
ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ දේශීය ක්‍රීඩකයන් අතර කැපී පෙනෙන පිතිකරුවා වන්නේ භානුක රාජපක්ෂය. විස්සයි20 තරග බිමටම ගැලපෙන පිතිහරඹ රටාවක් භානුක සතුය. පසුගිය වසරේදි දසුන් ශානකගේ නායකත්වයෙන් යුතුව පාකිස්තානයේ විස්සයි20 තරගාවලියට එක්වූ මේ ප්‍රහාරාත්මක පිතිකරුවා එහිදි ලාහෝර් පිටියේ පැවැති තරගයේදී පන්දු 48කට ලකුණු 77ක් රැස් කරමින් තරගාවලියේ ජය හිමිකරදෙමින් ජාත්‍යන්තර අවධානය දිනා ගත්තේය.. එය මෑත කාලයේ ශ්‍රී ලාංකික පිතිකරුවකු විස්සයි20 තරග බිමේ දැක්වූ හොඳම පිතිහරඹය ලෙස විචාරකයන්ගේ පැසසුමට ද ලක්විය. එහෙයින් ඔහු ගෝල් ග්ලැඩියේටර්ස් පිලේ පිතිහරඹ අංශයේ ප්‍රබලතම තුරුම්පුව වනු නොඅනුමානය.
29 හැවිරිදි මේ පිතිකරුවා විස්සයි20 ජාත්‍යන්තර තරග 7කට ක්‍රීඩා කරමින් සිය ලකුණු ලබාගැනීමේ වේගය 130ක් වැනි ඉහළ මට්ටමක රඳවා තබාගෙන සිටී. ඒ දේශීය විස්සයි20 තරග 68කට ක්‍රීඩා කරමින් අර්ධ ශතක 8ක් සමග ලකුණු 1341ක් ලබා ඇත්තේ එවැනිම පන්දුවට පහරදීමේ වේගයක් රඳවා තබා ගනිමිනි. පිතිකරුවකු මෙන්ම පන්දුයවන්නකු ලෙසත් කැපී පෙනෙන දස්කම් දක්වා ඇති භානුක මෙවර එල්පීඑල් තරගාවලිය වෙනස් කරන දේශීය පිතිකරුවන් අතර සිටී.
ගෝල් ග්ලැඩියේටර්ස් පිලේ විස්සයි20 මුහුණුවර යටතේ දස්කම් දක්වා ඇති තවත් පිතිකරුවන් කිහිපදෙනකුම සිටින අතර, ශෙහාන් ජයසූරිය, මිලින්ද සිරිවර්ධන හා ධනුෂ්ක ගුණතිලක ඒ අතරින් කැපී පෙණේ. මින් ජාත්‍යන්තර විස්සයි20 තරගබිමේ වැඩි අත්දැකීම්ලාභී ධනුෂ්ක තරග 24කට ක්‍රීඩා කරමින් අර්ධ ශතක 2ක් රැස් කර ඇත. මිලින්ද සිරිවර්ධන තරග 22කට ක්‍රීඩා කළ අතර, ශෙහාන් ජයසූරිය ක්‍රීඩා කර ඇත්තේ ජාත්‍යන්තර විස්සයි20 තරග 18කටය.
විශිෂ්ටතම දඟපන්දු යවන්නකු වන අකිල ධනංජය ද ගෝල් ග්ලැඩියේටර්ස් පිල සතුවීම එම කණ්ඩායමේ සාර්ථකත්වයට හේතු වනු ඇත. සැකයට තුඩුදුන් පන්දු යැවීමේ ඉරියව් සම්බන්ධව පසුගිය කාලයේ අයි.සී.සී.යේ තරග තහනමට ලක්වී සිටි අකිල ධනංජය තහනමෙන් පසු ප්‍රධාන මට්ටමේ තරගාවලියකට එක්වන පළමු අවස්ථාව මෙය වේ. මෑත කාලයේ බිහිවූ විශිෂ්ට දඟපන්දු යවන්නකු වන ලක්ෂාන් සඳකැන් ද, මෙවර අන්තර් සමාජ පළමුපෙළ ක්‍රිකට් තරග බිමේ වැඩිම කඩුලුලාභියා වන දුවිඳු තිලකරත්න ද කණ්ඩායමේ දඟපන්දු අංශය ශක්තිමත් කරන අතර වේගපන්දු යවන්නන් අතර අසිත ප්‍රනාන්දුට වැඩි කාර්යභාරයක් පැවරේ.
