ප්‍රතිවාදීන්ගේ ප්‍රබලම සටන්කරු කලම්බු කිංග්ස් | සිළුමිණ

ප්‍රතිවාදීන්ගේ ප්‍රබලම සටන්කරු කලම්බු කිංග්ස්

දේශීය වශයෙන් මෙන්ම විදේශීය වශයෙන් ද කලම්බු කිංග්ස් කණ්ඩායමේ වැඩිම අවධානයට ලක්වන ප්‍රබලතම තුරුම්පු යුගලය වන්නේ ඇන්ජෙලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් ය. ඔවුහු වර්තමානයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සිටින අත්දැකීම් බහුල ක්‍රීඩකයෝ ද වෙති.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සෑම මුහුණුවරකදීම නායකත්වය දරා පරිණත ක්‍රීඩකයන් බවට පත්වී සිටින මේ ක්‍රීඩකයන් යුගලය වටා සෙසු පිතිකරුවන් ද එක්රොක් වන්නේ නම් එය කණ්ඩායමට විශාල ශක්තියක් වනු ඇත. දෙදෙනා අතරින් අත්දැකීම් බහුල ක්‍රීඩකයා වන්නේ නායක මැතිව්ස්ය. ජාත්‍යන්තර විස්සයි20 තරග 75කට ක්‍රීඩා කර ඇති මැතිව්ස් එහිදී ලකුණු 1119ක් රැස් කර ඇත්තේ අර්ධ ශතක 5ක් ද සමගිනි. ඔහුගේ ලකුණු ලැබීමේ වේගය 118කි.

ලකුණු හඹා යෑමේදී මැතිව්ස්ගේ උපායශීලී පිතිහරඹ රටාව විස්සයි20 තරග බිමේදී වැඩි වාසි සහගතය. විශේෂයෙන් නායකත්වයේ වගකීමත් සමග පිතිහරඹයෙන් පමණක් නොව ඔහුට පන්දු යැවීමෙන් ද වැඩි කාර්යභාරයක් ඉටු කිරීමට සිදුවනු ඇත.

ඉනිම ගොඩනැගීමේ උපන් හපන් කම් ඇති දිනේෂ් චන්දිමාල් හැම අතින්ම මැතිව්ස්ගේ සහායකයා වනු ඇත. ඔහුගේ පිතිහරඹ රටාව ප්‍රවේගකාරී නොවූවත් කල් යල් බලා ලකුණු රැස් කිරීමටත්, එක් අන්තයකින් කඩුල්ල ආරක්ෂා කරගැනීමටත් වැඩි හැකියාවක් ඇති බැවින් සෙසු පිතිකරුවන්ට ඔහු සමග මනා සම්බන්ධතාවක් ගොඩනගා ගැනීමට පහසු වනු ඇත. ජාත්‍යන්තර විස්සයි20 තරග 54කට ක්‍රීඩා කර ඇති චන්දිමාල් එහිදී අර්ධ ශතක 4ක් සමග ලකුණු 800ක් රැස් කර ඇත්තේ ලකුණු ලැබීමේ වේගය 104ක පවත්වා ගනිමිනි.

එල්.පී.එල්. තරගාවලියේ සෙසු කණ්ඩායම් සමග සංසන්දනය කිරීමේදී කලම්බු කිංග්ස් පිලේ පිතිහරඹ පෙළගැස්ම මැදපෙළ පිතිකරුවන්ගෙන් ශක්තිමත් වනු ඇත. විස්සයි20 වැනි කෙටි මුහුණුවරක තරග රටාවක වේගයෙන් පන්දුවට පහරදීමේ හැකියාව ඇති ක්‍රීඩකයන් කිහිපදෙනකුම ඇතුළත් වන බැවින් මැදපෙළ පිතිකරුවන්ට මැතිව්ස් සහ චන්දිමාල් වටා ගොඩ නැගෙන පිතිහරඹ රටාවක් ඇති කරගැනීමට සමත් වන්නේ නම් සෙසු කණ්ඩායම්වලට දැඩි අභියෝගයක් එල්ල කිරීමට හැකිවනු නිසැකය.

අෂාන් ප්‍රියංජනට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ක්‍රීඩා කිරීමේ වැඩි අවස්ථාවක් නොලැබුණත් ඔහු දේශීය තරග බිමේ කැපී පෙනෙන පිතිකරුවකු වන බැවින් කලම්බු කිංග්ස් කණ්ඩායමේ පිතිහරඹ අංශයට වැඩි දායකත්වයක් ලබාදීමේ හැකියාව තිබේ.

කලම්බු කිංග්ස් කණ්ඩායම පන්දු යැවීමේ අංශයෙන් ශක්තිමත්ය. විශේෂයෙන් විස්සයි20 තරග බිමේ තරගකාරී ක්‍රීඩා රටාවට ගැලපෙන ආකාරයේ සටන්කාමී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරන ඉසුරු උදාන වැනි තුන්ඉරියව් ක්‍රීඩකයකු සිටින බැවින් කලම්බු කිංග්ස් පිලට පිතිහරඹය අතින් ද වාසිදායකය.

කලම්බු කිංග්ස් කණ්ඩායම -

හිමේෂ් රාමනායක, දුෂ්මන්ත චමීර, තික්ෂිලද සිල්වා, ඇන්ඩ්‍රේ රසල්, කළණ පෙරේරා, අෂාන් ප්‍රියන්ජන, ජෙෆ්රි වැන්ඩේසේ, තරිඳු රත්නායක, ඉසුරු උදාන, ඇන්ජෙලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ළහිරු උදාර, තරිඳු කෞෂාල්, අමිල අපෝන්සු, මන්ප්‍රීට් සිං, ලෝරි එවන්ස්, ඩැනියෙල් ජේම්ස් බෙල්, රවින්ද්‍රපාල් සිං, නවෝද් පරණවිතාන, කයිස් අහමඩ්, කරීම් ඛාන් සදීක්, ධම්මික ප්‍රසාද්, හර්ෂල් ගිබ්ස් (ප්‍රධාන පුහුණුකරු), රංගන හේරත් (සහාය පුහුණුකරු) කළමනාකරු

 

--------------

විදෙස් ක්‍රීඩකයෝ

ජගත් විස්සයි 20 අත්දැකීම් බහුල බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි ඇන්ඩ්‍රේ රසල් කලම්බු කිංග්ස් කණ්ඩායමට ක්‍රීඩා කරයි. රසල් මේ වනවිට ජාත්‍යන්තරයේ මෙම තරග රටාවේ සුපිරිතම ක්‍රීඩකයා ලෙසටත් හැඳින්විය හැකි ය.

මීට අමතරව මන්ප්‍රීට් ගෝනි (ඉන්දියාව), ලෝරි එවන්ස්, ඩැනියෙල් ජේම්ස් බෙල් - ඩ්‍රමන්ඩ් (එංගලන්තය), කුවායිස් අහ්මඩ්, කරිම් සදික් (ඇෆ්ගනිස්තානය) ක්‍රීඩා කිරීමට සිටින විදෙස් ක්‍රීඩකයෝ වෙති.

කැනඩා ක්‍රීඩන රවින්දර්පාල් සිං තරගාවලියට සහභාගි විමට ශ්‍රී ලංකාවට පැමිණියේය. එහෙත් පී.සී. ආර්. පරීක්ෂණයකදී ඹහු ආසාදිතයකු බවට අනාවරනය විය. එම නිසා ඹහුට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනිම සඳහා යොමු විය.

Comments