාජයට එරෙහිව නොදැවී ලකුණු 300ක් රැස් කළ රමේෂ් මෙන්ඩිස් ද දඹුල්ල කණ්ඩායමේ බලාපොරොත්තුවක් බවට පත්වී සිටී.
විස්සයි20 ක්‍රිකට් පිටියේ ඉන්දියාවට එරෙහිව 2016දී පැවැති සිය මංගල තරගයේ දෙවැනි පන්දුවෙන්ම ඉන්දීය පිලේ සුපිරි පිතිකරු රෝහිත් ෂර්මා දවාලමින් වාර්තාගත පන්දු යැවීමක නිරතවූ කසුන් රාජිත දඹුල්ල කණ්ඩායමේ පන්දු යැවීමේ අංශයේ විශාලතම බලාපොරොත්තුව වනු ඇත.
දඹුල්ල වයිකින් කණ්ඩායම -
සචිඳු කොළඹගේ, උපුල් තරංග, ඩිල්ෂාන් මුණවීර, කසුන් රාජිත, නිරෝෂන් දික්වැල්ල, ඕෂද ප්‍රනාන්දු, දසුන් ශානක, ළහිරු කුමාර, කවිඳු නදීෂාන්, ළහිරු මධුසංඛ, අෂේන් බණ්ඩාර, ඇන්ජෙලෝ පෙරේරා, පුලින තරංග, රමේෂ් මෙන්ඩිස්, සමිට් පටේල්, පෝල් ස්ටර්ලිං, සුදීප් තියාගි, මලින්ද පුෂ්පකුමාර, අෆ්තාබ් අලාම්, අන්වර් අලී, සමියුල්ලා ශින්වාරි.
-------------
විදෙස් ක්‍රීඩකයෝ
අනිවාර්යයෙන්ම මෙම කණ්ඩායමේ ප්‍රධානතම විදෙස් ක්‍රීඩකයා වන්නේ අයර්ලන්තයේ පෝල් ස්ටර්ලිංග්ය.
අෆ්තාබ් අලාම් සහ සමියුල්ලාහ් ශින්වාරි ඇෆ්ගනිස්තානය නියෝජනය කරති. 32 හැවිරිදි ශින්වාරි තුන් ඉරියව් හපනෙකි. 2009 සිට ජගත් තරගවලට ක්‍රීඩා කරයි. 27 හැවිරිදි අලාම් ද තුන්ඉරියව් හපනෙකි. මේ ක්‍රීඩකයින් දෙදෙනාම 2015 සහ 2019 එක්දින ලෝක කුසලාන තරගාවලි සංචිතයන්ට තේරි සිටියහ. පාකිස්තානයේ අන්වර් අලිත් තුන් ඉරියවි හපනෙකි. ඹහු 2008 සිට ජගත් තරගවලට ක්‍රීඩා කරයි. ඹහු 32 හැවිරිදිය. දකුණතින් මඳ වේග පන්දු යවන සුදීප් තියාගී 33 හැවිරිදිය. ඹහු ඉන්දියාව නියෝජනය කරමින් එක්දින ජගත් තරගවලට ක්‍රීඩා කර ඇත. එමෙන්ම ඉන්දිය ප්‍රිමියර් ලීග් තරගාවලියේදි චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කළේය.
බොලිවුඩ් නළුවෙක් සහ ව්‍යාපාරිකයෙක් වන සචින් ජේ. ජෝෂි මෙහි හිමිකරුවාය.










