
ඇමරිකාවේ 46 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත්වුණු ජෝ බයිඩ්න් ඒ අතරම තවත් වාර්තාවක් තැබීමට සමත් වී තිබේ. එනම් ඇමරිකාවේ වයස්ගතම ජනාධිපතිවරයා ලෙස තම නම සඳහන් කර ගනිමිනි. 1942 නොවැම්බර් මස 29වන දින ඇමරිකාවේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේදී උපත ලැබූ ඔහු තම ජිවිතයේ ගෙවී ගිය හැත්තෑ හත් වසරෙන් වැඩි කාලයක් ගත කර සිටියේ ඇමරිකානු දේශපාලනය සම්බන්ධ කටයුතු වෙනුවෙනි. අමතරව ඔහු දරුවන් තිදෙනෙකුගෙන් යුත් සුන්දර පවුලක තාත්තා වුවද එක් අවස්ථාවකදී ඒ සුන්දරත්වය ඔහුගෙන් කනගාටුදායක ලෙස උදුරා ගන්නේ හදිසි අනතුරකි.
ඒ හේතුවෙන් ඔහුගේ බිරිය සහ දියණිය මිය යන අතර දරුණු තුවාල ලබා දිවි ගලවා ගැනීමට පුතුන් දෙදෙනා සමත්වීම ඔහුට ඉස්පාසුවක්ම වන්නට ඇත. ඒ වන විට ඔහු ඩෙලවෙයාර් ප්‍රාන්තයෙන් දේශපාලනයට පිවිස තිබූ අතර අද දින ඇමරිකාවේ වයස්ගතම ජනාධිපති ලෙස වාර්තාවක් තැබීමට සමත් වූ ඔහු 1972දී ද ඇමරිකානු දේශපාලනයේ වාර්තාවක් තබන්නේ එරට වයසින් අඩුම සෙනෙට් සභිකයන් අතරට එක්වෙමිනි. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 30කි.
එතැන් සිට ඇරඹූ දේශපාලන ගමන ඔහු ඉදිරියට ගෙන යන්නේ දේශපාලන ජීවිතයේ මෙන්ම පවුල් ජීවිතයේද සුළි කුණාටු මැදිනි. කුඩා පුතුන් දෙදෙනෙකු සමග තනි වූ ඔහුට ශක්තියක් වන්නේ ඔහුගේ දෙවැනි බිරිය බවට පත්වූ ජිල් ට්‍රේසි ජේකොබ්ය. බයිඩ්න්ගේ සහෝදරයකු සමග විශ්වවිද්‍යාලයේ එක්ව රැකියාව කළ ඇය බයිඩ්න්ට හඳුන්වා දෙන්නේද එකී සහෝදරයාමය. එතැන් සිට බයිඩ්න්ගේ ජීවිතය අභියෝග මැද්දේ වුවද සොඳුරු විය.
බයිඩ්න් සැබෑ ඩිමොක්‍රටික් පාක්ෂිකයකු වූ අතර ඩිමොක්‍රටික් පක්ෂය තුළ ඉදිරිපෙළ අසුනක් ඔහුට එදා සිටම වෙන්වී තිබිණි. ඔහු ප්‍රථම වරට ජනාධිපති ධූරය සඳහා තරඟ වැදීමට ඩිමොක්‍රටික් පක්ෂයෙන් අපේක්ෂකත්වය ඉල්ලා තරඟ වදින්නේ 1987දීය. නුතනවාදියකු ලෙස තමා හඳුන්වා දෙමින් තරඟබිමට පිවිසෙනවිට ඔහුගේ වයස අවුරුදු 44ක් විය. ඇතැම් විට එදා ඔහුට අවස්ථාව හිමිවූවා නම් ඔහු ඇමරිකාවේ දෙවැනි වයසින් අඩුම ජනාධිපතිවරයා වීමට වුවද ඉඩ ප්‍රස්ථාව විය. එහෙත් එවර ඔහු ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීමට සමත් වූයේ නැත.
