දූෂණ ගැන කියන්න “හලෝ” අංකයක් | සිළුමිණ

දූෂණ ගැන කියන්න “හලෝ” අංකයක්

විවිධ හැළ හැප්පීළි මැද ආරම්භවු “My11Circle ලංකා ප්‍රිමියර් ලීග්”විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ගුණාත්මකභාවය ඉහළින්ම රැක ගැනීම සඳහා ගත යුතු ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට පසුබට නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

එකී ගුණාත්මකභාවය බිඳ වැටෙන සිද්ධීන් තරගාවලිය අතරතුරදී වාර්තා වුවහොත් ඒ සම්බන්ධව දැඩි තීරණ ගැනීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයකින් කියැවෙයි.

LPL තරගාවලියේ දූෂණ විරෝධී ක්‍රියා පාලනය පිළිබඳ කටයුතු කිරීම සඳහා මේ වන විටත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය යටතේ පවතින දූෂණ විරෝධී අංශයේ නිලධාරීන් දෙදෙනකු ශ්‍රී ලංකාවට පැමිණ සිටින බවත්,

ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ විරෝධී අංශයේ නිලධාරීන් සමඟ එක්ව කටයුතු කරනු ඇති බවත්, සඳහන් වෙයි.

ක්‍රීඩකයන් සහ කණ්ඩායම් බාර නිලධාරීන් නවාතැන් ගෙන සිටින හම්බන්තොට ෂැන්ග්‍රිලා හෝටලයේම නවාතැන් ගෙන සිටින එම නිලධාරීන් හෝටල් පරිශ්‍රය, තරග ක්‍රියාත්මක ක්‍රීඩාංගණයේදී මෙන්ම LPL හා සම්බන්ධව පැවැත්වෙන සියළුම නිල උත්සව අවස්ථාවන්හිදී ඒ පිළිබඳව සුපරික්ෂාකාරීව කටයුතු කිරීමට නියමිතය.

ඒ අනුව තරගාවලිය අතරතුර යම්කිසි දූෂිත ප්‍රවේශයන් වාර්තා වුවහොත් ඒ පිළිබඳ දූෂණ දූෂණ විරෝධී අංශ නිලධාරීන්ට පැමිණිලි කිරීමට තරගාවලිය නියෝජනය කරනු ලබන ක්‍රීඩකයන් සහ කණ්ඩායම් නිලධාරීන් බැඳී සිටිති

එසේ සිදුකරන පැමිණිලි සම්බන්ධව දැඩි රහස්‍ය භාවයකින් කටයුතු කිරීමට ද දූෂණ විරෝධී අංශය කටයුතු යොදා තිබේ.

තරගාවලිය අතරතුර සැක සහිත හෝ දූෂිත ක්‍රියාවක් පිළිබඳ වාර්තා වුවහොත් ඒ පිළිබඳව තොරතුරු ලබා දීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ දූෂණ විරෝධී අංශය පැය විසි හතර පුරාම ඇමැතුම් ලබා දීමට හැකිවන පරිදි දුරකථන අංකයක් පවත්වාගෙන යනු ලබයි.

තරගාවලියේ සමාරම්භයට පෙර සියළුම ක්‍රීඩකයින්ට සහ නිලධාරීන්ට දූෂණ විරෝධී කටයුතු සම්බන්ධව වැඩිදුර දැනුවත් කිරීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක විය.

දූෂණ විරෝධී ක්‍රියාවන් සම්බන්ධව සියලු දෙනා පූර්ව දැනුවත් කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී ද පැවැත්විණි.

“දූෂණ විරෝධී ලේඛනයට අදාළ කරුණු පිළිපදිමින් පිරිසුදු සහ සාධාරණ තරගාවලියක් පැවැත්වීමට කටයුතු කරන බවට සහතික වන මෙන් අපි ක්‍රීඩකයින්ගෙන් සහ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියා” යනුවෙන් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඈෂ්ලි ද සිල්වා සඳහන් කළේය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ දූෂණ විරෝධී අංශ හැරුණු විට දූෂිත ක්‍රියාවලින් තොරව තරගාවලිය ඉදිරියට පවත්වාගෙන යෑම සහතික කර ගැනීම සඳහා අවශ්‍ය විටෙක ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක අංශවල සහාය ලබා ගැනීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තුවෙන් පසුවෙයි.

මෙම තරගාවලිය හා බැඳි සිටින්නන්, 2019 වසරේ අංක 24 දරණ ක්‍රීඩා පනතට අදාළව මෑතකදී බලාත්මක කරන ලද “අපරාධ වැළැක්වීමේ පනතෙහි” විධිවිධානවලට අනුකූලව කටයුතු කළ යුතුය.

එහිදී ක්‍රීඩාවේ ඕනෑම ආකාරයක දූෂිත අවස්ථාවක් හෙවත් තරග පාවාදීමක්, නීති විරෝධී ලෙස හැසිරවීම සහ ඔට්ටු තැබීම ශ්‍රී ලංකා අපරාධ නීතිය යටතේ සාපරාධී වරදක් ලෙස සලකනු ලබයි.

තරගාවලියට අදාළ දූෂණ විරෝධී අංශ ඇමතිය හැකි දුරකථන අංක –

ශ්‍රී ලංකාව – +94769053800

ඩුබායි – +97565458909 (Voice and Whatsapp)

විද්‍යුත් තැපැල් (Email) – anti-corruption@srilankacricket.lk

 

Comments