එල්.පී.එල්. ලංසුව දිනූ අයි.පී.ජී. කවුද? | සිළුමිණ

එල්.පී.එල්. ලංසුව දිනූ අයි.පී.ජී. කවුද?

ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්.) තරගාවලියේ හිමිකාරිත්වය අලෙවි කිරීමට පැවැති ලංසු කැඳවීම වෙනුවෙන් ලොව පුරා විවිධ ආයතන 26ක් ඉදිරිපත් වුවද අවසානයේ එහි හිමිකාරිත්වය සිව්වසරක කාල සීමාවකට (2020-2024) දිනා ගත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි පිහිටා ඇති ඉන්දීය සමාගමක් වන අයි.පී. ජී. හෙවත් ඉනොවේටිව් ප්‍රඩක්ෂන් ගෘප් සමාගම විසිනි.

මෙම සමාගමට මෙවැනි තරගාවලි සංවිධානය කිරීමේ දශක පහක පළපුරුද්දක් හිමිව තිබේ. එය ලොව පුරා විවිධ රටවල මෙවැනි තරගාවලි සංවිධානය කරමින් ඔවුන් විසින් හිමිකරගෙන ඇත. මූලික වශයෙන්ම ඔවුන් විසින් ක්‍රීඩා ඉසව් රූපවාහිනිය ඔස්සේ විකාශය කරමින් හා ඉසව් සංවිධානය (ඉවෙන්ට් මැනේජ්මන්ට්) සිදුකරමිනි. මේ අනුව එල්.පී.එල්. ප්‍රථම වරට සංවිධානය කිරීමේ හිමිකාරිත්වය උදාකරගැනීම වෙනුවෙන් එම සමාගම විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ඉදිරිපත් කළ ලංසුව ඇමරිකානු ඩොලර් මිලියන දහ නව ලක්ෂ විසි පන්දහසක් (1925000) හෙවත් රුපියල් තිස් එක් කෝටි හට එක් ලක්ෂ විසි පන්දහසක් ( 356 125 000) කට ආසන්න ප්‍රමාණයකි.

අයි.පී.ජී. සමාගම ගෙවුණු දශක පහ තුළ පාකිස්තානය, දකුණු අප්‍රිකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය වැනි රටවල් තුළ ක්‍රිකට් තරග පවත්වා ඇත. එල්.පී.එල්. සමඟින් ඊට එකතුවන නවතම රාජ්‍ය ලෙසින් ශ්‍රී ලංකාව සැලකෙයි. ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් එල්.පී.එල්. සංවිධාන හිමිකාරිත්වය බාර ගැනීමෙන් පසු කණ්ඩායම් හිමිකාරිත්වය, ගෝලීය විකාශනය, මාධ්‍ය සහ ක්‍රීඩාංගණ තුළ අනුග්‍රාහකත්වය මෙන්ම ඉසව් සකස් කිරීමද සිදුකිරීමට තම සමාගමට බලය පවරාගෙන ඇත.

කෙසේ වෙතත් අයි.පී.ජී. යනු ශ්‍රී ලංකාවට නුපුරුදු සමාගමක් නොවේ. ඒ මීට පෙර එනම් 2018 වසරේ නිදහස් කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය මෙරට සංවිධානය කරනු ලැබුවේ එම සමාගම විසින්ම වන බැවිණි. එකී සමාගමේ සේවය සලසා ගෙන ඇති සෙසු රටවල් අතරට ඉන්දියාව සහ බංග්ලාදේශයයි. ශ්‍රී ලංකාව, පාකිස්තානය, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව්. අයර්ලන්තය, ස්කොට්ලන්තය, නවසීලන්ත ක්‍රිකට් ආයතන, ආසියානු ක්‍රිකට් කවුන්සිලය, ඉන්දීය ජාතික පාපන්දු සම්මේලනය සහ සෝනි සමාගම වැනි ප්‍රකට රාජ්‍යයන් හා සමාගම් අයත්ය.

මීට අමතරව අයි.පී.ජී. ගෝලීය ප්‍රේක්ෂකයාට සජීවි තරග අත්දැකීම රූපවාහිනිය තුළින් විකාශය කර ඇති කාලය සජීවී පැය දස දහසකට අධික අතර ස්ටාර් ස්පෝර්ට්ස්, සෝනි ටී.වී. මෙන්ම ටෙන් ස්පෝර්ට්ස් වැනි ජනප්‍රිය රූපවාහිනී සේවාවන් ඔස්සේ එම නිෂ්පාදන සිදුකර ඇත.

