
'දියාගෝ මැරඩෝනා යනු සන්නාමයකි. ඒ ඒකදේශීක නොව ගෝලීය සන්නාමයකි. දේශපාලනික ප්‍රවාහයේ අපට හමුවන ඉදිරි ගාමක බල කණුවකි. එසේම ඔහු ප්‍රාග්ධන ලෝකය දෙසට සමාජවාදී අදහස් පිරුණු දකුණු ඇමරිකානු මහාද්වීපයේ සිට හමා ආ සුළඟය. එහෙත් එකී සුළගේ තැවරී තිබුණේ සමස්ත ලෝකයම වසඟ කරගන්නා මල් සුවඳකි. දැන් ඒ මල් සුවඳ ආර්ජන්ටිනා තුරු හිස් සිඹ දකුණු ඇමරිකාව හරහා ලෝකය පුරා යළි කිසිදා හමායන්නේ නැත. '
දිනය නොවැම්බර් මස 25 වැනිදාය. ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් නුවර පිහිටි මන්දිරයකි. එහි නිවැසියන් පාතරසය ලබාගැනීමට සූදානමින් සිටියහ. එහෙත් එය අරඹා නොතිබුණේ තවත් එක් නිවැසියෙක් උඩු මහලේ සිට පහතට නොපැමිණි හෙයිනි.
සුළු මොහොතකට පසු මෙම පුද්ගලයා සෙමින් සෙමින් පියගැටපෙළ දිගේ පහත මාළය වෙත පැමිණෙමින් සිටියේය. එහෙත් වෙනදා දකිනවාට වඩා ඔහුගේ රෝගී භවක් පෙනෙන්නට විය. සුදුමැලි වතින් යුතුව පහත මාළයට ආ ඔහු තම බෑණාට මෙසේ කීවේය. 'මට අසනීප ගතියක් දැනෙනවා. මට සීතලයි වගේ.' එසේ පැවසූ ඔහු පසුව සිය නිදන කාමරය වෙත හැරී ගියේය. එය අප කවුරුත් දන්නා දියාගෝ මැරඩෝනා විසින් ඔහුගේ ජීවිතයේ අවසන් වචන කීපය බව තේරුම් ගියේ තවත් සුළු මොහොතකට පසුවය.
ඒ ඔහුගේ අපහසුතාව ගැන සොයා බැලීමට උඩු මහළේ වූ මැරඩෝනාගේ කුටියට ගිය හෙදියක් විසිනි. ඈ දුටුවේ දුරකථනයෙන් උපකාර ඉල්ලීමට උත්සහ කර හෘදායාබාධයකින් මියගොස් තිබූ මැරඩෝනාය. මීට සති දෙකකට පමණ පෙර ඔහු මොලයේ සැත්කමකටද ලක්ව තිබුණේය.
'ඔබ අපිට ලොව ඉහළටම රැගෙන ගියා. ඔබ අපිව ඉමහත් සතුටට පත්කළා. ඔබ තමයි ශ්‍රේෂ්ටතමයා.' ආර්ජන්ටිනා ජනපති ඇල්බර්ටෝ ෆර්නැන්ඩස් මේ අසහාය සුපිරි තරුව නිවී යාම ගැන දැනගත් වහාම පවසා තිබුණේය. ඊට අමතරව තම රට තුළ තෙදිනක ශෝක කාලයක් නම් කිරීමටද ජනපතිවරයා අමතක නොකළේය.
මේ අතර මැරඩෝනාගේ මෙම හදිසි වියෝව හේතුවෙන් කම්පාවට පත්වූ එරට වැසියන් බුවනෝස් අයර්ස් සහ ඔහු කලක් ක්‍රිඩා කළ ඉතාලියේ නැපොලි කණ්ඩායම පිහිටි නේපල්ස් නුවරට දහස් ගණනින් රැස් වෙමින් සිය ශෝකය පල කරමින් සිටිති.
