
නවසීලන්ත අගමැතිනිය විවාහ වීමට සිතයි
තමාට තම සහකරු සමඟ විවාහ වීමේ බලාපොරොත්තුවක් පවතින බව නවසීලන්ත අගමැතිනිය ජසින්ඩා ආර්ඩ්න් පසුගියදා පවසා සිටියාය. එහෙත් තවමත් තම විවාහ මංගල්‍යය පැවැත්වෙන දිනය නිශ්චිතව පැවසිය නොහැකි බවද ඇය වැඩිදුරටත් පවසා තිබේ. අපි අපේ අනාගතය ගැන අදහස් හුවමාරු කර ගත්තා, ඒ අතරින් ඇතැම් ඒවා පවුලේ සාමාජිකයන් සහ හිතමිතුරන් සමගත් බෙදා ගත්තා. ඉදිරියේදී අපේ විවාහ මංගල්‍යය පැවැත්වෙනු ඇති නමුත් නිශ්චිත දිනයක් තවමත් හරියටම පැවසිය නොහැකියි යනුවෙන් ඇය පවසා තිබේ. ජසින්ඩා ආර්ඩ්න් මේ වන විට 40 හැවිරිදි වියේ පසුවන අතර ඇයගේ සහකරු වන රූපවාහිනී නිවේදක ක්ලාර්ක් ගේෆෝඩ් 44 හැවිරිදි වියේ පසුවෙයි. ජසින්ඩා ආර්ඩ්න් මේ වනවිට සිවු හැවිරිදි දරුවෙකු සිටින අවිවාහක මවකි.
ආදි මානවයාටත් පෙර මානවයාගේ හිස්කබලක් දකුණු අප්‍රිකාවෙන්
වසර මිලියන දෙකකටත් වඩා ඉපැරණි මානව හිස් කබලක් දකුණු අප්‍රිකාවෙන් සොයා ගැනීමට ඔස්ට්‍රේලියානු විද්‍යාඥයන්ට හැකියාව ලැබී තිබේ. ඔවුන් මේ මානව හිස්කබල හඳුනාගෙන ඇත්තේ ආදි මානවයාටත් පෙර විසූ හෝමෝ ඉරෙක්ටස් මානව වර්ගයාගේ හිස් කබලකට වඩා ආසන්න හිස්කබලක් වශයෙනි.
මේ හිස්කබල අයත් යුගය වන විට ආදි මානවයාට නෑකම් කියූ මානව වර්ග දෙකක් දකුණු අප්‍රිකාව ආශ්‍රිත ප්‍රදේශයේ ජීවත්ව සිට ඇති බවත් ඔවුන් අතරින් එක් වර්ගයක් වඩා වේගයෙන් වඳවී ගිය බවත් විද්‍යාඥයන්ගේ අදහසයි. මේ හිස්කබල එම මානව වර්ගයට අයත් විය හැකි බව විද්‍යාඥයන් අනුමාන කර තිබේ.
සිම්බාබ්වේහි ප්ලැටිනම් නිධි හාරන්න බිලියනපතියෙක්
සිම්බාබ්වේ හි ප්ලැටිනම් නිධියක් හෑරීම සඳහා ආයෝජනය කිරීමට නයිජීරියානු බිලියනපතියෙකු වන බෙනඩික් පීටර්ස් ඉදිරිපත් වී තිබේ. සිම්බාබ්වේ අගනුවර වන හරාරේ සිට කිලෝමීටර් 80ක් දුරින් වන ප්‍රදේශයේ ප්ලැටිනම් නිධි පිහිටා ඇතැයි සැක කරන අතර එම අභියෝගය බාර ගනිමින් ප්ලැටිනම් සෙවීම සඳහා ආයෝජනය කිරීමට එම නයිජීරියානු බිලියනපතියාගේ බ්‍රවෘරා හෝල්ඩිංග්ස් සමාගම කටයුතු කරමින් සිටී. මෙහිදී හෙක්ටයාර 3000ක භූමි ප්‍රදේශයක් තුළ කැණීම් සිදුකිරීමට නියමිතය.
