ශ්‍රී ලංකා LPL ආයෝජන | Page 2 | සිළුමිණ

ශ්‍රී ලංකා LPL ආයෝජන

එල්.පී.එල්. අනාගත ආයෝජනයකි. එම තත්ත්වය වඩාත් තහවුරු කරන්නේ තරගාවලියට නවක ක්‍රීඩකයන් රැසක් වරම් ලැබීම හේතුවෙනි. එලෙස එල්.පී.එල්. වරම් ලැබූවන් මේ දක්වා ජාතික ක්‍රිකට් පිල නියෝජනය කරද නැත. ඒ අතර පාසල් වියේ පසුවන ක්‍රීඩකයින් කීපදෙනෙක් තෝරා ගෙන තිබේ. ඉන් වඩාත් අවධානය යොමු වී තිබෙනුයේ මෙරට පාසල් ක්‍රිකට් ඉතිහාසයේ එකම චතුර් ශතකලාභියා වන LPL තරගාවලියට එක්වන ළාබාලම ක්‍රීඩකයා වන කොළඹ Kings කණ්ඩායමට තෝරා ගෙන සිටින ක්‍රීඩකයා සේ සැලකෙන නවෝද් පරණවිතානය. මේ ශ්‍රී ලංකා ජාතික පිල අභිමුව සිටින එල්.පී.එල්. වරම් දිනූ යොවුන් ක්‍රීඩකයන් 23 දෙනා සම්බන්ධ කෙටි හඳුන්වා දීමකි.

චරිත් අසලංක - රිච්මන්ඩ් විද්‍යාලය නියෝජනය කරමින් පාසල් ක්‍රිකට් පිටියේ දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකි. ඔහු මොබිටෙල් - සන්ඩේ ඔබ්සර්වර් ක්‍රිකට් සම්මාන ප්‍රදානයන්හිදී 2015 සහ 2016 වසර දෙකේදීම වසරේ ක්‍රිකට් ක්‍රීඩකයාය.

අශේන් බණ්ඩාර - ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලයෙන් බිහිව ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ පිල සහ ශ්‍රී ලංකා නැගී එන පිල ද නියෝජනය කර ඇති අතර 2018 මොබිටෙල් - සන්ඩේ ඔබ්සර්වර් ක්‍රිකට් සම්මාන ප්‍රදානයේදී දක්ෂතම පන්දු රකින්නාය.

දුවිඳු තිලකරත්න - ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිලට එක්වූ 24 හැවිරිදි වමත් පා දඟ පන්දු යවන්නෙකි.

කළණ පෙරේරා - ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් පාසල් ක්‍රිකට් පිටියේදී වාර්තා තැබූ වමත් වේග පන්දු යවන කළණ පෙරේරා (20) ශ්‍රී ලංකා නැගී එන පිල නියෝජනය කළේය.

නුවනිදු ප්‍රනාන්දු -‍මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයෙන් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ පිල නියෝජනය කළ 21 වියැති තුන් ඉරියව් ක්‍රීඩකයෙකි.

ඩිල්ශාන් මධුසංක - හුංගම විජයබා ජාතික පාසලෙන් ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ පිල නියෝජනය කළ අතර ජාතික ක්‍රිකට් පිලේ එළැ‍ඹෙන දකුණු අප්‍රිකානු සංචාරය වෙනුවෙන් සංචිතගතව සිටියි.

සහන් ආරච්චිගේ - කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ පිල නියෝජනයට වරම් ලැබූ 24 වියැති වමත් පිතිකරුවෙකි.

ළහිරු සමරකෝන් - මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිල නියෝජනය කළ වමත් මඳ වේග පන්දු යවන්නකු වේ.

නිශාන් මධුෂ්ක - 21 වියැති මොරටු මහා විද්‍යාලයෙන් ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිල මෙන්ම ශ්‍රී ලංකා නැගී එන පිල නියෝජනය කළේය.

නුවන් තුෂාර - පාසල් ක්‍රිකට් පිටියේදී හමුනොවුණු ඇල්පිටිය තලාව කණිෂ්ඨ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන නුවන් තුෂාර (26) ලසිත් මාලිංගගේ පන්දු යැවීමේ ඉරියව්වට සමාන ආකාරයෙන් පන්දු යවයි.

මහීෂ් තීක්ෂණ - කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයෙන් බිහිවූ 2018 වසරේ මොබිටෙල් - සන්ඩේ ඔබ්සර්වර් පළමු කොටසේ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයාවේ.

කවිෂ්ක අංජුල - කොළඹ ආනන්ද විද්‍යාලයෙන් බිහිවු තුන් ඉරියව් ක්‍රීඩකයෙකි.

පුලින තරංග - අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයෙන් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් පිල ද ශ්‍රි ලංකා නැගී එන පිලද නියෝජනය කර තිබේ.

තරිඳු රත්නායක - ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාල නියෝජනය කළ අතර දෑතින්ම පන්දු යවයි.

රමේෂ් මෙන්ඩිස් - අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් බිහිවී ශ්‍රී ලංකා 19න් පහළ පිල නියෝජනය කළ මේජර් ලීග් තෙදින ක්‍රිකට් තරගාවලියේදී පළමු ත්‍රිත්ව ශතකලාභීයාය.

මොහොමඩ් ෂිරාස් - මහනුවර මඩවල මදීනා ජාතික පාසලෙන් සභාපතිගේ පිල නියෝජනය කළේ දකුණත් වේග පන්දු යවන්නකු ලෙසිනි.

ධනංජය ලක්ෂාන් - රිච්මන්ඩ් විද්‍යාලයෙන් ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිල නියෝජනය කළ 22 හැවිරිදි තුන්ඉරියව් ක්‍රීඩකයෙකි.

ළහිරු උදාර - නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයෙන් බිහිවූ තෙදින තරගාවලියේදී ඉක්මවූ වැඩිම ලකුණු ලාභියාය.

නවෝද් පරණවිතාන - තවමත් මහින්ද විද්‍යාලය නියෝජනය කරන අතර ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිල නියෝජනය කරයි. ඉනිමකදී රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවට (409) හිමිකම් කියන්නේ ද ඔහු විසින්මය.

කවිඳු නදීෂාන් - අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිල නියෝජනය කරනු ලැබිණි.

සචිඳු කොළඹගේ - මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය නියෝජනය කළ අතර ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් පිල නියෝජනය කළේය.

හිමේෂ් රාමනායක - රාජකීය විද්‍යාලයෙන් ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිල නියෝජනය කළේය.

කෙවින් කොත්තිගොඩ - ගාල්ල මහින්ද විද්‍යාලයෙන් ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිල නියෝජනය කළ දකුණත් පා දඟ පන්දු යවන කෙවින් කොත්තිගොඩ (22) බී.ආර්.සී. පිල නියෝජනය කරයි.

 

Comments