මෙලෙස ශෝකය පළකරන්නන් අතර ක්‍රීඩකයෝද වූහ. 'මට විශිෂ්ට මිතුරෙකු අහිමි වුණා. ලෝකයාට පුරාවෘතයකුයි මේ මැකී ගියේ. මතු දිනෙක අපි දෙදෙනා එක්ව ස්වර්ගයේ පාපන්දු ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා.' යැයි පේලේ පවසා තිබුණේ එහෙයිනි.
හිටපු හෙවිවේට් බොක්සිං ලෝක ශූරයකු වන මයික් ටයිසන් අදහස් දක්වමින් 'දෙවියන්ගේ දෑත, මැරඩෝනා අපව අතහැර ගිහිල්ලා. 86 වසරේදී අපි දෙන්නාම ශූරතාවන් හිමිකරගත්තා. ඔහු මගේ වීරයෙක්. ඒ වගේම ළබැඳි මිතුරෙක්.‘යැයි පවසා තිබුණේය. 'සමස්ත ආර්ජන්ටිනාවටත්, පාපන්දු ක්‍රීඩාවටත් ඉතා කනගාටුදායක දවසක්. දියාගෝ සදාකාලිකයි.' යැයි කියා තිබුණේ වත්මන් සුපිරි ආර්ජන්ටිනා පාපන්දු තරුව වන ලියොනල් මෙසීය. 2010 වසරේ ලෝක කුසලාන තරගාවලියට සහභාගිවූ ආර්ජන්ටිනා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා වූයේ ද මැරඩෝනාය.
දියාගෝ මැරඩෝනා ක්‍රීඩා ලෝකයේ සදාකාලික පුරාවෘතයක් බවට පත්වන්නට ඔහුගේ හැකියාව මෙන්ම පිටියෙන් පිටත ගතකළ ආන්දෝලනාත්මක දිවියද ඉවහල් විණි. කෙසේ නමුත් ලොව පුරා දැවැන්ත පුද්ගල චරිතයක් වශයෙන් මැරඩෝනා පත්වූයේ 1986 වසරේ මෙක්සිකෝවේදී ආර්ජන්ටිනාව ලෝක කුසලාන ජයග්‍රහණය කළාට පසුවය. ඒ අතර සුුප්‍රකට 'හෑන්ඩ් ඔෆ් ගෝඩ්' ගෝලයද වෙයි. එහිදි සිය අතක් උපයෝගී කරගනිමින් ඔහු ගෝලය රැස්කළ බවට චෝදනා එල්ලවිණි. අනෙක් ගෝලය ගෙවී ගිය සියවසේ විශිෂ්ටතම ගෝලය ලෙසට පාපන්දු විචාරකයෝ හඳුන්වති. එය එංගලන්ත ආරක්ෂක පෙළ ක්‍රීඩකයන් පස් දෙනෙක් පසුකර මීටර් හැටක් දිවයමින් රැස්කරගත්තේය.
එම තරගයට ක්‍රීඩා කළ එංගලන්තයේ ගැරී ලින්කර් පවසන්නේ, 'අනිවාර්යයෙන්ම මගේ කාලෙත්, පාපන්දු ක්‍රීඩා ඉතිහාසයෙත් විශිෂ්ටතමයා තමයි ඔහු.' යනුවෙනි.
අඩි 5 අඟල් 5ක් පමණක් උසැති තරබාරු ක්‍රීඩකයකු වූ මැරඩෝනා වෙතට පාපන්දුව ලැබුණු සැණින් ඔහුව නතර කිරීමට කිසිදු ජගතකු ලොව නොසිටි තරම් විය. පාපන්දුවෙන් සිදුකළ හැකිවූ සියලු දේ එවිට ඔහු සිදුකළේය. 'රන් කොල්ලා' යන ආදරණීය නාමය ඔහුට පට බැඳුණේද ඒ නිසාය.