ඒ අනුව ඉදිරි මාස 18ක කාලයක් තුළ සිදුවන ඕනෑම දෙයක අභියෝගය බාර ගන්නා බව බිලියනපති බෙනඩික් පීටර්ස් පවසා තිබේ.
ඉරානයේ විරුද්ධ මතධාරීන්ට නිදහස
පසුගියදා ඉරානය සිරකරුවන් 2,301ක් නිදහස් කිරීමට කටයුතු කළ අතර, ඒ අතරින් සිරකරුවන් 157 දෙනෙකු එරට රජයට විරුද්ධව කටයුතු කළ පුද්ගලයන් බව රජය නිවේදනය කර තිබේ. ඉරානය මෙලෙස සිරකරුවන් නිදහස් කර ඇත්තේ එරට අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කුමෙයිනිගේ උපන්දින සැමරුම වෙනුවෙනි. මෙවර නිදහස් කෙරුණු සිරකරුවන් 157 දෙනා ‘ක්‍රමයේ වෙනසක්’ අපේක්ෂා කරමින් රජයට එරෙහිව මතවාදීමය ප්‍රචාරණ ව්‍යාපාරයන්හි නිරතවුණු පුද්ලයන් ලෙසින් හඳුනාගෙන තිබේ. එමෙන්ම ඔවුන් අවස්ථා කිහිපයකදී ඉරාන රජයට එරෙහිව විරෝධතා ව්‍යාපාරවලට එක්වී තිබේ.
පසුගිය වසරේදී ඉරාන රජයට එරෙහිව විශාල ජනතාවකගේ සහභාගීත්වයෙන් විරෝධතා පැවති අතර එහිදී වැඩි පිරිසක් අත්අඩංගුවට ගැනීමට රජය කටයුතු යෙදීය.
පකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයට අධ්‍යක්ෂවරියක්
පකිස්තානය සිය ක්‍රිකට් පාලක මණ්ඩලයට ප්‍රථම කාන්තා අධ්‍යක්ෂවරිය බඳවාගෙන තිබේ. ඇය අලියා සෆාර් නම් වන මානව සම්පත් කළමනාකාරවරියකි. මීට අමතරව මූල්‍ය විධායක සහ කාර්ය මණ්ඩල විධායක වශයෙන් නව තනතුරු කිහිපයක් සඳහාම පත්වීම් ලබා දී ඇති අතර ඒ පුරප්පාඩු සියල්ලම පුරුෂ පාර්ශ්වය විසින් සපුරා තිබේ.
ස්ත්‍රී පුරුෂ භාවය කෙසේ වුවද සියලු දෙනා එක්ව පකිස්තාන ක්‍රිකට් ක්‍රීඩාව වර්ධනය කිරීමට කටයුතු කළ යුතු බව පකිස්තාන ක්‍රිකට්පාලක මණ්ඩලයේ ප්‍රධානියා පවසා තිබේ.
ඇෆ්ගන් රජයේ හමුදා අල් කයීඩා නායකයකු මරා දමයි
තමන් අල් කයීඩා සංවිධානයේ කලාපීය නායකෙයකු මරා දැමීමට සමත් වූ බව ඇෆ්ගනිස්තාන රජයේ හමුදා ප්‍රකාශයට පත් කර තිබේ. ඔවුන් මේ සඳහා ඇෆ්ගන් බුද්ධි සේවාවේ සහය ලබාගෙන තිබේ. නිරිත දිග ඇෆ්ගනිස්ථාන ප්‍රදේශයේ සිටියදී මේ අල් කයීඩා නායකයා කොටු කර ගැනීමට ඇෆ්ගන් හමුදාවන්ට හැකියාව ලැබී තිබේ. ඇෆ්ගනිස්තාන රජයේ බලධාරීන් වැඩිදුරටත් පවසා ඇත්තේ තමන්ට තලේබාන් සහ අල් කයීඩා සංවිධානවලට ප්‍රහාර එල්ල කිරීමට ඇමරිකානු රජයේ සහය නිරතුරුව ලැබෙන බවයි.