එල්.පී.එල්. තරග බිමට පිවිසී සිටින කෝඩුකාර ක්‍රීඩකයන් වන ධනංජය ලක්ෂාන්, නුවන් තුෂාර, සහන් ආරච්චිගේ සහ මොහොමඩ් ශිරාස් ජාත්‍යන්තර ක්‍රීඩකයන් සමග උරෙනුර ගැටෙන පළමු අවස්ථාව මෙය වන අතර, අනාගතයේදී ජාතික කණ්ඩායම පෝෂණය කිරීමට ලැබුණු අවස්ථාවෙන් උපරිම ඵල නෙලාගැනීමට උත්සාහ කරනු ඇත.
අනිවාර්යයෙන්ම මෙම කණ්ඩායමේ වඩාත්ම ප්‍රචලිත සහ සුපිරිතම ක්‍රීඩකයා ලෙසට අෆ්රිඩි සැලකිය හැකිය. මේ වනවිට 40 හැවිරිදි වුවත් ඔහුගේ තුන් ඉරියව් හැකියාව අඩු වී නැත. තවමත් විවිධ රටවල විස්සයි 20 ලීග් තරගවලට ක්‍රීඩා කරයි. 2009 ලෝක කුසලාන ශූරයන්ගේ කණ්ඩායමේ ප්‍රබලතම ක්‍රීඩකයාත් ඔහු විය. එම කණ්ඩායමේ තවත් ක්‍රීඩකයෙක් වූයේ වමතින් වේග පන්දු යවන ආමිර්ය.
ඉතා ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරුවෙක් වන 22 හැවිරිදි සසායි මෙන් ම අත්දැකීම් බහුල වෝල්ටන් ද ජගත් තරගවලට ක්‍රීඩා කර තිබේ.
මෙම කණ්ඩායමේ හිමිකරුවා වන්නේ පාකිස්තාන් සුපර් ලීග් කණ්ඩායමක් වන ක්වෙටා ග්ලැඩියේටර්ස් හිමිකාරත්වය දරන නදීම් ඕමාර්ය.
ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම -
ධනංජය ලක්ෂාන්, හස්රතුල්ලා සසායි, මොහොමඩ් ආමීර්, අකිල ධනංජය, ලක්ෂාන් සඳකැන්, ධනුෂ්ක ගුණතිලක, භානුක රාජපක්ෂ, නුවන් තුෂාර, ශෙහාන් ජයසූරිය, අසිත ප්‍රනාන්දු, මිලින්ද සිරිවර්ධන, දුවිඳු තිලකරත්න, මොහොමඩ් ශිරාස්, ෂහීඩ් අෆ්රිඩි, අසාම් ඛාන්, චානක රුවන්සිරි, සහන් ආරච්චිගේ, අහ්සාන් අලි, චැඩ්වික් වෝල්ටන්, මොයින් ඛාන් (ප්‍රධාන පුහුණුකරු) කළමනාකරු.
----------------------
විදෙස් ක්‍රීඩකයෝ
ෂහීඩ් අෆ්රිඩ්, මොහොමඩ් ආමිර්, අසාම් ඛාන් සහ අහ්සාන් අලි (පාකිස්තානය), හස්රතුල්ලා සසායි (ඇෆ්ගනිස්තානය) සහ චැඩ්වික් වෝල්ටන් (බටහිර ඉන්දීය කොදෙව්) විදෙස් ක්‍රීඩකයෝ ලෙසට මෙම කණ්ඩායමට ක්‍රීඩා කරති.










