කමලාගේ සහයට එන යාපනයේ රෝහිණී | සිළුමිණ

කමලාගේ සහයට එන යාපනයේ රෝහිණී

කමලා හැරිස් ගැන මේ වන විට පුවත්පත් පිටු පුරා ලියවී අවසන්ය. එයට හේතුව වන්නේ ඇය ඉන්දීය - ජැමෙයිකානු මිශ්‍ර සම්භවයක් සහිත ඇමරිකානු පුරවැසියකු වීම මෙන්ම එරට ප්‍රථම කාන්තා උප ජනාධිපතිවරිය ද වීමයි.

ඇයට වැනිම ප්‍රසිද්ධියක් ඇයගේ කාර්ය මණ්ඩල ප්‍රධානියාට ද මේ දිනවල ලැබෙමින් පවතින්නේ ඇයද විදේශීය සම්භවයකින් යුක්ත තරුණ කාන්තාවක් වන බැවිණි.

විශේෂයෙන්ම ශ්‍රී ලාංකීය අපටද ඇමරිකානු උප ජනාධිපතිනියගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වැදගත් වන්නේය. ඒ ඇය ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත යාපනයේ දෙමළ පවුලක සාමාජිකාවක්ද වන බැවිනි. ඇය රෝහිණී ලක්ෂ්මී රවීන්ද්‍රන් කොසග්ලූය.

රෝහිණී, කමලා හැරිස් සෙනෙට් සභාවේ සාමාජිකාවක් වූ පසු ඇයගේ කාර්ය මණ්ඩලයට එක්ව සේවය කර තිබේ. ඒ 2017 වසරේ සිටය.

ඇයගේ පියා වෛද්‍ය විජයදේවේන්ද්‍රම් රවීන්ද්‍රන් යාපනයේ වැසියකු වූ අතර ඇයගේ මව ශොභානා රවීන්ද්‍රන්ය. ඔවුන් යාපනයේ වාසය කළ නමුත් 1980 ජූලි කලබල හේතුවෙන් බියට පත් වූ ඔවුහු ශ්‍රී ලංකාවේ වාසය ප්‍රතික්ෂේප කර ඇමරිකාවේ පුරවැසිභාවය සහිත පදිංචියට පැමිණ තිබේ.

වෛද්‍ය රවීන්ද්‍රන් කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය සම්පූර්ණ කර ඇත්තේ 1974 වසරේදීය.

ඔහු කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලබා ඇති අතර රාජකීය - ශාන්ත තෝමස් පාසල් ක්‍රිකට් තරඟ සඳහා පන්දු යැවීමෙන්ද දායක වී තිබේ. වෛද්‍ය රවීන්ද්‍රන්ගේ සහ ශෝභනා රවීන්ද්‍රන්ගේ දියණිය රෝහිණි ඇමරිකාවේදී උපත ලබා ඇති අතර ඇය පසුකාලීනව සෙනෙට් සභිකයන් කිහිප දෙනෙකුගේම කාර්ය මණ්ඩලයේ සේවය කර තිබේ.

මයිකල් බාර්නෙට් සහ ඩෙබී ස්ටෙබ්නොව් යන සෙනෙට් සභිකයන් ඒ සඳහා උදාහරණ වන අතර මොවුන් සියලු දෙනාම කමලා හැරිස් මෙන්ම ඩිමොක්‍රටික් පාක්ෂිකයන් වීම විශේෂ වේ.

2017 වසරේදී රෝහිණී කමලා හැරිස්ගේ කාර්ය මණ්ඩලයේ සේවයට එක් වී ඇති අතර පසුව 2018 වසරේදී කමලා හැරිස් ඇයට කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස උසස්වීමක් ලබා දී තිබේ.

එතැන් සිට කමලා උප ජනාධිපති ලෙස තේරී පත්වන තුරුම ඇය සමඟ කටයුතු කළ රෝහිණී පසුව ඇයගේ ප්‍රධාන උපදේශිකාව ලෙසද කටයුතු කර තිබේ. එමෙන්ම අනාගත උප ජනාධිපතිනියගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙසින් කටයුතු කිරීමේ අවස්ථාවද ඇයට හිමිවනු ඇති බවද ප්‍රකාශිතය.

