
එකෝමත් එක කාලෙක, මානව ශිෂ්ඨාචාරය බිහිවුණාත් එක්කම ක්‍රීඩාවත් ආරම්භ වුණා. එලෙස ආරම්භ වුණු ක්‍රීඩාව විවිධ පරමාර්ථ ඇතිවයි ආරම්භ කළේ. මෙහෙම ආරම්භ වුණු ක්‍රීඩාව තුළ අනේක විද සංස්කෘතික ලක්ෂණ පෙන්නුම් කෙරුණා. ඔලිම්පික් ක්‍රීඩා ගැන කතාකරද්දී ඉපැරණි ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වුණේ යුද වැදුණු එක් එක් ජන කොටස් අතර එක්සත් භාවයක් නිර්මාණය කරන්නයි. එය ආගමික පරමාර්ථ එක්කයි කිරීමට උත්සහ කළේ. ඒ වගේම කිසියම් දේශපාලනික පරමාර්ථයකුත් එවැනි ප්‍රයත්නයක් තුළ නොතිබුණා නොවෙයි. පස්සෙ කාලයකදී සමාජය තවදුරටත් අදහස් වලින් සංකීර්ණ වෙද්දී ක්‍රීඩාව මානසික සුවතාව, ඉවසීම, නීති ගරුක භාවය, ශක්තිය ප්‍රදර්ශනය කරන්නට වගේම ලෝකය තුළ බෙදී වෙන්වී ස්වාධීන රාජ්‍යයන් බවට පත්ව සිටි ජන කොට්ඨාශවල ජාතික වාදය ප්‍රකට කරන්නට උපයෝගී කරගත්තා. ඒ උත්සහයේ ප්‍රතිඵලයක් වශයෙන් ක්‍රීඩාව විවිධ ක්‍රීඩා අංග වශයෙන් වැඩිදියුණු වෙන්න ගත්තා. එ් ආකාරයෙන් ආරම්භ වුණු එකිනෙකට වෙනස් ක්‍රීඩා අංග තමන්ගේ ආගමික, සංස්කෘතික වගේම සමාජීය අරමුණුවලට අනුව හැඩගැසිලා අඛණ්ඩව පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කරන්න පටන් ගත්තා. එහෙම ගිහින් අවසානයේ ඒ ඒ සංස්කෘතීන් තුළම ස්ථානගත වුණා. එවැනි ක්‍රීඩාවන් අද වනවිට අප අතර පැවතෙන්නේ ජන ක්‍රීඩා යන නමිනුයි.
මේ ආකාරයේ අපූරු ජන ක්‍රීඩා රැසක් තවමත් ලෝකයා තුළ ඉතිරිවෙලා තිබෙනවා. ඒ ජන ක්‍රීඩා ගැඹුරින් විමසනවිට අපට අපගේ අතීත ජන සමාජයේ රුව ගුණ තේජස අවබෝධ කරගන්නත් සියුම් ඉඟියක් සපයනවා. ඒත් නූතන ක්‍රීඩාව තුළින් මේ ජන ක්‍රීඩාව කෙරේ පවතින ආදරය, ඇල්ම නව පරම්පරාවෙන් ඈත් කරන බවක් පෙනෙනවා. තරගකාරී ක්‍රීඩාව තුළ, නව්‍ය ක්‍රීඩාව තුළ රැඳෙන්න, එහි නිරතවන්න අවශ්‍යයි. ඒත් අපි අපේ පැරණි ජන ක්‍රීඩා අමතක නොකර අනාගතය වෙත රැගෙන යායුතුමයි. මොකද එමගින් අපේ අතීත ශ්‍රී විභූතිය, ජන සමාජය තුළ පැවැති දැනුම, ආගමික විශ්වාස, රෝගාබාධ සඳහා විවිධ පිළියම් සොයාගැනීම, එකමුතුව, සුහද භාවය වර්ධනය කිරීම සිදුකරන නිසයි. අද පරිගණක යුගයේ එසැණින් බොත්තමක් ඔබලා ලෝකයට සම්බන්ධවන දරුවාට බොත්තමක් ඔබලා අතීතයට යන්න අවස්ථාවක් නෑ. එය හරියට මුල්නැතිව ගස් හදනවා වගේ වැඩක්. ගස් ලස්සනට මල් පිපිලා, කෙළ දරාගෙන හිටියත් මුල් නැත්නම් පැය කීපයකින් මැලවෙනවා, මිය යනවා. අපි අපේ සමාජය තුළ නව ක්‍රීඩාවේ නියැලෙන ගමන් ජන ක්‍රීඩා ගැන අවබෝධයක්, ආදරයක් වගාකරවන්න අවශ්‍ය වන්නේ එය සංස්කෘතික වගේම මානවයා තුළ ආධ්‍යාත්මික වශයෙනුත් විශාල පිබිදීමක් ගොඩනංවන නිසයි. ඉතින් දුවේ, පුතේ අපි අතීත ක්‍රීඩාව ගැන, ජන ක්‍රීඩාව සම්බන්ධයෙන් වගේම ඉතිහාසයේ අඳුරු මුල්ලක මකුළු වියමන් බැඳිලා පුස්කකා ඇති සුන්දර ක්‍රීඩා මතකයන් ගැන සතිපතා කතාකරමු. එහි පිවිසුම වශයෙන් සිංහල අවුරුදු ජන ක්‍රීඩා සම්බන්ධව කතාකරන්නයි අපේ මේ උත්සහය. සිංහල අවුරුදු ජන ක්‍රීඩා මහා ක්‍රීඩා සැණකෙළි වශයෙන් සංවිධානය වුණා කියලා ඔබ දන්නවාද? එවැනි ක්‍රීඩා අපේ වංශ කථාවේ ආරම්භය දක්වා දිවයනවා කිව්වොත් ඔබ පුදුම වේවි. ඒත් එය තමයි ඇත්ත. මොකද අපි පෙර කිව්වා වගේම ක්‍රීඩාව මගින් ජන ආගමික විශ්වාස, විවිධ ජන කොට්ඨාශ අතර සහයෝගී භාවය වැඩි වර්ධනය කළා. යම් යම් හේතූන් මත, විශ්වාස මත, ප්‍රදේශ මත බෙදිලා සිටි ජනතාව එක් ජාතිකයක් බවට පත්කරන්නයි ක්‍රීඩාවට හැකි නිසයි.










