
ජනාධිපතිවරණයෙන් පරාජය ලැබූ ඩොනල්ඩ් ට්‍රම්ප්ට තවත් කුණාටුවකට මුහුණ දීමට සිදුවී ඇති බව පසුගිය සතියේද සක්වළගලෙන් අපි සඳහන් කළෙමු. මේ වන විට මෙලනියා ට්‍රම්ප්ගේ දික්කසාදය සම්බන්ධව ලොව පුරා මාධ්‍ය විවිධ පුවත් තවදුරටත් පළ කරමින් තිබේ. ඒ අතරින් බ්‍රිතාන්‍යයේ ‘ද සන්’ පුවත්පත දක්වා ඇත්තේ මෙලනියාට දික්කසාදය සමඟ ඩොලර් මිලියන 50ක වන්දියක්ද ලැබීමට නියමිත බවයි. එහෙත් සැබවින්ම එතරම් වන්දියක් ගෙවීමට හැකියාවක් ඩොනල්ඩ් ට්‍රම්ප් සතුව පවතිනවාද යන්න වෙනම සොයා බැලිය යුතුය.
පසුගිය කාලය පුරා දේශපාලනයට සිත යොදවමින් සිටියදී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ව්‍යාපාර ඉතා විශාල ලෙස පරිහානියට පත්වූ බව සඳහන් වන අතර සුප්‍රකට ‘ට්‍රම්ප් ටවර්’ගොඩනැගිල්ලද උකස් කර මුදල් ලබා ගෙන ඇති බවටද වාර්තා පළවී තිබේ.
කෙසේ වුවද ඉතා අසීරු දීගයක ආයාසයෙන් එල්ලී සිටි මෙලනියා ඉතා ඉක්මනින්ම ට්‍රම්ප්ගෙන් වෙන් වනු ඇති බවට බොහෝ මාධ්‍ය දක්වා තිබිණි.
‘ද සන්’ පුවත්පතට මේ සම්බන්ධව අදහස් දක්වා සිටි ඇමරිකාවේ දික්කසාද පිළිබඳ ප්‍රසිද්ධියක් උසුලන නිතීඥ ජැකලින් නිව්මාන් සඳහන් කර ඇත්තේ ට්‍රම්ප් මෙලනියා දික්කසාදයේදී මෙලනියාට ඩොලර් මිලියන 50ක් හිමිවීම අතිශයින් සාධාරණ බවයි.
එමෙන්ම මේ මුදල ඇයට හිමිවනු ඇත්තේ ඔවුන් දෙදෙනාගේ පුත්‍රයා වන බැරන්ගේ හිමිකාරීත්වය මෙලනියාට හිමිවේ නම් පමණක් බවද ඇය වැඩිදුරටත් සඳහන් කර තිබේ. මෙහිදී නීතිඥ නිව්මාන් දක්වා ඇත්තේ උසාවියේදී මෙලනියාට පහසුවෙන්ම පුත්‍රයාගේ හිමිකාරීත්වය හිමිවනු ඇති බවයි.
ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඉතා රූමත් මෙලනියා මුණගැසෙන්නේ 1998දීය. මේ වන විට ඔවුන්ගේ විවාහ දිවියට වසර 15ක් සම්පූර්ණ වී ඇති අතර ඔවුන්ගේ පුතු බැරන් 14 හැවිරිදිය.
ට්‍රම්ප්ගේ ප්‍රථම විවාහය 1977දී සිදුවී ඇති අතර එහි දික්කසාද සටහන් වන්නේ 1992දීය. ඒ ඉවන්කා සමඟය. දික්කසාදයේදී ඉවන්කාට ඩොලර් මිලියන 14ක් ලබා දීමට ට්‍රම්ප්ට සිදුවිය. ඉන්පසුව ට්‍රම්ප් මාර්ලා මේපල්ස් සමඟ විවාහ වූ අතර 1999දී ඇයගෙන් දික්කසාද වූයේය. ට්‍රම්ප් මාර්ලාට ලබා දුන් වන්දි මුදල ඩොලර් මිලියන 2ක් බව සඳහන්ය.
ට්‍රම්ප්ගේ ව්‍යාපාර කටයුතුවල තත්ත්වය කෙසේ වුවද හිටපු ජනාධිපතිවරයකු ලෙස ඔහුට මෙලනියාගෙන් වෙන්වීමේදී ඇයගේ සහ පුත්‍රයාගේ නඩත්තු සඳහා ඩොලර් මිලියන 50ක් ගෙවීමට සිදුවනු ඇති බව නීතීඥ නිව්මාන්ගේ අදහසයි.
ට්‍රම්ප් මෙලනියා වෙන් වනු ඇති බවට පුවත් ජනාධිපතිවරණ ප්‍රතිඵල ලැබුණු සතියේම ලොව පුරා පැතිරී ගියද එය වඩාත් සත්‍ය ලෙස පැතිර යෑමට තුඩු දුන් තවත් හේතුවක් විය.
ඒ පසුගියදා ඇමරිකාවේ ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් පැවති කෘතහස්තයන්ගේ සැමරීම් දිනයේ සිදුවූ සිදුවීම් කිහිපයකි.
එම අවස්ථාවට ජනාධිපති ට්‍රම්ප් සමඟ මෙලනියාද සහභාගී වූ නමුත් ජනාධිතිවරයා සහ බිරිය අතර පවතින විරසකය එහිදී ලොවටම පැහැදිලිව දක්නට ලැබිණි.
සැමරුම් අවස්ථාවේදී වර්ජිනියාහි ආර්ලින්ග්ටන් ජාතික සුසාන භූමියට ජනාධිපතිවරයා බිරිය සමඟ පැමිණි නමුත් ඇය කැඳවාගෙන යනු ලැබුවේ හමුදා සාමාජිකයකු විසිනි.
ජනාධිපතිවරයා සහ බිරිය එක්ව ඇවිද යෑම අතිශය සාමාන්‍ය සිරිත වුවද එහිදී ජනාධිපති ට්‍රම්ප් වෙන්වද, මෙලනියා හමුදා සාමාජිකයා සමඟද ඇවිද යනු දක්නට ලැබිණි.
උත්සව අවස්ථාවේ වැසි වැටුණු බැවින් ජනාධිපතිවරයාට සහ ආර්යාවට වෙන්ව හමුදා සාමාජිකයන් දෙදෙනෙකු විසින් කුඩ ඉහළන අන්දමද ලොවටම දැකගත හැකි විය.
මෙලනියා බොහෝවිට අසතුටු මුහුණින් යුක්තව සිටි අතර ට්‍රම්ප්ද බුම්මාගත් මුහුණින් සිටිනු දක්නට ලැබිණි.
මේ දෙදෙනාගේ ශරීර භාෂාව දෙදෙනාගේම ප්‍රශ්න රැසක් සමාජය හමුවේ තබන බව බොහෝ මාධ්‍ය වාර්තාවල සඳහන් විය.
ඇමරිකානු ජනාධිපතිවරයකු මෑත කාලයේ වසර විස්සකට පමණ මෙපිට තම පවුල් ආරවුල් සමාජය හමුවට ගෙන ආවේ නැති බැවින් ට්‍රම්ප්ගේ සහ මෙලනියාගේ මේ හැසිරීම බෙහෙවින් කතාබහට හේතුසාධක විය.