එහෙත් නොනැවතීම දේශපාලනයේ නිරත වූ බයිඩ්න් යළිත් වරක් ජනාධිපති ධූර අපේක්ෂකත්වය සඳහා 2007 වසරේදී තරඟ වැදුණේය. එවර ඔහු සමග ප්‍රතිවාදීන් ලෙස හිලරි ක්ලින්ටන්ද, ඇමරිකාවේ පමණක් නොව මුළු ලෝකයේම ආදරය දිනා ගත් බරැක් ඔබාමාද තරඟ වැදුණහ. එවර ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂකත්වයෙන් පමණක් නොව ජනාධිපතිවරණයෙන්ද ජය හිමිකර ගත්තේ බරැක් ඔබාමා බව අමුතුවෙන් සිහිපත් කළ යුතු නැත.
හිලරි ක්ලින්ටන් අපේක්ෂකත්වය සඳහා වූ තරගයේදී ඔබාමා සමග ප්‍රබල ගැටුම් ඇති කර ගත් බැවින් ඔබාමා තම උප ජනාධිපති ධූරය බයිඩ්න්ට පිරිනැමුවේය. ඒ අතර බයිඩ්න්ගේ ජීවිතය සිසාරා තවත් කුණාටුවක් හමා ගියේ ඔහුට පෙර බිරියගෙන් ඉතිරි වූ පුතුන් දෙදෙනාගෙන් එක් පුතකු පිළිකාවක් හේතුවෙන් මියයෑමයි. මෙලෙස තම පවුලේ සාමාජිකයන් එකා බැගින් තමා හැර ගියද, තම බිරියගෙන් ලැබුණු ශක්තිය මත ඔහු ඉබි ගමනින් වුවද ජයග්‍රහණය සොයා ගියේය. පසුගිය වසරේදී දැඩි තරගයකින් පසු ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂකත්වය දිනාගත් බයිඩ්න්ට දැඩි පහරක් එල්ල කිරීමට ට්‍රම්ප් ඔහුගේ එකම පුතණුවන් වූ හන්ටර් යොදා ගත්තේය. හන්ටර්ට යුක්රේන සමාගමක අධ්‍යක්ෂ ධූරය ලබා දීම සඳහා බයිඩ්න් වංචනික ලෙස කටයුතු කළ බවට චෝදනා කළ ට්‍රම්ප් එම චෝදනාව ජනාධිපතිවරණයේදී පැවැත්වූ විවාදවලදීද දිගින් දිගටම භාවිත කළේය.
එහෙත් බයිඩ්න් ජය ලැබුවේය. ජයග්‍රහණය අවිනිශ්චිතව පැවති අවස්ථාවේදී වුවද ඔහු සංයමයෙන් යුතුව කටයුතු කළේය. අදහස් ප්‍රකාශ කළේය. පරිණත බව පෙන්වා සිටියේය. ට්‍රම්ප්ගේ පාලනයෙන් තොර කට කියවීම අප්‍රිය කළ ඇමරිකානු ජනතාව බොහෝවිට බයිඩ්න්ගේ හැසිරීම හේතුවෙන් තම තේරීම සම්බන්ධව සතුටු වන්නට ඇත.
මේ ලියන මොහොත වන විටත් රුසියාවේ නායක ව්ලැඩිමීර් පුටින්, චීන ජනාධිපති ක්ෂී ජින්ග් පින්ග් මෙන්ම බ්‍රසීලයේ ජනාධිපති ජාර් බොල්සෙනාරෝ ඇතුළු තවත් රාජ්‍ය නායකයන් කිහිප දෙනෙක්ම බයිඩ්න්ට සුභ පැතුම් එක් කර නැත.
එබැවින්ම පරිණත නායකයකු ලෙස පෙනී සිටින බයිඩ්න් සෙසු ඇමරිකානු නායකයන්ගෙන් වියුක්තව තම පරිණත බව මගින් ලොවට සාමය ගෙන ඒමට සමත් වේවිද යන්න ඉවසීමෙන් යුතුව බලා සිටීමට සිදුවනු ඇත.