
ඇමරිකානු ජනාධිපතිවරණය ජෝ බයිඩ්න් විශිෂ්ට ලෙස ජයගත්තද ලොව පුරා වැඩියෙන්ම කතාබහට ලක් වූයේ ඔහු නොව, ඔහුගේ උප ජනාධිපති අපේක්ෂිකාව වූ කමලා හැරිස්ය. ඇයගේ ආසියාතික මිශ්‍ර ජන්මය මෙන්ම ප්‍රථම වරට කාන්තාවක් උප ජනාධිපතිවීම මෙන්ම ඇයගේ පෞරුෂය යනාදිය මේ කතාබහට හේතු විය. සැබවින්ම කමලා හැරිස් එතරම්ම අවධානයට ලක් විය යුතු තරමේ කාන්තාවකි. පිරිමියකුටත් වඩා පෞරුෂයකින් මෙන්ම කාන්තා ලාලිත්‍යයෙන්ද පිරිපුන් ඇය රාජ්‍ය නායිකාවක් සතු ගති ලක්ෂණ බොහොමයකින් සමන්විත වන්නීය.
ඇය සතු ආසියාතික සහ කැරිබියානු මිශ්‍ර ජන්මය බයිඩ්න්ට සංක්‍රමණික ඇමරිකානුවන්ගේ ඡන්ද මලු පිටින් ලබාගැනීමට උපකාරී වූ බවට සැක නැත. කමලා හැරිස්ට ‘කමලා’ යන නම හිමිවන්නේ ඇයගේ ඉන්දියානු මවගෙනි. ජැමෙයිකානු ඇමරිකානුවකු වූ ඇයගේ පියාගෙන් ඇයට ලැබුණේ පවුලේ නම හෙවත් ‘හැරිස්’ යන්නයි.
කමලාගේ මව වන ශාමලා ගෝපාලන් උපත ලබා ඇත්තේ තමිල්නාඩුවේදීය. ඇයගේ පියාවන පී. වී. ගෝපාලන් උපත ලබා ඇත්තේ තමිල්නාඩුවේ මන්නාර්ගුඩි හිදීය. මන්නනාර්ගුඩි නගරය පිහිටා ඇත්තේ තමිල්නාඩුවේ ප්‍රධාන නගරය වන චෙන්නායි හි සිට කිලෝමීටර් 310ක් ඈතිනි. එහෙත් ශාමලාගේ පියා උපත ලබන්නේ ඉන්දියාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවතියදී වන බව අමතක කළ යුතු නැත.
පසුව වැඩිදුර අධ්‍යාපනය සඳහා ඇමරිකාවට පැමිණෙන ශාමලා එහිදී ඇයට හමුවන ජැමෙයිකානු ජාතිකයකු වන ඩොනල්ඩ් ජේ හැරිස් සමඟ විවාහ වන්නීය. කමලා සහ මායා ඔවුන් දෙපළගේ දරුවන්ය.
කෙසේ වුවද කමලාගේ මේ ඉන්දියානු නැදෑකම ඉන්දියානුවන් පමණක් නොව ආසියාතිකයන්ද සැමරුවේ මහ ඉහළිනි. විශේෂයෙන්ම ඉන්දියාවේ කමලාගේ ජය පතා විශේෂ පූජාවන්ද පැවැත්වුණු අතර, කමලාගේ මවගේ උපන් ගමේ ගම්වැසියෝ ඇයගේ ජයග්‍රහණයෙන් පසු තම නිවෙස් ඉදිරිපස කෝලම් රටා දමා සැරසීමටද කටයුතු කළහ.
ඉතා තරුණ පෙනුමකින් සහ පෞරුෂයකින් යුතු වුවද කමලා හැරිස්ට මේ වන විට වයස අවුරුදු පනස් හයකි. ඇය උපත ලබා ඇත්තේ ඇමරිකාවේ ඔක්ලන්ඩ් ප්‍රාන්තයේදීය. හාවර්ඩ් විශ්ව විද්‍යාලයෙන් මෙන්ම කැලිෆෝර්නියා විශ්ව විද්‍යාලයෙන්ද උපාධි ලබා සිටින කමලා දේශපාලනයට ප්‍රවිෂ්ට වන්නේ සැන් ප්‍රැන්සිස්කෝ නගරයෙනි. ඒ 2011 වර්ෂයේදීය. පසුව 2017 වසරේදී කැලිෆොර්නියාවේ නීතිපති ලෙස කටයුතු කරන කමලා හැරිස් එම වසරේදීම කැලිෆෝර්නියාව නියෝජනය කරමින් සෙනෙට් සභාවේ අසුනකට හිමිකම් කියන්නීය.
ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය දිනූ ජෝ බයිඩ්න් විප්ලවීය තීරණයක් ගනිමින් තම උප ජනාධිපති අපේක්ෂිකාව ලෙස කමලා හැරිස් තෝරා ගැනීමත් සමඟම ඇය ඉතා කැපීපෙනෙන සහයෝගයක් ජෝ බයිඩ්න්ට ලබා දීමට සමත් වූවාය.
ඩග්ලස් එම්හෝෆ් සමඟ 2014 වසරේදී විවාහ වූ කමලා මේ වන විට හැරිස්ගේ ප්‍රථම විවාහයේ දරු දෙදෙනාට මවක් වී සිටින්නීය. ඇය බැප්ටිස්ට් ආගම් භක්තිකයකු වනු අතර තමා ‘බහුජාතික ඇමරිකානුවකු’ ලෙස හඳුන්වාදීමට වැඩි කැමැත්තක් දක්වන්නීය. නීතිපතිවරයෙකු ලෙස කටයුතු කිරීමේද දැඩි තීන්දු ලබා දෙන්නියක ලෙස ප්‍රසිද්ධියක් ඉසිලූ කමලා ලබන ජනවාරි 20 වැනි දින සිට ඇමරිකාවේ ප්‍රථම කාන්තා උප ජනාධිපතිවරිය ලෙස තම රාජකාරි අරඹනු ඇත.