දියාගෝ ආර්මැන්ඩෝ මැරඩෝනා (1960-2020) උපත ලැබූවේ ආර්ජන්ටිනාවේ ලානුස් නගරයේය. ඔහුගේ මවුපියන් වූ දියාගෝ සහ ඩල්ඩා යුවළ අතිශය දුප්පතුන් වූහ. දූ දරුවන් සත් දෙනෙකුගෙන් යුතු පවුලක මැරඩෝනා උපත ලැබූයේ පස්වැනියා වශයෙනි. ඔහුට වැඩිමහල් සොහොයුරියන් සිව් දෙනෙකි. බාල සොහොයුරන් දෙදෙනෙකි. ඔවුන් කුඩා කල සිය තනිකම මකා ගැනීමට කළේ පාපන්දු ක්‍රීඩාවේ නියැලීමය.
වයස අවුරුදු අට වනවිට බාහිර සමාජයට මැරඩෝනාගේ පාපන්දු හැකියාවන් පළමු වරට දැකගැනීමට හැකිවූ කාලය විය. එහි ප්‍රතිඵලය වශයෙන් ජුනියර්ස් කණිෂ්ට පිලට ඔහුව තෝරාගත්තේය. එම සිදුවීමත් සමඟ මැරඩෝනාගේ පාපන්දු ගමන වඩාත් විකසනය වන්නට විය. ඉන් අනතුරුව ඔහු නතර වූයේ දුප්පත් පැලෙන් සුඛෝපභෝගී ජිවිතයක් ගතකිරීමට හැකියාව උදාකිරීමෙන් අනතුරුවය.
දියාගෝ මැරඩෝනා සතු දුර්ගුණ කීපයක්ද වූයේය. ඒ දිගු කලක් තිස්සේ කොකේන් නමැති මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවී සිටීමයි. ඊට අතිරේකව අධික තරබාරුවෙන්ද ඔහු පීඩා වින්දේය. මත් පැන් පානය කිරීමද ඔහුගේ සුපුරුදු දින චර්යාව අතර විණි. කලක් මැරඩෝනාගේ සෞඛ්‍ය වර්ධනය කිරීම පිණිස කියුබාවේ අසහාය නායකයා වූ අභාවප්‍රාප්ත ෆිදෙල් කැස්ත්‍රෝ ඉදිරිපත් වූයේ තම රට තුළ නේවාසික ප්‍රතිකාර ලබාදෙමිනි.
මැරඩෝනා පාපන්දු වලට අමතරව අනුරාගී මිනිසකු ලෙසින්ද හැසිරී ඇත්තේය. ඔහු විවාහ වූයේ ඉතාලි ජාතික කාන්තාවක වන ක්ලෝඩියා විලාෆානේ සමඟය. එම විවාහයෙන් ඔවුන් දෙදෙනාට දියණියන් දෙදෙනෙක් සිටිති. ඊට අමතරව විවිධ පෙම් සබඳතා හේතුවෙන් මෙලොව එළිය දුටු දරුවන් තිදෙනෙක්ද වේ.
අන්තර්ජාතික ක්‍රීඩා ඉතිහාසයේ නම කියූ පමණින් මුළු ලොවම දැනසිටි ක්‍රීඩා තරු ලොව සිටියේ අතළොස්සකි. ඊට ඇමරිකන් බොක්සිං ශූර මොහොමඩ් අලී, බ්‍රසීල පාපන්දු තරුව පේලේ සහ මැරඩෝනා අයත් වෙති. ඉන් දෙදෙනෙක්ම මේ වනවිට ලොව හැරගොස් හමාරය. ගෙවුණු සියවසේ ලොව පහළ වූ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා කවුරුන්ද යන්න සෙවීමට ලෝක පාපන්දු සම්මේලනය වරක් තීරණය කළේය. එම තරගය තිබුණේ පේලේ සහ මැරඩෝනා අතරේය. අවසානයේ සිදුවූයේ ජයග්‍රාහකයකු තෝරා ගැනීමට නොහැකි හෙයින් ඔවුන් දෙදෙනාටම සමතැන් හිමිකර දීමය. අසූව දශකය පුරාම පාපන්දු ක්‍රීඩාව ලොව පුරා ජනප්‍රිය කරවීමට විශාල දායකත්වයක් දැක්වූ මැරඩෝනා අද මෙලොවින් සමුගෙන ඇත. එහෙත් ඔහු අමරණීයය.










