
සඳ මතට යානයක් ගොඩ බස්වා සඳෙන් පස් ඇතුළු සාම්පල රැගෙන ඒම සඳහා යානයක් පිටත් කිරීමට චීනය සූදානමින් සිටී. ඒ සඳහා සූදානම් කර ඇති දැවැන්ත යානය පසුගිය අඟහරුවාදා දිනයේදී ගුවන් ගත කිරීම සිදුවන අදාළ ස්ථානය වෙත ගෙන එනු ලැබී බව චීන රජය තහවුරු කර තිබේ.
මේ ගුවන්ගත කිරීම සිදුකිරීමට නියමිතව ඇත්තේ චීනයේ හයිනෑන් ප්‍රාන්තයේ වෙන්චැන්ග් ප්‍රදේශයේ සිටය. ලබන සතිය ආරම්භයේදී යානය ගුවන්ගත කිරීමට චීන බලධාරීහු බලාපොරොත්තු වන බව පැවසේ. යානය සඳ මතට පතිත වූ පසු සඳ මතුපිට සිට මීටර් දෙකක් ගැඹුරට කැණීම් සිදු කිරීමටද අපේක්ෂා කෙරේ.
ඒ සම්බන්ධව චීන බලධාරීන් පවසා ඇති අන්දමට ගල් සහ පස් ලබා ගැනීම ඔවුන්ගේ අරමුණ වුවද සඳ මතුපිට පෘෂ්ඨයට යටින් පවතින ජල නිධි පිළිබඳ සාක්ෂි ලබා ගැනීම ඔවුන්ගේ ප්‍රධාන අරමුණ බවට සැකයක් නැත.
කෙසේ වුවද මෙලෙස සඳ මතුපිටින් පාංශු පෘථිවියට ගෙන ඒම සිදුවන්නේ ඉතා දිගු කලකට පසුවය. එනම් 1960 සහ 1970 දශකවලදී ඇමරිකානු සහ රුසියානු අභ්‍යවකාශ යානා මගින් ගෙන එන ලද පාංශු කොටස්වලට පසුව සඳ මතුපිටින් කොටස් ගෙන ඒම සඳහා යන ප්‍රථම යානය වනු ඇත්තේ මේ චීන යානාවයි.
චීනය මේ මෙහෙයුම ඔවුන්ගේ රටතුළ ජනතා ඇදැහීමට ලක් වන ‘සඳ දෙව්දුව’ගේ නමින් නම් කර ඇති බව සඳහන්ය.
එමෙන්ම සඳ මතට යානයක් යැවූ තෙවැනි රට බවටද චීනය පත් වී ඇත්තේ ඇමරිකාව සහ රුසියාවට පසුව සඳ මතුපිටට යානයක් යවමිනි.
මේ වන විට ඇමරිකාව ප්‍රමුඛ ලොව බොහෝ රටවල් අභ්‍යවකාශ කටයුතුවලදී චීනය සහභාගී කර ගැනීම වර්ජනය කර තිබේ. විශේෂයෙන්ම නාසා ආයතනය සමඟ සම්බන්ධ වී කටයුතු කිරීම මෙන්ම අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත චීන ජාතිකයන් ඇතුළු කර ගැනීම ඇමරිකාව විසින් තහනම් කර තිබේ. එවැනි පරිසරයක් යටතේ තනිවම අභ්‍යවකාශ කටයුතුවල නිතර වීමට චීනය කටයුතු කළ අතර මේ වන විට එහි උපරිම සාර්ථකත්වය අත්පත් කර ගැනීමටද චීනයට හැකිවී තිබේ.
මීට වසර කිහිපයකට පෙර චීනය සඳේ දකුණු කොටසට යානයක් ගොඩබැස්වීමට කටයුතු කළ අතර එහිදී සඳ මතුපිට ශාක සඳහා ජීවත්වීමේ හැකියාව නිරීක්ෂණය කිරීමට විශේෂිත කුටියක කපු ඇට පැළ කරවීමටද කටයුතු යෙදීය.
දින කිහිපයක් සාර්ථකව වැඩුණු කපු ඇට කුඩා කොළ පැහැති පත්‍ර කිහිපයක් ලබා දීමෙන් පසු වියළිව ගියේය.