රෝහිණී විවාහයෙන් පසු කොසග්ලූ යන සැමියාගේ වාසකම භාවිත කරන්නීය. ඇය පුතුන් තිදෙනකුගේ මවක්ද වන්නීය.

කමලා හැරිස් ගේ ඉන්දීය සම්භවය මෙන්ම රෝහීණීගේ ශ්‍රී ලාංකීය සම්භවයද පාදක කර ගනිමින් ඇතැම් දෙනා අනාවැකි පවසන්නේ අනාගතයේදී ඇමරිකාව ශ්‍රී ලංකාවට අහිතකර තීන්දු තීරණවලට එළඹීමේ වැඩි ඉඩක් පවතින බවයි. එමෙන්ම දෙමළ ඩයස්පෝරාවට වාසිදායක තීන්දු ගැනීමටද ඉඩක් පවතින බවයි.

එහෙත් පැවසිය යුතු ප්‍රධාන කරුණක් වන්නේ තම පවුල්වල ඥාතීන් ආසියාතික රටවල උපත ලැබූවද කමලා මෙන්ම රෝහිණීද උපතින්ම ඇමරිකානු පුරවැසියන් බවය.

ඔවුන්ගේ සිතුම් පැතුම් අනෙකුත් සෑම ඇමරිකානුවන් හා සමාන වන බවය. ඔවුන්ට ඉන්දියාව හෝ ලංකාව සමඟ කිසිදු ඓන්ද්‍රීය සම්බන්ධයක් නොමැති බවය. විශේෂයෙන්ම ඔවුන් තීන්දු තීරණ ගැනීමේදී රාජ්‍ය තාන්ත්‍රිකභාවය මත පදනම් වනු ඇති මිස තම පෞද්ගලික ඥාතීත්වයන් ඒ සඳහා හේතුවක් කර නොකර ගනු ඇති බවය.

මේ සඳහා හොඳම උදාහරණයක් ලෙස හිටපු ජනාධිපති බරැක් ඔබාමා දැක්විය හැකිය. ඔහුද අප්‍රිකානු සම්භවයක් සහිත ඇමරිකානුවකු වූ අතර කමලා හැරිස් මෙන් නාමික උප ජනාධිපති නොව සියලු බලතල සහිත ඇමරිකානු ජනාධිපති ධූරය වසර 8ක් පුරා දැරුවේය.

එහෙත් ඔහු තම පාලන කාලය තුළ අප්‍රිකාව සම්බන්ධ මැදිහත්වීම් නොකළ අතර ඒ වෙනුවට අවස්ථාවන් රැසකදී ඇමරිකාවේ යකඩ හස්තය යොදමින් ලොවපුරා යුද්ධ කිහිපයක්ද ඇති කිරීමට දායක වූ බවය. ඇතැම්විට අනාගතයේදී චීනයේ අධිපතිවාදය හමුවේ බයිඩන් ජනාධිපතිවරයාටද චීනය සමඟ කඹ ඇදීමට සිදුවනු ඇත.

එහෙත් දකුණු ආසියානු සම්භවයක් තිබූ පමණින් කමලා හැරිස් මෙන්ම රෝහිණී ලක්ෂ්මීද ඉන්දියාව හෝ ලංකාව තම මවු රට සේ සලකා කටයුතු කරණු ඇතැයි සිතිය නොහැකිය. එහෙත් පැහැදිලිව පෙනෙන තවත් එක් කරුණක් තිබේ.

එනම් සංක්‍රමණිකයන්ගේ දෙවැනි තුන්වැනි පරම්පරා විසින් ශීඝ්‍රයෙන් ඇමරිකාවේ පාලන තන්ත්‍රය ආක්‍රමණය කරමින් සිටින බවය. ඩොනල්ඩ් ට්‍රම්ප් 2016දී බලයට පැමිණීමේදී ‘ඇමරිකාව ඇමරිකානුවන්ට’ යන තේමා පාඨය යොදා ගත්තේද මේ හේතුවෙනි.

එහෙත් එදා ලබා ගත් ජනප්‍රියත්වය දිගට පවත්වා ගැනීමට ඔහුට නොහැකි විය. කෙසේ වුවද සංක්‍රමණිකයන් මෙතරම් පාලන තන්ත්‍රයට එක්වීම බොහෝ ඇමරිකානුවන් නොරුස්නා බවද සඳහන් කළ යුතුය.

Comments