බොලිවුඩ් රජවරුන්ගේ කැන්ඩි ටස්කර්ස් | සිළුමිණ

බොලිවුඩ් රජවරුන්ගේ කැන්ඩි ටස්කර්ස්

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරුවන් අතර ඉදිරියෙන් සිටින කුසල් ජනිත් පෙරේරා විසින් මෙහෙයවනු ලබන කැන්ඩි ටස්කර්ස් පිල ශක්තිමත් පිතිහරඹ ලැයිස්තුවකින් සමන්විතය. කණ්ඩායමේ නායකයා ලෙස කුසල් ජනිත්ගේ කාර්යභාරය පහසු කරවීමට එය වැදගත් සාධකයකි. විශේෂයෙන් කුසල් මෙන්ඩිස්, අසේල ගුණරත්න, සීකුගේ ප්‍රසන්න සහ යොවුන් පිතිකරු කමිඳු මෙන්ඩිස් කැන්ඩි ටස්කර්ස් පිලේ සාර්ථක ගමන් මගකට රැගෙන යෑමේ හැකියාව ඇති වේගයෙන් පන්දුවට පහරදීමට රුසියෝ වෙති.

එක්දින හා විස්සයි20 ක්‍රීඩාවේ ජනප්‍රියතම පිතිකරුවකු වන නායක කුසල් ජනිත් ජාත්‍යන්තර විස්සයි20 තරග 47කට ක්‍රීඩා කරමින් අර්ධ ශතක 12ක් රැස් කිරීමට සමත්වූයේ විස්සයි20 වැඩිම අර්ධ ශතක ප්‍රමාණයක් රැස් කළ ශ්‍රී ලාංකික පිතිකරුවා බවට ද පත්වෙමිනි. විස්සයි20 ජාත්‍යන්තර පිටියේ ලකුණු 1293කට හිමිකම් කියන කුසල් ජනිත්ගේ ලකුණු ලැබීමේ වේගය 135කි.

කඩුල්ල ආරක්ෂා කරමින් ලකුණු රැස් කිරිමේ හැකියාව ඇති කුසල් මෙන්ඩිස් කැන්ඩි ටස්කර්ස් පිලේ තවත් තුරුම්පුවකි. විස්සයි20 ජාත්‍යන්තර තරග 26කදී අර්ධ ශතක 5ක් සමග ලකුණු 484ක් ලබා සිටින කුසල් මෙන්ඩිස්ගේ ලකුණු ලබාගැනීමේ වේගය 131ක් වේ. තුන්ඉරියව්වෙන් දස්කම් දක්වන සීකුගේ ප්‍රසන්නට සහ අසේල ගුණරත්නට මේ තරගාවලියේදී කැන්ඩි ටස්කර්ස් පිල වෙනුවෙන් වැඩි කාර්යභාරයක් පැවරී තිබේ. තරග වෙනස් කරන ක්‍රීඩකයන් ලෙස ප්‍රකට සීකුගේ සහ අසේල මැදපෙළ ශක්තිමත් කරනු ඇත. විස්සයි20 ජාත්‍යන්තර තරග 20කට ක්‍රීඩා කර ඇති සීකුගේ එහිදී කඩුලු 10ක් දවාලීමට සමත්වූ අතර, 132ක ලකුණු ලැබිමේ වේගයක් ද රඳවා ගනිමින් සිටී.

අසේල ගුණරත්න ජාත්‍යන්තර විස්සයි20 තරග 12කට ක්‍රීඩා කර ඇති අතර ලකුණු ලබාගැනීමේ වේගය 126කි. වසර 2017දී ඔස්ට්‍රේලියාවට එරෙහිව පිට පිට අර්ධ ශතක දෙකක් වාර්තා කළ ඔහු එම තරගාවලියේ දෙවැනි තරගයේදී නොදැවී ලකුණු 84ක් රැස් කරමින් ජාත්‍යන්තර අවධානය දිනාගත්තේය. පසුගිය වසරේ දකුණු අප්‍රිකානු සංචාරයේදී පළමුවරට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ යොවුන් පිතිකරු කමිඳු මෙන්ඩිස් විස්සයි20 පළමු තරගයේදී පන්දු 29කින් ලකුණු 41ක් වාර්තා කරමින් සිය හැකියාව විදහා දැක්වීය. පිත්තෙන් මෙන්ම පන්දුවෙන් ද කැපී පෙනෙන ක්‍රීඩකයකු වන කමිඳුට ජාතික කණ්ඩායමේ සිය ස්ථානය තහවුරු කරගැනීමට එල්.පී.එල්. තරගාවලිය අතිශයින්ම වැදගත් වනු ඇත.