මෙම සමාගම විසින් සිදුකරන තවත් සේවයක් වන්නේ විවිධ ලීග් තරගාවලි කළමනාකරණය සිදුකිරීමයි. කෙටි කාලයකින් අතිශය ජනප්‍රියවූ ටී 10 ලීග් තරගාවලියේ ප්‍රථම තරගාවලිය 2017 වසරේදී පැවැත්වූයේද ඔවුන් විසිනි. මේ සියලු සංවිධාන කටයුතුවලට අතිරේකව කණ්ඩායම් කළමනාකරණය, අනුග්‍රාහකත්වය අලෙවි කිරීම සහ වෙළෙඳ නාමයන් ප්‍රවර්ධනය කිරීමද සිදුකරයි. එම සමාගමේ සේවය ලබාගත් පිරිස අතර බ්‍රෙට් ලී, සනත් ජයසූරිය, ඔයින් මොර්ගන්, ක්‍රිස් ගේල්, එම්.එස්. දෝනි, හර්බජාන් සිං, යුවරාජ් සිං, වී.වී.එස්. ලක්ෂ්මන්, රෝහිත් ෂර්මා, සුරේෂ් ‍ෙරයිනා, සහීර් ඛාන් සහ දිනේෂ් කාර්තික් වැනි ක්‍රීඩකයෝද වෙති.

සුප්‍රකට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය වෙනුවෙන් සහභාගිවූ කණ්ඩායම් රැසකට අයි.පී.ජී. සමාගම ස්වකීය සේවාව ලබාදී ඇත. ඒ අතරට ප්‍රබල මුම්බායි ඉන්දියන්ස්, රෝයල් ඩැලෙන්ජර්ස් බැංගලෝර්, රාජස්ථාන් රෝයල්ස්, ඩෙකන් චාර්ජර්ස්, පූනේ වෝරියර්ස්, ගුජරාට් ලයන්ස් අයත්ය.

එමෙන්ම රූපවාහිනී ක්‍රීඩා විචාරකයන් වන රමීෂ් රාජා, කෙවින් පීටර්සන්, සුනිල් ගවස්කාර්, වසීම් අක්‍රම්, ඉයන් බිෂොප්, ඊෂා ගුහා වැන්නවුන් මේ හා සේවය කළහ. මෙතරම් සාර්ථකත්වයක් නෙළා ගනිමින් දශක පහක සාඩම්බර ඉතිහාසයකට හිමිකම් කියන අයි.පී.ජී, සමාගමේ ප්‍රධාන විධායක ධුරය දරනුයේ ඉන්දීය ජාතික අනිල් මොහාන් විසිනි. ඔහු ටෙන් ස්පොර්ට්ස් රූපවාහිනී ආයතනයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙක් (නිෂ්පාදන) ලෙස ක්‍රියාකර ඇත.

'එල්.පී.එල්. යනු හෙට දවසේ ආකර්ශනීය හමුවීමක් පමණක් නොවේ. එය අනාගත ක්‍රිකට් ආයෝජනයකි. ඊටත් වඩා එය වැදගත් වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයටය.' යැයි අයි.පී.ජී ප්‍රධාන විධායක අනිල් මොහාන් පවසන්නේය.

එම සමාගමේ විකුණුම් සාර්ථකත්වය මනාව ප්‍රකට කරමින් මේ වනවිටත් එහි ප්‍රචාරණ හිමිකම් අලෙවිය ඉන්දියාවේ මයි 11 සර්කල් නමැති සමාගමට අලෙවි කර අවසන්ය. මයි සර්කල් 11 යනු අන්තර් ජාලය තුළ ජනප්‍රිය ෆැන්ටසි ක්‍රීඩා සජීවී කරණ අතිශය ජනප්‍රිය සමාගමකි. අයි.පී.ජී. සමාගම එල්.පී.එල්. සංවිධානය මිලදී ගන්නේ අත ලෙවකන්නට නොවන බවත් පැණි වදයේ වැඩි කොටස හිමිකරගැනීමට බවත් පිළිගත යුතු වුවද එය කුමන හෝ ඇරඹුමකට මාර්ගය සකසන හෙයින් සේරිවානිජ වෙළෙඳාම කෙරේ ලොබ නොබැඳීම වඩා සුබවාදීයැයි අවසන් වශයෙන් කිවයුතුමය.

 

Comments