ජනාධිපතිධූරය අහිමි වූ ට්‍රම්ප්ට බිරියත් අහිමි වන ලකුණු | සිළුමිණ

ජනාධිපතිධූරය අහිමි වූ ට්‍රම්ප්ට බිරියත් අහිමි වන ලකුණු

ජනාධිපතිවරණයෙන් නිල වශයෙන් පරාජයට පත්වුවද තවමත් ධවල මන්දිරයේ ඔවල් කාමරයේ රාජකාරිවල නිතරව සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාට තවත් පරාජයකට මුහුණ දීමට සිදුව ඇති බවට නිල නොලත් තොරතුරු ලැබෙමින් තිබේ. ඒ ඔහුගේ බිරිය මෙලනියා ට්‍රම්ප් ඔහුගෙන් දික්කසාද වීමට සැරසෙන බවට මාධ්‍ය වාර්තා පළවීමත් සමගිනි. මේ පිළිබඳ පුවත ප්‍රථමයෙන්ම වාර්තා කර සිටියේ බ්‍රිතාන්‍යයේ ඩේලි මේල් වෙබ් අඩවියයි.

ඩේලි මේල් සාමාන්‍යයෙන් පුවතක් පළ කිරීමේදී එහි නිරවද්‍යතාව එතරම් සැලකිල්ලට ලක් නොකරන බවට ප්‍රසිද්ධ වුවද මෙලනියා ට්‍රම්ප්ගෙන් දික්කසාද වීමට යන බව පුදුමවීමට පුවතක් නොවූයේ ඇය ඒ බවට ඉඟි පසුගිය වසර හතර පුරාම ලොවට සපයමින් සිටි බැවිනි.

2016 වසරේදී ට්‍රම්ප් ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන විටත් මෙලනියා ට්‍රම්ප්ගෙන් දික්කසාද වීමට බලාපොරොත්තුවෙන් සිටි අතර, ඔහුගේ මෙම දේශපාලන ජයග්‍රහණය හේතුවෙන් දික්කසාදය කල් දැමීමට ඇයට සිදුවූ බවට පුවත් වාර්තා විය. ඔහුගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය තහවුරු වීමට පෙර දින ඇය වෙවුලමින් “ඔහු ජයගන්නයි යන්නේ... ඔහු ජයගන්නයි යන්නේ” යනුවෙන් කොඳුරමින් සිටි බවට ඕපාදූප වාර්තා විය. ඇයගේ සැමියා ඇමරිකාවේ ජනාධිපති ලෙස තේරී පත් වූ බවත්, ඇය එරට ප්‍රථම කාන්තාව බවත් අසන්නට ලැබුණු පසු සතුටු වනු වෙනුවට මෙලනියා හඩා වැටුණු බවත් මයිකල් වුල්ෆ් නම් ලේඛකයා තම ගින්දර සහ ලොම්’ කෘතියේ සඳහන් කර තිබිණි. කෙසේ වුවද ට්‍රම්ප් සහ මෙලනියා ආදරයෙන් සිටින යුවළක් නොවන බවට ඉඟි නම් පසුගිය වසර හතර පුරාම දක්නට විය.

මේ යුවළ ජනාධිපති මන්දිරයේ කාමර දෙකක වාසය කරන බව ගාඩියන් පුවත්පත මුල්වරට ලොවට හෙළි කර සිටියේ 2018 වසරේදීය. වෙනත් නිවසක වාසයට යෑමට මෙලනියා අදහස් කර සිටි නමුත් ඇයගේ පුත් බැරන්ගේ අධ්‍යපානය කටයුතු සඳහා පහසුව මත ඇය දිගටම ධවල මන්දිරයේ වාසය කරන බවටද පුවත් පැතිර ගියේය.

මේ සියල්ලට අමතරව මෙලනියා සහ ට්‍රම්ප් එක්ව ඇවිද යන අවස්ථා කිහිපයකදීද ඇය ඔහුගේඅත ගසා දමන අන්දම මාධ්‍ය ඔස්සේ ලොවටම දැකගත හැකි විය. මීට පෙර ඇමරිකාවේ ජනාධිපතිධූරය හෙබවූ බරැක් ඔබාමා තම බිරියට ඉතා ගෞරවයෙන්සහ ආදරයෙන් සලකන අන්දම බලා සිටි ලෝකයට ට්‍රම්ප්ගේ මේ හැසිරීම් පුදුමයට කරුණක් විය.

මෙලනියා ගෙවුණු වසර හතර පුරා සාමාන්‍යයෙන් ජනාධිපති ආර්යාවක් සිදුකරණු ලබන සේවාවන් හැකිතරම් මග හැර සිටි අතර, පසුගිය ජනාධිපතිවරණ ඡන්ද ප්‍රචාරක කටයුතුවලදීද, රැස්වීම්වලදීද බොහෝ අවස්ථාවලදී මෙලනියා සහභාගීවී සිටිනු දක්නට ලැබුණේ නැත. ට්‍රම්ප් මෙලනියා වෙනුවට ඒ හා සමාන රුව ඇති වෙනත් කාන්තාවක් රැස්වීම්වලට කැටුව යන බවත්, ඇය යාන්තමින් ජනතාවට දිස් වන ලෙස කටයුතු කරන බවටත් පුවත් පැතිර ගිය නමුත් ට්‍රම්ප් ඒ සියල්ල ප්‍රතික්ෂේප කර සිටියේය. කෙසේ වුවද මේ සියල්ලේ ඇත්ත නැත්ත ඉදිරියේදී දැනගත හැකි වනු ඇත.

යහපත් පවුල් ජීවිතය යන්න තවමත් ඇමරිකානු රාජ්‍ය නායකයකුට අත්‍යවශ්‍ය දෙයක් ලෙස සැලකෙන අතර ඇමරිකානු දේශපාලනඥයෝ කුමන හෝ දහංගැටයක් දමා පවුල හොඳින් තබා ගැනීමට කටයුතු කරති. එහෙත් ඩොනල්ඩ් ට්‍රම්ප් යනු දේශපාලනයට අහසින් කඩා වැටුණු ව්‍යාපාරික‌ෙයකු මිස දේශපාලනඥ‌ෙයකු නොවේ. ඔහුට දික්කසාදය අමුතු දෙයක්ද නොවේ. එබැවින් ජනාධිපතිධූරය අහිමි වූ ට්‍රම්ප්ට මෙලනියාද අහිමි වුවහොත් එය පුදුමයට කරුණක් නොවනු ඇත.

 

Comments