
ඇයට ආසියාවේ යකඩ ගැහැනිය යන විරුදාවලිය මිස අන් කිසිවක් නොගැළපෙන්නේය. ඇය එතරම් ශක්තිමත්ය. අධිෂ්ඨානශීලීය. තම රට වෙනුවෙන් එතරම් කැපවූ වෙනත් රාජ්‍ය නායකයකු හෝ නායිකාවක් සඳහා උදාහරණයක් මේ ලෝකයේ වෙනත් කිසිදු රටකින් සොයා ගැනීමට නොහැක්කේය.
වර්තමානයේ මියන්මාරයේ සාර්ථකත්වයට ප්‍රධානතම හේතුසාධකය බවට පත්ව සිටින මේ රාජ්‍ය නායිකාව අවුන් සාන් සුකී ය. ඇයගේ පක්ෂය වන පාලක ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික ලීගය පසුගියදා පැවති මහමැතිවරණයෙන් පැහැදිලි බහුතරයක් ලබා ගැනීමට සමත් විය. ඒ එරට හමුදාවේ සහය ලබන විපක්ෂය පරාජය කරමින් වීම අති සුවිශේෂී කරුණක් ලෙස සඳහන් කළ යුතුය.
ඒ අනුව මේ මැතිවරණ ප්‍රතිඵලය ලොවට පෙන්වා සිටියේ මියන්මාර ජනතාව එරට මිලිටරි නායකයන්ගේ තර්ජන මායිම් නොකරමින් තමන් විශ්වාසය තබන රාජ්‍ය නායකයාට කැමැත්ත පළ කර ඇති බවයි.
මියන්මාර දේශපාලන ක්‍රමවේදය අනුව එරට පාර්ලිමේන්තුව ආසන 664කින් යුක්තය. ඒ අතරින් ආසන 315ක් පහළ මණ්ඩලයට සහ ආසන 161 ඉහළ මණ්ඩලයට අයත්ය.
ආසන 29ක් විවිධ ජනවර්ග නියෝජනය කිරීම සඳහා වෙන්වී තිබේ.
මේ අනුව මියන්මාරයේ පාර්ලිමේන්තුවේ ආණ්ඩුවක් පිහිටුවීම සඳහා දේශපාලන පක්ෂයක් ආසන 322ක් ඉක්මවා ජය ගත යුතු වේ.
පසුගියදා පැවති මැතිවරණයෙන් අවුන් සාන් සුකී ගේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික ලීගය පහසුවෙන් එම ආසන සංඛ්‍යාව ඉක්මවා ගිය අතර වාර්තාවක්ද තබමින් ආසන 400 ඉක්මවා ජය ගැනීමට ඇයට හැකිවී තිබේ. එබැවින්ම ඇයගේ මේ ජයග්‍රහණය විපක්ෂයේ නායයෑමක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.
මෙවර ශාන් සහ රඛිනේ ප්‍රාන්තවල ඡන්ද අවලංගු කිරීමටද මියන්මාරයට සිදුවූ අතර ඒ සඳහා එම ප්‍රාන්තවල දැනට උද්ගතවෙමින් පවතින නොයෙක් ජාතිවාදී කලබගෑනි හේතු වී ඇති බව සඳහන්ය. මෙවර මහ මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ 87ක් තරග වැදී ඇති අතර සුකී ගේ ලීගය ජයගෙන ඇත්තේ ඇයට විරුද්ධව ජාතිවාදී චෝදනාද එල්ල වෙමින් පැවති වටාපිටාවකදී වීම විශේෂ වේ.
මෙවර පැවති මැතිවරණය මියන්මාරයේ නියම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය යටතේ පැවති දෙවැනි මැතිවරණය යනුවෙන් ඉතිහාසගත වනු ඇති අතර මීට පෙර 2015දී පැවති ප්‍රථම මැතිවරණය ජයග්‍රහණය කරණු ලැබුවේද අවුන් සාන් සුකී විසිනි.
එයින් පසුව රොහින්ග්යා කැරළිකරුවන්ගේ සිදුවීම්වලට මුහුණ දීමට සුකී ගේ ආණ්ඩුවට සිදුවුණු අතර ඇය එම කැරලි මර්දනය කරනු ලැබුවේ රඛිනේ ප්‍රාන්තයේ කැරලිකරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වල අයට දරුණු දඬුවම් පැමිණවීම මගිනි.
මේ සම්බන්ධව ඇය අන්තර්ජාතික වශයෙන් කිසියම් දෝෂාරෝපණයන්ට ලක්වුවද ඇයගේ එම ක්‍රියාවන් එරට ජනතාට එකහෙළා අනුමත කර ඇති බවට මේ මැතිවරණ ප්‍රතිඵලය සාක්ෂි දරන්නේය.
අවුන් සාන් සුකී යනු සැබවින්ම තම මුළු ජීවිතයම මියන්මාරය වෙනුවෙන් කැප කළ ශක්තිමත් කාන්තාවකි. ඇයගේ ජීවිත කාලයෙන් වසර 15ක් නිවාස අඩස්සියේ සිටීමට ඇයට සිදුවූයේද ඇය කිනම් හෝ තත්ත්වයක් යටතේ තම රට වෙනුවෙන් සේවය කිරීම සහ දේශපාලනයෙන් සමුගැනීම ප්‍රතික්ෂේප කළ බැවිනි. අවසානයේ ඇය නිවාස අඩස්සියෙන් මිදවීමට සහ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ නිරත වීමට අවසර දීමට මියන්මාර මිලිටරි නායකයන්ට සිදුවූයේ සැබවින්ම ඔවුන්ට වෙනත් විකල්පයක් සොයා ගැනීමට නොහැකි වූ නිසාවෙනි.
එම අවස්ථාව තම ජීවිතයේ ස්වර්ණමය අවස්ථාව කර ගත් සුකී තවදුරටත් නොනැවැත්විය හැකි ප්‍රවාහයක් නොවන බව මෙවර මැතිවරණ ප්‍රතිඵලයත් සමඟ මියන්මාර මිලිටරි නායකයන්ට මෙන්ම එරට විපක්ෂයටද මනාව පැහැදිලි වන්නට ඇති බවට සැක නැත.