කැන්ඩි ටස්කර්ස් පිලේ පන්දු යැවීමේ අංශයේ ප්‍රබලතම වේගපන්දු යවන්නා නුවන් ප්‍රදීප්ය. විස්සයි20 ජාත්‍යන්තර තරග 14කදී කඩුලු 15ක් දවාලීමට ඔහු සමත්වූයේ ලකුණු 25කට කඩුලු 4ක හොඳම පන්දු යැවීමද වාර්තා කරමිනි. නුවන් ප්‍රදීප්ගේ සහායට තුන්ඉරියව් ක්‍රීඩකයන් වන ඉෂාන් ජයරත්න, ළහිරු සමරකෝන් සමග යොවුන් පන්දු යවන්නකු වන කවිෂ්ක අංජුල ද සිටිති.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රවීණ දඟපන්දු යවන ක්‍රීඩක ඩිල්රුවන් පෙරේරා කැන්ඩි ටස්කර්ස් පිලට වැඩි දායකත්වයක් ලබාදෙනු ඇත. ඔහු ක්‍රීඩා කර ඇත්තේ විස්සයි20 ජාත්‍යන්තර තරග 3කට පමණක් වූවත්, දේශීය විස්සයි20 තරග 79කට ක්‍රීඩා කරමින් කඩුලු 71ක් දවාලීමට ඔහු සමත් විය. ඩිල්රුවන්ගේ සහයට මෑත කාලයේ ජාතික පිලට එක්වූ දඟ පන්දු යවන්නා වන ලසිත් ඇඹුල්දෙණිය සහ චාමිකර එදිරිසිංහ ද වෙති.

කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම

නිෂාන් මධූෂ ප්‍රනාන්දු, කවිෂ්ක අංජුල, සීකුගේ ප්‍රසන්න, ඉෂාන් ජයරත්න, සොහේල් තන්වීර්, නුවන් ප්‍රදීප්, කුසල් ජනිත්, කුසල් මෙන්ඩිස්, ඩිල්රුවන් පෙරේරා, ලසිත් ඇඹුල්දෙණිය, කමිඳු මෙන්ඩිස්, අසේල ගුණරත්න, ප්‍රියමල් පෙරේරා, ළහිරු සමරකෝන්, නවීන් උල් හක්, චාමිකර එදිරිසිංහ, ඉර්ෆාන් පතාන්, මුනාෆ් පටේල්, රහුමනුල්ලා ගුර්බාස්, බ්‍රෙන්ඩන් ටේලර්, ඩේල් ස්ටෙයන්, හෂාන් තිලකරත්න (ප්‍රධාන පුහුණුකරු) ෆර්වේස් මහරූෆ් ( කළමනාකරු)

 

------------------

විදෙස් ක්‍රීඩකයෝ

මෙම කණ්ඩායමටත් 20 – 20 ලෝක ශූරතා හිමිකර ගත් ක්‍රීඩකයන් දෙදෙනෙක්ම ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණද ඉන්දියාවේ ඉර්ෆාන් පතාන් පමණක් එයට ඇතුළත් වන්නේ කෝවිඩ් වයිරසය ශරීරගතවීමෙන් පාකිස්තානයේ සොහෙයිල් තන්විර් පීඩා විඳින හෙයිනි.

තුන් ඉරියව් හපනෙක් වන පතාන් 2007 මංගල විස්සයි 20 ලෝක කුසලාන අවසන් තරගයේ වීරයාද විය. මීට අමතරව නවීන් උල් හක් (ඇෆගනිස්තානය), රහ්මනුල්ලා ගුර්බාස් (ඇෆ්ගනිස්තානය) සහ මුනාෆ් පටේල් (ඉන්දියාව) ටස්කර්ස් කණ්ඩායමට ක්‍රීඩා කරති. දකුණතින් මඳවේග පන්දු යවන පටේල් 2011 එක්දින ලෝක ශූර කණ්ඩායමේ සාමාජිකයෙකි.

බොලිවුඩ් නළුවකු වන සොහෙයිල් ඛාන් මෙම කණ්ඩායමේ හිමිකරුවාය. හෙතෙම සුපිරි නළු සල්මන් ඛාන්ගේ බාල සොහොයුරෙකි.

ප්‍රශාන්ත

 

 

Comments