එල්.පී.එල්. කොළොම්තොටින් හම්බන්තොටට | සිළුමිණ

එල්.පී.එල්. කොළොම්තොටින් හම්බන්තොටට

එල්.පී.එල්. හෙවත් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග 23ක් පැවැත්වෙනවා. ඒ තරග 23ම පැවැත්වෙන්නේ එකම එක ක්‍රීඩාංගණයක. ඒ හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ. එය දීර්ඝ ඉතිහාසයක් ඇති ක්‍රීඩාංගණයක් නම් නොවෙයි. එහෙත් ක්‍රීඩාංගණයක් වශයෙන් ගත්කල විශාලත්වයෙන් වැඩි පිටියක්. හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපොළ සමඟ ක්‍රීඩා ආර්ථිකය පුබුදුවන්න ඇති හොඳම ඉදිකිරීමක් වශයෙන් සැලකෙන සූරියවැව ක්‍රීඩාංගණය දැන් අපට පිළිගන්න සිදුවෙනවා. කෙටි කාලයක් තුළ ඉදිකෙරුණද මෙම ක්‍රීඩාංගණය ලෝක කුසලාන දෙකක් වෙනුවෙන් අනුග්‍රහය දක්වලා තිබෙනවා. ඉන් එකක් තමයි 2011 වසරේ පැවැති සීමිත පන්දුවාර ලෝක ක්‍රිකට් ශූරතාවයේ තරග සඳහා සත්කාරකත්වය ලබාදීම. අනෙක ඊට පසු වසරේ එනම් 2012 වසරේ පැවැති විස්සයි විස්ස තරගවෙනුවෙන් ඉඩකඩ වෙන්කර දීම.

එල්.පී.එල්. පළමු සහ එකම එනම් නිශේධ බලය හිමි සත්කාරක ක්‍රීඩාංගණය බවට පත්වීමට සූරියවැව පිටියට හැකිවූයේ අහඹු ලෙස නොවෙයි. ඒ සඳහා සෞඛ්‍ය අංශ පුළුල් පර්යේෂණයක් සිදුකිරීමෙන් අනතුරුව තමයි මෙම සහතිකය සහ අවස්ථාව එම ක්‍රීඩාංගණයට හිමිවුණේ. මීට පෙර ක්‍රිඩාංගණ හතරක් කේන්ද්‍ර කරගනිමින් එල්.පී.එල් පවත්වන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තීරණයක් ගෙන තිබුණා. ඒත් අවසානයේ එයට සෞඛ්‍ය අංශ දැක්වූයේ වඩාත්ම ආරක්ෂිත ක්‍රීඩාංගණයේ තරග පැවැත්වීම වැදගත් බවයි. ඒ කියන්නේ මේ වර්ග කිලෝමීටර් 66000කට ආසන්න භූමි භාගයේ ප්‍රතිශක්තියෙන් බලවත්ම ක්‍රීඩාංගණය ලෙස සලකන්නට වෙන්නේ සූරියවැව ක්‍රීඩාංගණයයි. කුරහන් වැවෙන රුහුණුකරේ එක් අන්තයක දැඩි සූර්ය තාපයෙන් නිරන්තරයෙන් නැහැවෙන සූරියවැව පිටිය කෝවිඩ් වසංගතයට එරෙහිව සටන් වදින්න මේ භූමියේ තිබෙන ශක්තිමත්ම ස්ථානයක් ලෙස දක්වන්න හැකිවන්නේ ඒ නිසයි. කොහොම හරි ඒ ආකාරයට තමයි කොළොම් තොටින් හම්බන්තොටට එල්.පී.එල්. නැව් නැග්ගේ.

විලේ සිහිලත් වැවේ සිහිලත් හම්බන්තොට පිටියේ ඇවිලෙන විස්සයි විස්ස ගින්දර බොහෝම වේගයෙන් නිවා දමාවි. මොකද මෙම ක්‍රීඩාංගණයේ පිතිකරුගේ හා පන්දුයවන්නාගේ අන්ත දෙක වශයෙන් ඇත්තේ තණමල්විල ( තණ මල් විල) හා සූරියවැව වන හෙයින්.

Comments